රූකඩ වගේ නැටවෙන රූකඩ ශිල්පීන් | සිළුමිණ

රූකඩ වගේ නැටවෙන රූකඩ ශිල්පීන්

 

එදා සිට අදත් සියලුම රූකඩ ශිල්පීන් ජීවත්වනුයේ බළපිටිය කොට්ඨාසයේ ය. එහෙත් ප්‍රකට වී තිබෙනුයේ අම්බලන්ගොඩ රූකඩ වශයෙනි. කදුරු ලීයෙන් තමාම කපා ගන්නා රූකඩ වර්ණ ගන්වා සළු පිළි පලඳා සකස්කර ගැනීමෙන් පසු ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කොට විනෝදයක් ලැබූහ.

ලෝකයේ රටවල් අසූවක පමණ විවිධ රූකඩ නාට්‍ය කලාව තිබෙනමුත් නූල් රූකඩ නාට්‍ය කලාව තිබෙනුයේ ශ්‍රී ලංකාවේ ය. එදා ගැමියන් අතර පමණක් ප්‍රකට ව තිබූ මෙරට හා ජාත්‍යන්තරයට ගෙන යෑමේ ගෞරවය හිමිවනුයේ බළපිටිය කන්දෙගොඩ ගම්වාරී පොඩිසිරිනා ගුරුන්නාන්සේට ය.

1922 වසරේ දී බ්‍රිතාන්‍ය රජ පවුලේ වේල්ස් රජ කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි මොහොතේ කොළඹ බගතලේ වලව්වේදී පොඩිසිරිනා ගුරුන්නාන්සේට රූකඩ සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට වාසනාව උදාවන්නේය. එය පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ ජීවිතය මෙන්ම රූකඩ කලාව ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් ලැබීමට මෙය හේතු විය. රූකඩ සංදර්ශන ගැන පැහැදුණු වේල්ස් කුමරු රන් පදක්කමක් සහ රුපියල් පන්සියයක මුදලක් පිරිනමා ඇත. (රුපියල් පන්සියය මුදල එදා ඉහළ වටිනාකමකි.) ගැමියන් අතරේ ප්‍රකටව තිබූ රූකඩ කලාව දේශීය ප්‍රභූන් අතරේ මෙන්ම විදේශීය අමුත්තන්ගේ ද අවධානය දිනා ගනුයේ එතැන් සිටය.

එසේ දෙස් විදෙස් හි ප්‍රකට රූකඩ කලාවට නිසි තැනක් නොලැබීමෙන් රූකඩයක් බවට පත්ව ඇත. කොරෝනා වසංගතයෙන් අද ඔවුනට යන එන මං නැතුව ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇත. රූකඩ කණ්ඩායම් කිහිපයක් හමු වූ විට ඔවුන් පවසා සිටියේ මේ අයුරින්ය. පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ මුනුපුරකු වන වතුගෙදර පොකුණ පාරේ පදිංචි සාරංගා රූකඩ අධිපති ජී. ප්‍රේමින් (75) මෙසේ කීය.

ශ්‍රී ලංකාවේ රූකඩ කලාවේ උපත බළපිටියේ. සියලු රූකඩ ශිල්පීන් පදිංචි වී ඉන්නේ. බළපිටිය කොට්ඨාසයේ. තැපැල් අම්බලන්ගොඩ නිසා අම්බලන්ගොඩ ට උරුම වුණා. නාඩගම්, රූකඩ, කෝලම්, බලි තොවිල්, ශාන්ති කර්ම, රුක් කලා, ගොක් කලා, ජ්‍යෝතිෂය, වෛද්‍ය, චිත්‍ර, මූර්ති ආදී කලාවන් සියල්ලගෙන් පිරි කොට්ඨාසය බළපිටියයි.

