කටුක සහ දුෂ්කර අත්දැකීම් තුළින් ලැබූ ප්‍රතිපල සුන්දරයි | සිළුමිණ

කටුක සහ දුෂ්කර අත්දැකීම් තුළින් ලැබූ ප්‍රතිපල සුන්දරයි

පවුලේ වගකීම් වැඩිපුර ඉටු වෙන්නේ කුමුදුගෙන්

- නිලන්ත

ජීවිතේ දිනන්න මම අධ්‍යාපනයෙන් සහ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා

- නිලන්ත

ඔහු ටිකක් ආඩම්බර වුණත් වගකීම් සහිතව වැඩ කරන කෙනෙක්. ඒ ගතිගුණවලටයි. මගේ හිත බැඳුණේ

- කුමුදු

 

බදුල්ල පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැල්ගොල්ල නම් දුෂ්කර ගම්මානයේ උපන් ඔහු විඳි දුෂ්කරතා ජීවිතයට පන්නරයක් කරගත්තේය. ජීවිතය ජයගත හැක්කේ කැපවීමෙන් සහ තිර අදිටනින් යන විශ්වාසය ඔස්සේ නීතිඥ සිහිනය සැබෑ කරගත් ඔහු මේ වන විට රටේ අඩු ආදායම්ලාභී ජනතාවට වැඩි සේවයක් සලසන ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතනයක නියමුවාණන්ය. මෙවර කැදැල්ලේ කතාව සරසන ඔහු, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ සභාපති, නීතිඥ නිලන්ත විජේසිංහය.

දුෂ්කරතා අතරින් සාර්ථකත්වය කරා ආ ඒ ගමන ඔහු සිහි කරන්නේ නිහතමානී ආඩම්බරයකිනි. වැඩිමහලු සහෝදරියක් සහ බාල සහෝදරියන් දෙදෙනකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා ලෙස උපන් නිලන්ත ගේ පියා වෘත්තියෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු සහායකයෙකි. මව ගෘහණියක ලෙස දරුවන් රැක බලා ගනිමින් ජීවිත ගමනට දිරි දුන්නාය. වැල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ නිලන්ත සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ හදාරන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙනි.

“අපේ ගෙදර ඉඳන් ටවුන් එකට තියෙන කිලෝ මීටර් 17 යන්න ඒ දවස්වල ගමටම තිබුණේ එක බස් එකයි. ඒකත් තිබුණේ උදේටයි හවසටයි. ඒ බස් එක මගහැරුණොත් කිලෝමීටර් 7ක් පයින් එන්න ඕන බදුල්ල - පස්සර ප්‍රධාන මාර්ගයට. බස් එක මගහැරුණු දවස්වලට පයින්ම තමයි ගමන. එහෙම දවස්වලට ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දි හවස හතර පහ වෙනවා. ඒ විදිහේ දුෂ්කරතා එක්ක තමයි අපේ ජීවිත ගත වුණේ. ඒ වුණත් පවුලක් විදිහට අපි සතුටින් ජීවත් වුණා. අපේ ජීවිත සැපවත් කරන්න අම්මා, තාත්තා ලොකු වෙහෙසක් ගත්තා. ඒ වෑයම අද සාර්ථකයි. මගේ අක්කා ගුරුවරියක්. නංගිලා තුන්දෙනා උපාධිධාරිනියන් විදිහට විවිධ වෘත්තීන්හි නිරත වෙනවා.

පාසලේදී මම ශිෂ්‍ය නායකයෙක් විදිහට කටයුතු කළා. ක්‍රීඩාවල නියැළුණා. පාසල් කාලයේදීම තමයි මම හිතුවේ කවදහරි නීතිඥයෙක් වෙනවා කියලා. කලා අංශයෙන් උසස් පෙළ කරලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණත් නීති පීඨයට ඇතුළත් වෙන්න බැරි වුණේ Z අගය මත ලකුණු ප්‍රමාණවත් නොවීම නිසයි. දිස්ක්‍රික් රෑන්ක් එක අනුව මම සිටියේ 44 වැනි ස්ථානයේ ”

නමුදු මේ දිරිමත් තරුණයා එයින් තම නීතිඥ සිහිනය ලුහුබැඳ යෑම නතර කළේ නැත. මේ, ඒ ගැන ඔහු කියූ කතාවයි.

“ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරම මම නීති ප්‍රවේශ විභාගයට සූදානම් වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළාට පසු කාලයක් මම ඩිජිටල් ජී.එස්.එම් නම් පෞද්ගලික ආයතනයේ අලෙවි විධායකයකු ලෙස වැඩ කළා. උපාධිධාරියකු විදිහට මට මුල්ම පත්වීම ලැබුණේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයට අනුයුක්තව වැඩසටහන් සහකාර නිලධාරියකු විදිහටයි. 2008දී මම නීති විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ වෙලාවේ මොනරාගල රැකියාව අතහැරලා කොළඹ එන්න බැරි ගැටලුවක් ඇතිවුණ නිසා මම කොළඹට මාරුවීමක් හදා ගත්තා. දුෂ්කරතා අතරම කොළඹ ඇවිත් නීති විද්‍යාලයේ පළමු වසර විභාගය සමත් වුණා. 2011දී ලලිත් සේපාල රත්නායක මහතාගේ මැදිහත් වීමෙන් වැඩසටහන් සහකාර නිලධාරියකු ලෙස මා ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කරනු ලැබුවා. ටික කාලයක් එහි සේවය කරන විට නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නා. ඉන්පසු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් විසින් ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරියකු ලෙස මා පත්කරනු ලැබුවා. 2014 දී ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසත් පත්වීම් ලැබුවා. 2015 ආණ්ඩු පෙරළියෙන් පසු පක්ෂයේ නීති කටයුතු සම්බන්ධයෙන් වැඩි කැපකිරීමක් කිරීමට සිදු වුණා. මම ජීවිතයේ කවදාවත් රැකියාවක් ලැබෙනකම් නිකම් බලාගෙන ඉඳලා නැහැ. කරන දේ උපරිමයෙන් ඉටු කළා මිස එක දවසක්වත් ගෙදර නිකම් ඉඳලා නැහැ.“

නීතිඥ නිලන්ත විජේසිංහ පවසන්නේ ජීවිතය පිළිබඳ සුබවාදී දැක්මකිනි. රජයේ රැකියාවක්ම ලැබෙන තුරු බලා ඉන්නා ඇතැමුන්ට ඔහුගේ ජීවිතය කදිම අදර්ශයක් යැයි කීම වරදක් නොවේ.

“මම ජීවත් වුණු දුෂ්කර පරිසරයත් එක්ක මගේ මනසට කාවැදුණේ හොඳට ඉගෙන ගත්තොත් ජීවිතේ දිනන්න පුළුවන් කියන හැඟීමයි. ඒ නිසා මම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. උසස්පෙළ කරලා ප්‍රතිඵල එනකම් ඉන්නකොට මම පෞද්ගලික දුරකථන සේවා සමාගමක රුපියල් දෙදාහේ මාසික වැටුපට වැඩ කළා. විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මහපොළ ශිෂ්‍යාධාරය ලැබුණත් මම අමතර වියදම් පියවා ගන්න අර්ධකාලීන රැකියා කිහිපයක්ම කළා. සරසවියේ තුන්වැනි වසරේදි මම එහෙම උපයාගත් මුදලින් බයික් එකක් ගත්තා. අපේ කණ්ඩායමෙන් මුලින්ම බයික් එකක් ගත්තේ මම”

පෞද්ගලික ජීවිතය ඇසුරින් ලැබූ එවැනි සුන්දර අත්දැකීම් වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට පන්නරයක් වූ බව ඔහුගේ විශ්වාසයයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස පැවරී ඇති කාර්යභාරය සහ අභියෝග පිළිබඳ මම ඔහු විමසුවෙමි.

“ මේ රටේ අඩු ආදායම්ලාභී අහිංසක විශාල පිරිසක් අවුරුදු ගණනාවක සිට ඉඩම්වලට ඔප්පු නැති ප්‍රශ්නයෙන් පීඩා විඳිනවා. අහිංසක ගැමි ජනතාව කාලයක් තිස්සේ මහජන දිනවලට කාර්යාලවලට ඇවිත් රස්තියාදු වුණත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. මගේ ප්‍රධාන අරමුණ මගේ සේවා කාලය තුළ ඔවුන්ට කඩිනමින් ඔප්පු ලබා දී අවසන් කිරීමයි.

ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම මත අඩු ආදායම්ලාභීන්ට කඩිනමින් ඔප්පු ලබාදීමේ ක්‍රමවේදයකි සකස් කර තිබෙනවා. වැඩ කිරීමේදී මගේ ක්‍රමය කොළඹ ශීත කාමරවල ඉඳගෙන ලියුම් සහ ෆයිල්වලවලට සීමා නොවී ක්ෂේත්‍රයට ගොස් ප්‍රායෝගිකව ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමයි. ජනතාව දුර ගෙවාගෙන කොළඹ කාර්යාලවලට එන්න අවශ්‍ය නැහැ. අපි ජනතාව ළඟට සහ ඉඩම්වලට යනවා. ‘ඉඩම් කොමිසම ගමට’ නම් වැඩසටහන ලබන පෙබරවාරියේ සිට ආරම්භ වන්නේ ඒ අරමුණින්. ඒ වගේම ආයතනය ලාබදායී මට්ටමට ගෙන ඒම සඳහා ඉඩම් නිව­ැරැදි අරමුණකට යොමු කළ යුතුයි. විශේෂයෙන් දේශීය කෘෂි කර්මාන්තය නඟා සිටුවීම සඳහා යොදා ගත හැකි ඉඩම් තිබෙනවා. ඒ වගේම පසුගිය කාලේ අන් සතු කළ, දූෂණ සිදු වූ ඉඩම් රාශියක් තිබෙනවා. ඒවා නැවත පවරා ගැනීමත් කළ යුතුයි”

එවැනි ආයතනික අභියෝග ඇතුළු ජීවිතයේ හමුවන සියලු අභියෝගවලට මුහුණ දීමට සිය ජීවිතය තුළ ප්‍රගුණ කළ සාරධර්ම ගැන නීතිඥ නිලන්ත විජේසිංහ මෙසේ කීවේය.

“ අභියෝගවලට මුහුණ දීමට ඉවසීම අත්‍යවශ්‍යයි. ඇතැම් අය කෙනෙක් නැඟිටිනවාට කැමති නැහැ. එය ඕනෑම ක්ෂේත්‍රයක තිබෙන අභියෝගයක්. මම ඒ සියල්ල මැදහත් සිතින් බාරගෙන ඒවාට මුහුණ දෙනවා. මම ගොඩක් ඇහුම්කන් දෙන, සුහදශීලි කෙනෙක්. උදවු කළ හැකි හැම කෙනකුටම උදවු කරනවා. ඒ වගේම ආයතන ප්‍රධානියෙක් විදිහට නිසි අවස්ථාවේදී නිසි තීරණ ගැනීමට පැකිළෙන්නේ නැහැ.”

නීතිඥ නිලන්ත විජේසිංහගේ ජීවන දැක්ම සරලය ; නිරවුල්ය. ඒ තුළ ඔහුගේ ජීවිතය සුන්දරය. ප්‍රීතිමත් විවාහ දිවියක මිහිර විඳින ඔහුට තම ජීවන සහකාරිය, නිරෝෂා කුමුදු දිසානායක හමුවී ඇත්තේ නීති විද්‍යාලයේදීය. ඒ අතීත මතක ඇය සිහි කළේ සොම්නසිනි.

