දකුණු ආසි­යාවේ ලොකුම ටයර් කම්හල හොර­ණදී විවෘත වෙයි | සිළුමිණ

දකුණු ආසි­යාවේ ලොකුම ටයර් කම්හල හොර­ණදී විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපයේම විශාලතම ටයර් සහ රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ලෙස පිළිගැනෙන හොරණ වගවත්ත ආයෝජන කලාපයේ ස්ථාපිත ‘ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම’පසුගිය ජනවාරි 14 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් විවෘත කරන ලදී.

ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සමඟින් ඉදිකරන ලද මෙම දැවැන්ත ටයර් කර්මාන්ත ශාලාවේ නිර්මාතෘවරයා මෙන්ම හිමිකරුවාද වන්නේ මෙරට වානේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ද ප්‍රමුඛයකු ලෙස පිළිගැනෙන සිලෝන් ස්ටීල් කෝපරේෂන් (පුද්.) සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන, සුප්‍රකට ව්‍යාපාරික නන්දන ලොකුවිතානයි. ඔහු විසින් 2017 වසරේදී මෙම ටයර් කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මෙරට තුළ ක්‍රියාත්මක වූ මෙම වර්ගයේ ප්‍රථම සහ එකම ව්‍යාපෘතිය ලෙසද පිළිගැනේ. ඒ අනුව SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක් ඇතුළුව පොදුවේ ‘Passenger Car Radials’ වර්ගයේ ටයර් මෙන්ම යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ ට්‍රක් රථ සඳහා ටයර්ද, ඝන ටයර් වර්ගද මෙම ටයර් කර්මාන්ත ශාලාව මගින් නිපදවෙන අතර එලෙස නිපදවෙන නිෂ්පාදනයන්ගෙන් 20%ක ප්‍රමාණයක් දේශීය වෙළෙඳපොළ වෙත මුදා හැරීමටද එම ආයතනය විසින් කටයුතු යොදා ඇත.දේශීය කාර්ය මණ්ඩලයක් විසින් සංකීර්ණ යුරෝපීය තාක්ෂණයන් භාවිත කරමින් එම ටයර් නිෂ්පාදනයන් සිදු කිරීම විශේෂත්වයකි.. මෙම ටයර් කර්මාන්තශාලාව මෙරට අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයට දැවැන්ත දායකත්වයක් දක්වනු ඇතැයි පුරෝකථනය කළ හැකිය. ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය ද සමඟින් ක්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘතිය මගින් සෘජු හා වක්‍ර රැකියා විශාල සංඛ්‍යාවක් නිර්මාණය වනු ඇතැයිද තක්සේරු කර තිබේ.

ෆෙරෙන්ටිනෝ ටයර්ස් සමාගම සිය ප්‍රධානතම අමුද්‍රව්‍ය ලෙස දේශීයව සපයාගනු ලබන රබර් භාවිතා කරනු ඇති අතර, මෙය දේශීය රබර් කර්මාන්තය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමක් ලෙස හඳුන්වා දිය හැකිය. ව්‍යාපෘතියේ පළමු අදියර දැනටමත් අවසන් වී නිෂ්පාදන කටයුතු ද මේ වන විටත් ඉතා සාර්ථක ලෙස සිදු කෙරෙන අතර එහි දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතුද 2022 මාර්තු මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ටයර් කර්මාන්ත ශාලාව විවෘත කරන අවස්ථාවේදී අදහස් දැක්වූ ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්.) සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන එහිදී අවධාරණය කර සිටියේ. රටට විදේශ විනිමය උපයා දෙන මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ලැබීම ඉතා විශාල ජයග්‍රහණයක් වන බවයි.කොවිඩ් 19 නව කොරෝනා රෝග ව්‍යාප්තියෙන් පසුව, රැකියා අවස්ථා සහ අපනයන ආදායම් සම්බන්ධ මේවන විට ඇති වී තිබෙන ගැටලු ඇතුළුව දැනට මතුවී ඇති බොහෝ අභියෝග ජයගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය උපකාර වනු ඇති බවටද පැවසූ ලොකුවිතාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් තමන් නිබඳවම දිරිමත් කළ බවද සඳහන් කළේය. එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් මෙන්ම ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂයන්ද, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් මෙම ටයර් කර්මාන්ත ශාලා ව්‍යාපෘතිය යථාර්ථයක් කර ගැනීම සඳහා තමන්ට ධෙර්යය හා ශක්තිය ලබා දුන් බවද සිහිපත් කළ නන්දන ලොකුවිතාන ඉදිරි වසර කිහිපය තුළදී රට කාර්මික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ රජයේ අරමුණු ජය ගැනීම සඳහා, මෙරට පවතින වටිනා ආයෝජන අවස්ථා සොයාබැලීමට අනෙකුත් ආයෝජකයන්ද පෙලඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද සඳහන් කළේය. නවීන හා නිර්මාණශීලී අදහස් ද සමඟ මෙරට දහස් සංඛ්‍යාත පිරිසකට රැකියා අවස්ථාද සපයමින් මේ වන විට මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සුවිශේෂ සලකුණක් සනිටුහන් කළ ප්‍රමුඛයකු ලෙස හඳුන්වා දිය හැකි නන්දන ලොකුවිතාන සිලෝන් ස්ටීල් කෝපරේෂන් සමාගමේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජධානියේ ඔනික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි. ඔහුගේ අනෙකුත් ආයෝජන අතරට ඩුබායි හි පිහිටි මැරියට් අල් ජඩාෆ් හෝටලය මෙන්ම හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ඉදිවන, 2021 මැයි මාසයේ ආරම්භ වීමට නියමිත අති නවීන සිමෙන්ති ඇඹරුම් කම්හලක්ද, Marangoni Industrial Tyres Lanka සමාගමද ඇතුළත් වී තිබේ.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments