හෙළ හවුල ගැන හවුලේ කියන කතා | සිළුමිණ

හෙළ හවුල ගැන හවුලේ කියන කතා

හෙළ හවුලේ රැස්වීමකදී අරිසෙන් අහුබුදුවන් දෙසුමක් පවත්වන අතර, මහාචාර්ය විනී විතාරණ,  දො. දේ. මොහොට්ටි යන වියත්හු පසෙක සිටිති. කෝදාගොඩ ඥානාලෝක නාහිමි මුලසුන හොබවති
හෙළ හවුලේ රැස්වීමකදී අරිසෙන් අහුබුදුවන් දෙසුමක් පවත්වන අතර, මහාචාර්ය විනී විතාරණ, දො. දේ. මොහොට්ටි යන වියත්හු පසෙක සිටිති. කෝදාගොඩ ඥානාලෝක නාහිමි මුලසුන හොබවති

මීට දශක හතකට පමණ පෙර යහලබැද්ද කනිටු පාසලට පිය නැඟූ විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකු බණ්ඩාර රසවත් කවි සහ කතාන්දරවලින් පිරුණු සුන්දර ළමා ලෝකයක් භුක්ති විඳි අයෙකි. එදා ඔහුගේ බාලවිය වඩාත් රසවත් වූයේ කුමාරතුංග මුණිදාස පඬිවරයාගේ ළමා කතාන්දර සහ කවිවලින් යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. විශේෂයෙන් පාසලේ ගුරුතුමා කුමාරතුංග මුණිදාසගේ ‘ශික්ෂා මාර්ගය’ සහ ‘කියවන නුවණ’ පොත් උගන්වන විට ඔහු ප්‍රබෝධයට පත් විය. කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ පොත්පත් සොයාගෙන කියවීමේ ලාලසාවක් ඇති වූයේ ඉන් අනතුරුවය. එමෙන් ම කුමාරතුංග මුනිදාස පඬිවරයා කෙරෙහි ඔහුගේ ළපටි සිත තුළ ලොකු පැහැදීමක් ඇති විය.

“මම 5 වැනි පන්තියේදී ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ නේවාසිකාගාරයේ නැවතිලා හිටියා. ඒ කාලේ මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවෙ. ඒ නිසා අපිට කතා කරන්න වුණෙත් ඉංග්‍රීසියෙන්. සිංහලෙන් කතා කිරීම තහනම්. ඒ දවස්වල අපේ නේවාසිකාගාරයේ නැවතිලා හිටියා කනිෂ්ඨ අංශයේ ගුරුවරයෙක්. නම දො.ඩ. ඩයස්. ඔහු කේ. ජයතිලක, මහගමසේකර සමඟ එකට ඉගෙන ගත්ත හොඳ සාහිත්‍යකරුවෙක්. ඒ වගේ ම හෙළ හවුලේ සාමාජිකයෙක්. ඒ ගුරුතුමා මගේ සිත් ගත් චරිතයක් වුණා. මම ඔහුගෙන් සිංහල පොතපත කියෙව්වා. ඔහු මට සුබස සඟරා ඉල්ලා ගැනීමට කිතල්ඇල්ල විදුහලේ විදුහල්පති පී.සී. රත්නායක මුණගැසීමට මඟ පාදා දුන්නා. රත්නායක මහත්මයාගෙන් සුබස සඟරා 3 ක් මම ඉල්ලාගෙන කියෙව්වා. රත්නායක මහත්තයා හෙළ හවුලේ ලේකම් කෙනෙක්. මම ඔහුගෙන් සඟරා පොත්පත් අරන් කියවන විට මටත් බස රැස හා දෙස ගැන විශාල පිබිදීමක් ඇති වුණා. මම පූර්ව ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර පන්තියේ දී කව්සිළුමිණ, වවුලුව පොත් කියවා අවසන් කළා. මම ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තත් හෙළ හවුල සමඟ දිගටම සම්බන්ධතා තිබුණා. ඊට හේතු වුණේ අපේ රට ජාතිය සහ භාෂාව ගැන දැඩි ඇල්මක් ඇතිවීම.” යනුවෙන් විස්තර කළේ විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකු බණ්ඩාරය.

ඔහු හෙළ බස කෙරෙහි කොතරම් පැහැදුණේ ද යත් සිය නාමය ඩබ්ලිව්.ජේ.එම්. ලොකු බණ්ඩාර වෙනුවට වි.ජ.මු. ලොකු බණ්ඩාර යනුවෙන් ලිවීමටත් සිංහල බසින් අත්සන යෙදීමටත් තීරණය කළේය. හිටපු කථානායකවරයකු මෙන්ම ආණ්ඩුකාරවරයකු වූ වි.ජ.මු. ලොකු බණ්ඩාර අදටත් හෙළ හවුල සමඟ සමීප සබඳතා පවත්වන අයෙකි.

කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ නායකත්වයෙන් 1941 දී ආරම්භ වූ හෙළ හවුල වඩාත් පුළුල් භාෂා සාහිත්‍යය සේවාවක් ඉටු කිරීම පිණිස සංවිධානාත්මක ආකාරයට පිහිටුවනු ලැබූවකි. ‘බස - රැස - දෙස’ හෙළයන්ගේ තෙරුවන ලෙස ඉස්මතු කොට දැක්වූ කුමාරතුංග මුනිදාස මහතාගේ සිංහල භාෂානුරාගි කටයුතුවල කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැක්කේ හෙළ හවුල ආරම්භ කිරීමයි. 1930 දශකයේ අගභාගයේදී භාෂාවේ ‍‍ඌනතා පෙන්වා දුන් කුමාරතුංග මුනිදාස වියතාණන්ට පුවත්පත් කතුවරුන්ගෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සහ සමකාලීන උගතුන්ගෙන් අනුබලයක් නොලැබුණු බැවින් 1939 ජූලි 10 වැනිදා ‘සුබස’ නමින් සඟරාවක් ඇරඹුවේ ඔහුගේ භාෂා ශාස්ත්‍රීය සේවාව ජනතාව අතට පත් කිරීමේ ප්‍රයත්නයක් වශයෙනි. මුල් කාලයේ සංස්කෘතයට බරව මිශ්‍ර සිංහලයෙන් ලේඛනයේ යෙදුණු ඔහු ‘සුබස’ සඟරාව ආරම්භ කිරීමෙන් පසුව සංස්කෘතයෙන් මිදී හුදු හෙළය හෙවත් අමිශ්‍ර සිංහල භාෂාව ව්‍යවහාර කිරීමට පටන් ගත්තේය. ගුරු අභ්‍යාස විද්‍යාලයාධිපතිවරයකු ලෙස කටයුතු කළ සමයේදී දැන හඳුනාගත් අය මෙන්ම ඔහු යටතේ පුහුණුව ලැබූ අය ද සුබස සඟරාවට ලිපි සැපයූ සම්පත්දායකයෝ වූහ.

මේ වකවානුව ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ට යටත්වූ කාලයකි. සමාජ සංස්කෘතික කටයුතුවලට ක්‍රියාකාරී ලෙස මැදිහත් වූ ඔහු සුබස සඟරාව ඊට හොඳ තෝතැන්නක් බවට පත් කර ගත්තේය‍. සුබස සඟරාව කෙරෙහි ඇති පාඨකයන්ගේ ඉහළ පිළිගැනීම දුටු කුමාරතුංග මහතාට රසිකයන්ගේ මුළුවක් පැවැත්වීමේ අදහසක් ඇති විය. ඒ අනුව 1941 ජනවාරි 11 වැනිදා පානදුර ගොරකපොළ පිහිටි ඔහුගේ නිවහන වූ ‘හෙවණට’ රැස්වූ සුබැසියන්ගේ එකතුවක් පිහිටුවීය. රැස්වීමේ මුලසුන හෙබවූයේ මග්ගොන කතෝලික ගුරු අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන සිංහල දේශකයාවූ ඩී.ඒ.පී. ජයමාන්න ය. ‘හෙළ හවුල’ යන නම යෝජනා කරන ලද්දේ කුමාරතුංග මහතාගේ සමීප මිතුරකු මෙන්ම පුවත්පත් කලාවේදියකු වූ ජයන්ත වීරසේකර ය.

1941 පෙබරවාරි මස 14 වැනිදා පානදුරේ මහානාම විදුහලේ පැවැති හෙළ හවුලේ පළමු මහ සමුළුවට 300 කට වඩා සහභාගි වීමෙන් පෙනී යන්නේ සිංහල භාෂා ප්‍රේමීන් කොටසක් ඔවුන් වටා එක් රොක් වී සිටි බවය. සිංහල පාසල් ගුරුවරුන් වැඩි වශයෙන් සම්බන්ධ වී සිටි හෙළ හවුල ජාති, ආගම්, කුලභේදවලින් තොරව සැමට විවෘත විය. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, මහනුවර, රත්නපුර, අම්බලන්ගොඩ, උණවටුන, අහංගම, මාතර ආදී නගර කේන්ද්‍ර කරගනිමින් ශාඛා පවා බිහිවූයේ හෙළ හවුල කෙරෙහි උනන්දුව ඇති පිරිස දිවයින පුරා විසිරී සිටි බැවිනි. 1944 මාර්තු 02 වැනි දින කුමාරතුංග මුනිදාස වියතාණන්ගේ අකල් වියෝවත් සමඟ හෙළ හවුලේ නායකත්වයට පත්වූයේ ජයන්ත වීරසේකරය. 1948 අප්‍රේල් හා මැයි මාසවලදී පැවැත්වූ හෙළ හවුල සමුළුවලදී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම, සම්මත සිංහලයක් ඇති කිරීම සඳහා මූලිකත්වය ගැනීම, සිංහල වාග් කෝෂයට නව හෙළ වදන් එකතු කිරීම යනාදී සේවාවන් රැසක් ඉටු වූයේ හෙළ හවුලේ මැදිහත්වීමෙනි. හෙළ හවුල නිවැරැදි බස් වහර රකිනු පිණිස කැපවීමෙන් කටයුතු කළහ.

