අසාමාන්‍ය බව විකාරයක් වූ සමාජය සිනමාවට ගෙනා ‘විකාරි’ | Page 2 | සිළුමිණ

අසාමාන්‍ය බව විකාරයක් වූ සමාජය සිනමාවට ගෙනා ‘විකාරි’

 

පසුගිය දෙසැම්බරයේ DUSTනම් විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපට අන්තර්ජාලය ඔස්සේ බෙදාහරින වේදිකාවක් කෙටි චිත්‍රපටයක් මුදා හැරියා. විනාඩි 13 යි තත්පර 55 ක් පුරා දිවෙන මෙයට නම් තැබුණේ 'විකාරි' නමින්. අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ සඳුන් සෙනෙවිරත්න. ඔහු සමඟ සම අධ්‍යක්ෂණයට එක් වෙන්නේ චාලි බ්‍රේ.

 

‘විකාරි‘ කතාව සඳුන්ගේ කතාවක්. එක්සත් ජනපදයේ ‘ස්ක්‍රීම්ෆෙස්ට්‘ හොරර් සිනමා උළෙලේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ ‘විකාරි‘. ‘විකාරි‘ ශානරය බැලූ බැල්මට විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන චිත්‍රපටයක්. හොරර් හෙවත් සංත්‍රාස ඛාණ්ඩය නියෝජනය කිරීමට ‘විකාරි‘ ට හැකි වුණත් සඳුන්ගේ සහ චාලිගේ කල්පනාව වඩා තියුණු ෆැන්ටසිමය ලක්ෂණ මතු කිරීම නිසා එය විද්‍යා ප්‍රබන්දයක් සේ සැලකීම වටිනවා. ලංකාවේ අතේ ඇඟිලි ගණනට උත්සාහ කෙරී ඇති විද්‍යා ප්‍රබන්ධ රූප අතරට විකාරිගේ එක්වීම තරුණයන්ගේ සිනමා අනුරාගයට රූපයක් ගෙන ආවා වැනියි.

අශාන් ඩයස් සමඟින් රිචර්ඩ් ඩී රොබර්ට්ස් මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනවා. බිම්සරා ප්‍රේමරත්න සමඟින් ශෙවාන් ඩැනියල්ස් සෙසු චරිත අතරින් චරිත 2කට රංගන දායකත්වය ලබා දෙනවා. අලුත ඉපදෙන ළමුන් ස්වල්ප දෙනකුගේ මොළයේ ඇතිවන අසාමාන්‍ය තත්ත්වයක් නිසා ඔවුන්ට හිමි වන අධි මානසික සංවේදන, ඒ හරහා ගොඩ නැගෙන අසාමාන්‍ය බව විකාරයක් සේ සමාජ අර්ථ කථනය, මේ කණ්ඩායම විනාශ කිරීමට ඇතිවන සමාජ බලවේග හා ඔවුන් ආරක්ෂා කරන පාර්ශ්ව අතර ගැටුම ඔස්සේ කතාව දිව යනවා. මානව සමාජයේ සිදුවන වෙනස පිළිගන්න දියුණු ලෝකයත් සූදානම් නැති ආකාරය පසුගිය දවස්වල අප අත් දුටුවා. ලෝකයේ ස්වරූපය එයයි.

කෙසේ වෙතත් විකාරි විඳින මේ රටේ බුද්ධිමත් රසිකයන් ලංකාවේ සමාජ දේශපාලන ස්වරූපය ඒ නිර්මාණය මඟින් දකිනු ඇති තැනට උචිත දෘශ්‍ය ප්‍රයෝග භාවිත කිරීම විකාරි ධාවන කාලය තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක්. එමෙන්ම ශබ්ද පටය ගෙවෙන සෑම තත්පරයකම කුතුහලය වැඩි කිරීමට යොදා ගෙන තිබෙනවා. මේ කාරණා දෙක සම තැනක රැඳෙද්දී නිර්මාණය තුළ ගොඩනැගෙන සිද්ධියේ සාක්ෂිකාරයෙක් බවට ප්‍රේක්ෂකයා පත් කිරීමත් කෙටි සිනමාපටයක් තුළ කලකින් ලැබෙන අත්දැකීමක්.

විකාරි විඳගත්තේ නැතිනම් එය දැන් පහසු කාර්යකි. ඔබ YouTube වෙත ගොස් Vikaari යනුවෙන් ටයිප් කරන්න. සම්පූර්ණ චිත්‍රපටය එයින් විඳගත හැක.

 

[email protected]

Comments