“අපි දෙන්නා හමු වුණේ නීති විද්‍යාලයේ අවසන් වසරේදී. ඔහු ඒ වෙද්දි ජනාධිපති කාර්යාලයේ වැඩ කළේ. අපි වගේ නිතර දේශනවලට ආව කෙනෙක් නෙවෙයි. ඒ නිසා හමු වුණේ අහම්බෙන්. නිලන්ත ඒ කාලේ වැඩිපුර ගෑනු ළමයි එක්ක කතාකරන කෙනෙක් නෙවෙයි. මට මතකයි ඒ කාලේ එයාගේ ෆෝන් එකේ ගෑනු ළමයෙක්ගෙ නම්බර් එකක්වත් තිබුණේ නැහැ. ඔහු ටිකක් ආඩම්බර වුණත් වගකීම් සහිතව වැඩ කරන කෙනෙක්. ඒ ගතිගුණවලට තමයි ඔහුට මගේ හිත බැඳුණේ. 2015දී අපි විවාහ වුණා. නිලන්ත කියන්නේ ගොඩක් හොඳ සැමියෙක්. කොයිතරම් අවිවේකී වුණත් මායි පුතයි ගැන නිතරම හොයලා බලනවා. පවුලට ගොඩක් ළැදියි. කිසිම දේකට තරහ නොගන්න, හොඳ ඉවසීමක් තිබෙන බුද්ධිමත්ව ජීවිතේට මුහුණ දෙන කෙනෙක්”

“මේ මාසේ අන්තිමට විතර අලුත් අමුත්තා එන්නයි ඉන්නේ. එයා දුවෙක් කියලා තමයි ආරංචිය. නිලන්ත දුවෙකුට ගොඩක් ආසාවෙන් හිටියේ. ” කුමුදු කුමුදක් සේ සොඳුරුව හිනැහෙමින් කීවාය. ඇයගෙන් ජීවිතට ලැබෙන අත්වැල ගැන නීතිඥ නිලන්ත වදන් ගැළපුවේ මෙලෙසිනි.

“ රැකියාව සහ දේශපාලන කටයුතු නිසා මම ගොඩක් කාර්බහුලයි. ඒ නිසා පවුලේ වගකීම් වැඩි වශයෙන් ඉටු වෙන්නේ කුමුදුගෙන්. ඒක මට විශාල සහයෝගයක්. ඒ වගේම ඇයත් නීතිය හැදෑරූ නිසා මගේ නීති වෘත්තියේ කටයුතුවලටත් සහයෝගය දෙනවා. දරුවන් නිසා ඇයට නීතිඥ වෘත්තියේ යෙදෙන්න අවස්ථාව නොලැබුණත් ඉදිරියේදී ඇය ඒ සඳහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇය ඉතාම හොඳ ආදරණීය බිරියක්. ගොඩක් රහට කෑම උයන්නත් පුළුවන්. විවේකයක් ලැබුණු වෙලාවට අපි ඇවිදින්න යනවා. චිත්‍රපට නැරඹීමත් අපේ හොඳ විනෝදාංශයක්.”

වත්මන් පවුල් සංස්ථා බහුල ලෙස බිඳ වැටීමට තුඩු දෙන කරුණු කාරණා ගැනද ඔහුගෙන් විමසුවේ නීතිඥවරයකු ලෙස ලබන අත්දැකීම් ඇසුරිනි.

“ගොඩක් අයට විවාහ වෙන්න හදිස්සියි. නමුත් ඊට පෙර විවාහ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය මූලික අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ විදිහට විවාහ වෙලා පසුකාලීනව අවශ්‍යතා වැඩි වෙද්දි ඒවා සපුරන්න බැරි වීමත් ගොඩක් පවුල් ආරවුල්වලට හේතුවක්. පවුල් ජීවිතේ සාර්ථකත්වයට අවබෝධය, තේරුම් නොගැනීම අවශ්‍යයි. බිරියක්, මවක් විදිහට ඇය කරන කැපකිරීමට සැමියාගෙන් ඇගයීමක්, සහයෝගයක් ලැබිය යුතුයි. කාලයක් ආදරේ කරලා විවාහ වන පවුල් සංස්ථාත් හිතාගන්නවත් බැරි හේතු නිසා බිඳ වැටෙනවා. දික්කසාදය නිසා විශාලම හානිය වෙන්නේ දරුවන්ටයි. ඒ නිසා නීතිඥයකු විදිහට මම නිතරම උත්සාහ කරන්නේ වෙන් වෙන්න හදන දෙන්නෙක් දරුවන් වෙනුවෙන් නැවත සමගි කරන්නයි.”

ඔහු පවසන්නේ නීතිය ඉක්මවා ගිය මානුෂික හැඟීම් සහ බැඳීම් පිළිබඳ සංවේදී වූ හදවතිනි. නීතිඥ නිලන්ත විජේසිංහ ශ්‍රී ලංකා පොදු ජන තරුණ සංවිධානයේ සභාපති සහ පොදු ජන තරුණ වෘත්තියවේදීන්ගේ සංවිධානයේ ජාතික සංවිධායක ලෙසද කටයුතු කරයි. සවිමත් රටක් බිහි කිරීමට තරුණ ප්‍රජාවගෙන් ලැබිය යුතු දායකත්වය ගැන ඔහුගේ අදහස් මෙසේය.

“තරුණයන් කාලය නිකරුණේ ගත කිරීම රටට බරක්. අපේ රටේ කරන්න ඕනතරම් රැකියා තිබෙනවා. ඒ සඳහා අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් විය යුතුයි. උපාධිධාරීන් රජයේ රැකියාවක්ම ලැබෙන තුරු බලා සිටීම අපරාධයක්. රජයේ රැකියාවක් ලැබෙන තුරු පෞද්ගලික අංශයේ හෝ වෙනත් කර්මාන්තයක, ස්වයං රැකියාවක නිරත විය යුතුයි. සරසවි වරම් නොලබන, උසස් අධ්‍යාපනය සඳහා නොයන දරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබා ස්වයං රැකිවාවක හෝ කර්මාන්තයක නිරත විය හැකියි. කොවිඩ් වසංගතය සමඟ අපේ රටත් අවුරුදු ගාණකින් පිටුපසට ගමන් කළා. එය යළි ඉදිරියට ගමන් කරවීමට තරුණ පරපුරේ දායකත්වය අත්‍යවශ්‍යයි. තරුණයන් විදිහට අත්දැකීම්, පසුබෑම් තුළින් ජීවිතය ඉදිරියට යෑමට ඉගෙන ගත යුතුයි. දුෂ්කර ගමක ඉපදුණු මම ඒ ලැබූ අත්දැකීම් එක්කයි ජීවිතේ ගොඩනඟා ගත්තේ. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ නීති විදයාලයට ඇතුළු වීමයි. තරුණ කාලේ ඉඳලම තරුණයකු ඉලක්කයක්, නිශ්චිත අරමුණක් ඇතිව කටයුතු කරනවා නම් ජීවිතය සාර්ථක කර ගැනීම අසීරු නැහැ“

ජයග්‍රහණයේ මාවත දෙස ඔහු ආපසු හැරී බලන්නේ එවැනි නිරහංකාර සිතකිනි. ඒ සිතින් ඔහු දකින්නේ පැහැබර අනාගතයක මඟ ලකුණුය.

“නීති වෘත්තිය තුළ ඉදිරි අධ්‍යාපන කටයුතුවල නිරත වීම එක් බලාපොරොත්තුවක්. මම ඉපදුණු බදුල්ල දිස්ත්‍රික්කයට, ආසනයට සේවයක් කිරීම මගේ යුතුකමක්. මෙතෙක් ආ ගමන ගැන මම තෘප්තිමත්. ඉදිරි ජීවිතයත් රටට බරක් නොවී පවුලටත් සමාජයටත් විය යුතු වගකීම් උපරිමයෙන් ඉටු කරමින් ගතකිරීම මගේ අපේක්ෂාවයි”

 

ඡායාරූප - චින්තක කුමාරසිංහ

 

[email protected]

Comments