“හෙළ බස රකින්නේ හෙළ හවුල කියන අදහස අදටත් සමාජගත වී තිබෙනවා. වත්මන් භාෂාවේ පිරිහීම ගැන ලියපු පුවත්පත් ලිපියක ශීර්ෂ පාඨය හෙළ හවුල නිදිද කියලා යෙදීමෙන් ම එය පැහැදිලි වෙනවා. ගොඩාක් දෙනා හිතන්නේ හෙළ හවුල කියන්නේ ‘ඇ’කාරය යෙදීම සහ හුදු හෙළ දැක්ම විතරක් කතා කරන සංවිධානයක් කියලා. ඒත් හෙළ හවුල කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයකින් පවත්වාගෙන යන සංවිධානයක්. භාෂාවෙන් ජාතියත් ජාතිය විසින් රටත් රැකගැනීමේ පරමාර්ථයෙන් තමයි හෙළ හවුල පිහිටුවා තිබෙන්නේ” යනුවෙන් පැවසුවේ හෙළ හවුලේ වත්මන් නායක ශ්‍රීනාත් ගණේවත්තය.

“හෙළ හවුල ආරම්භ වන කාලයේ අපේ රට ඉංග්‍රීසීන්ට යටත්වී තිබුණේ. සිංහල භාෂාවට සංස්කෘතියට තැනක් තිබුණේ නැහැ, එදා ජීවත්වුණු අයගේ තිබුණේ පරගැති මානසිකත්වයක්. ඒ නිසා හෙළ හවුල ආරම්භ කිරීම කාලීන අවශ්‍යතාවක් වුණා. ඒ වටා උගත් ගිහි පැවිදි, විශේෂයෙන් ගුරුවරු ඒකරාශි වුණා. සිංහල භාෂාවට නව පණක් දීලා පරගැති බවින් මිදිලා අපිට අපේම භාෂාවක් තිබෙන බව පෙන්වලා දුන්නා. හෙළ බස රැක ගැනීමටත් එය නිවැරැදිව හැසිරවීමටත් කියා දුන්නා. සිංහල භාෂාවට පාරිභාෂිත වචන සකස් කළා. සිංහල සාහිත්‍යය කෘති හෙළ බසින් සංස්කරණය කළා. මේ විදිහට සිංහල භාෂාව වෙනුවෙන් හෙළ හවුල අසීමිත මෙහෙවරක් ඉටු කළා. හෙළ හවුලේ පරමාර්ථය ඉතා විශිෂ්ටයි. ඒත් හුදු හෙළ වහර සමාජයේ බහුතරයක් අතරට ගියේ නැහැ. අපට හුරු පුරුදු පාලි, සංස්කෘත භාෂාවලින් ලැබුණු වචන සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරලා හුදු හෙළ වහර පමණක් භාවිත කිරීම තමයි සමාජගත නොවීමට හේතු ව‍ුණේ. දුරකතනයට තලබනුව කියලා හෙළයෙන් කිව්වාට එය සම්මතයක් හැටියට යොදා ගත්තේ නැහැ. ඒත් රජය, පාපැදිය, හෙදිය, සරසවිය, හැකියාව, අනුදක්නය වැනි හෙළයෙන් සැකසුණු පිළිගත් පාරිභාෂිත වචන අපට හෙළ හවුලෙන් උරුම වී තිබෙනවා. හුදු හෙළ වහරේ අන්තවාදී වීම බහුතරයකගේ විවේචනයට ලක් වුණා. මුවදෙව්දාවත, සන්දේශ කාව්‍ය වැනි පොත් හෙළ බසින් සංස්කරණය කිරීමේදී පිටපතේ නැති හෙළ වදන් ඇතුළත් කිරීම විවාදාත්මක කාරණයක් වුණා. ඒ විදිහට අන්තවාදී නොවුණ නම් හෙළ හවුලේ මෙහෙවර මීට වඩා සමාජගත වෙන්න තිබුණා.” යනුවෙන් විස්තර කළේ සම්මානිත මහාචාර්ය කේ.එන්.ඕ‍. ධර්මදාසය.

එහෙත් හෙළ හවුලේ වත්මන් නායක ශ්‍රීනාත් ගනේවත්ත සඳහන් කරන්නේ විවෘත ආර්ථිකය පැමිණීමත් සමඟ සංස්කෘතියට කලාවට මෙන්ම භාෂාවට ද නොවටිනා තැනක් හිමි වූ බැවින් හෙළ හවුල කෙරෙහි සමාජයේ තිබූ උනන්දුව හා ඇල්ම අඩු වූ බවයි. එමෙන්ම විශ්ව විද්‍යාල තුළ වාග් විද්‍යාව යන විෂය බිහි වීමත් සමඟ නිවැරැදි බස් වහරට හිමි වූ තැන ගිලිහී ගිය බව ඔහු තවදුරටත් සඳහන් කරයි.

හෙළ හවුලේ නියෝජ්‍ය නායක (අනුනයු) පදවිය හොබවන තිරිකුණාමලේ ආනන්ද හිමි පවසන්නේ එදා සමාජයේ විශ්වවිද්‍යාල සහ පිරිවෙන් ආචාර්යවරුන් පුවත්පත් කතුවරුන් රජයේ දෙපාර්තමේන්තු නිලධාරීන් වැනි පිරිස හෙළ හවුලට විවේචන එල්ල කරමින් පහර ගැසුවත් අද එවැන්නක් සිදු නොවන බවය. අලුත් පරම්පරාවේද නිවැරැදිව හෙළ බස ව්‍යවහාර කිරීමට කැමැත්තක් දක්වන අය සිටින බව තිරිකුණාමලේ ආනන්ද හිමියෝ පැවසූහ.

“අපිට අපේම හෙළ බසක් තියෙනවා. එය ලස්සනට ගළපලා මට සිළුටු විදිහට රසවත්ව ලියන්න පුළුවන්. ගුරුළුගෝමී කියන්නේ පාලි භාෂාව පරතෙරට ගිය කෙනෙක්. ඒ වුණත් අමාවතුර රචනා කරන විට පාලි වචන ලස්සනට සිංහලට දැම්මා. අපිට හෙළ බසින් ලියන්න පුළුවන් කියන කතාවට හොඳම උදාහරණය තමයි එය.” යනුවෙන් තිරිකුණාමලේ ආනන්ද හිමියෝ පෙන්වා දුන්හ.

නමුදු සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය රෝහිණී පරණවිතාන පැහැදිලි කරන්නේ සංස්කෘතිය මෙන් ම භාෂාව ද කාලයෙන් කාලයට වෙනස් වන බවයි.

“අපි පාවිච්චි කරන වචනවල අපේ නොවන කොයි තරම් තියෙනවාද, දෙමළ, පෘතුගීසි, ඕලන්ද වැනි විවිධ ජාතින්ගේ වචන දැන් අපිට අපේම වචන බවට පත්වෙලා. ඒ වචනවලට හුදු හෙළ වදන් යෙදුවොත් සමාජයට අවබෝධ වෙන්නේ නැහැ‍. අපි ශබ්දකෝෂ සකස් කිරීමේදී හැම වතාවකම අලුත් වචන එකතු කරනවා. ඒ වචන අපිට ලැබුණේ කොහොමද කියලා සටහන් කරනවා. භාෂාව කියන්නේ අලුත් වචන එකතු වෙවී ඉදිරියට යන දෙයක්. අමිශ්‍ර ආකාරයට පරිශීලනය කරන්න අමාරුයි. සන්නිවේදනයේදී භාෂාව එකිනෙකාට තේරෙන්න ඕනෑ.” යනුවෙන් මහාචාර්ය රෝහිණී පරණවිතාන සඳහන් කළාය.

මහාචාර්ය රෝහිණී පරණවිතාන තවදුරටත් පවසන්නේ හෙළ හවුල අදට ඔබින ආකාරයට කාලීන වශයෙන් ක්‍රියාත්මක විය යුතු බවය. ඉංග්‍රීසින්ට යටත් විජිතයක්ව පැවැති සමයේ ආරම්භ කළ හෙළ හවුල මඟින් රටට සිදුවූ විශිෂ්ට සේවය ඇගයීමට ලක් කළ ඈ, වර්තමානයේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා තුළින් සිංහල භාෂාවට සිදුවන දූෂණය සහ හානිය වළක්වා ගැනීම උදෙසා හෙළ හවුල මැදිහත්වීමේ අවශ්‍යතාව පැහැදිලි කළේ වසර 80 ක් පුරා හෙළ බස රැකගැනීම උදෙසා සිදු කළ හෙළ හවුලේ පුරෝගාමී මෙහෙවරට තුති පුදමිනි.

 

Comments