මම වසර ගණනාවක් තිස්සේ සිට ජාතික කෞතුකාගාරයෙන් ඉල්ලීමක් කළා රූකඩ වලට කුටියක් හදන්න කියල. ඒකෙ ලොක්කෝ ඒ ගැන උනන්දුවක් නොදැක්කුවම මම අම්බලන්ගොඩ හිරේවත්තේ ගාලු පාරේ අංක 9 දරන ස්ථානයේ ගොඩනැගිල්ලක් කුලියට අරගෙන ලංකාවේ ප්‍රථම කෞතුකාගාරය ආරම්භ කළා.

මේ කාලය ඇතුළත ජාත්‍යන්තරයේ රූකඩ කලාව පිළිබඳව සොයා බැලුවම තමයි මාර්තු මස 21 වෙනි දින මුළු ලෝකයම සමරන දිනයක් තිබෙන බව දැනගත්තේ. ඒ අනුව එවකට සංස්කෘතික ඇමැතිවරයා වූ විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් 2005 මාර්තු මස 21 වෙනි දින ටවර් රඟහලේ දී ලෝක රූකඩ දිනය සැමරුවා. මම වගේ පුංචි මිනිහෙකුට ලෝක රූකඩ දිනය හඳුන්වාදීමට හැකිවීම ගැන සතුටු වෙනවා.

‘මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලයේදී අනූ අට දෙනෙකුට විවිධ කලාවන් වලට රාජ්‍ය සම්මාන දුන්නා. එහෙත් රූකඩ වලට ලැබුණේ නැහැ. 2018 වසරේදී යුනෙස්කෝ ආයතනය නූල් රූකඩ කලාව ලෝක උරුමයක් හැටියට නම් කර තිබෙනවා.

ඒකට මූලික වුණෙත් මමයි. කොළඹ පදනම් ආයතනයේ යුනෙස්කෝ ආයතනයෙන් සංවිධානය කළ වැඩසටහනක් තිබුණා. දින පහක් නේවාසිකව සිටියේ. රෙද්ද බැනියම ඇඳපු මම නූල් රූකඩ කලාව පිළිබඳව කරපු කතාව පරිවර්තනය කළේ මහාචාර්ය නන්දදේවයි. මේ වන විට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අස්පර්ෂණීය උරුම සංරක්ෂණය කිරීමේ අනුමණ්ඩලයක් තිබෙනවා.

එහි සභාපතිත්වය දරන්නේ මහාචාර්ය කමල් වලේබොඩ. මහාචාර්ය තිස්ස කාරියවසම් 1988 මැයි මස ‘සිළුමිණ’ පත්තරේට ලිපියක් ලියල තිබුණා ‘පරපුරෙන් පරපුරට උරුම වූ හෙළ රූකඩ නාට්‍ය කලාව’ සිරස්තලය යටතේ. පොඩිසිරිනා ගුරුන්නාන්සේගෙන් ගෙන ගිය 47 න් යුත් රූකඩ කට්ටලයක් ජර්මනියේ මියුනික් නගරයේ කෞතුකාගාරයේ තිබෙන බව ඒ ලිපියේ සඳහන් කර තිබුණා.

එහෙම පුරාණයක් තිබෙන රූකඩ වලට බලධාරීන්ගේ අවධානයක් නැතිවීම ගැන කනගාටු වෙනවා. ඒ වගේම අද රූකඩ ශිල්පීන් ඉන්නේ බොහොම අමාරුවෙන්. සංදර්ශන තිබුණ නම් අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ කලාවේ සියයක් එකසිය පනහක් විතර ඉන්නේ. එයින් වැඩි ප්‍රමාණයක් දුවන්නේ පෙති වලින්. නොයෙකුත් අසනීප වලට ප්‍රතිකාර ගන්නවා.

පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ මුනුපුරෙක් වන ‘ගාමිණී රූකඩ’ ශිල්පීන් වන වතුගෙදර පොකුණවත්තේ පදිංචි ජී. විජේසිරි (56) මහතා පවසා සිටියේ මේ අයුරින්ය. මේ කේෂ්ත්‍රයේ නියැළෙන ශිල්පීන් සතු විවිධ කලා කුසලතාවන් තිබෙනවා. රූකඩ කැපීම, සකස් කිරීම, වර්ණ ගැන්වීම, ඇඳුම් නිර්මාණය, වේදිකා හා පසුතල නිර්මාණය, සංගීත සංකලනය, ගායනය, දෙබස් කැවීම ආදී දක්ෂතා තිබෙනවා.

මේ කේෂ්ත්‍රයේ ඉන්න එකම උපාධිධාරියා ජී. සුපුන් චතුරංග. ඔහුගේ අදහසක් අනුව 2017 මාර්තු මස 21 වෙනි දින ලෝක රූකඩ දිනය නිමිත්තෙන් බළපිටිය වලගෙදර දී රූකඩ කෞතුකාගාරයක් ආරම්භ කළා. මෙයින් යම් ආදායමක් තිබුණා. පාස්කු ප්‍රහාරයෙන් අපි වැටිල ඔළුව උස්සගෙන එනවිට තමයි කොරෝනාව ආවේ. කොරෝනා පළමු රැල්ලෙන් පස්සේ දේශීය සංචාරකයන් සුළු ප්‍රමාණයක් ආවත් දැන් ඒකත් නැහැ.

විදේශිකයෝ එනව නම් කෞතුකාගාරය බලන්න අනිවාර්යයෙන්ම එනවා. ඒ අය අගය කරල ආධාරත් දෙනවා. රූකඩත් මිලදී ගන්නවා. දැන් කුලියවත් ගෙවා ගන්න විදියක් නැහැ. රජය හෝ පෞද්ගලික ආයතනයක්වත් අත දෙනව නම් වටිනවා.

අම්බලන්ගොඩ බෝගහවත්තේ නිපුණ රූකඩ ශිල්පීන් වන නිමල් ගම්වාරි (63) මෙසේ කීය. මගේ සීයා ගම්වාරි ගයනේරිස්. ගම්වාරි චාලි මගේ තාත්තා. ඒ අය වෘත්තිය වශයෙන් කළේ රූකඩ කලාවයි. මට වයස අවුරුදු අටේදී තාත්තා නැතිවුණේ. ගම්වාරි සිරිල් බාප්පගෙන් මම ඉගෙන ගත්තේ. මේකෙන් තමයි ජීවත් වුණේ මාසයකට සංදර්ශනයක් කර ගත්ත නම් ඇති. දැන් අපි අමාරුවේ වැටිල ඉන්නේ. රූකඩයක් කපා ගන්න කදුරු ගහක් ගේන්න බැහැ. ඒකට බලපත්‍ර දෙන්නේ නැහැ. කදුරු ගහක් ගේන්න රුපියල් හත් අට දහසක් විතර යනවා. කදුරු ගහේ අතු ටිකවත් කපා ගෙන එන්න අවසර දෙන ලෙසයි රජයෙන් ඉල්ලන්නේ.

රූකඩ වලට ඉල්ලුමක් තිබෙනවා. රූකඩ සුද්දන්ට විකුණල ආදායමක් සොයන්න පුළුවන්. අනෙක් කර්මාන්ත වලට උදවු කරනවා වගේ අපේ කදුරු ගස් ගේන්න සහනයක් සලසන ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. දඹුල්ල, සීගිරිය, කොග්ගල, හික්කඩුව, මීගමුව ආදී ප්‍රදේශවලින් ඇවිත් රූකඩ ගෙනියනවා. අපි ගෙවල් දොරවල් හැදුවේ දරුවෝ හැදුවේ රූකඩ වලින්. දැන්නම් වැලේ වැල් නැහැ.

ශ්‍රී අනුර රූකඩ ශිල්පීන් වන අම්බලන්ගොඩ බෝගහවත්තේ පදිංචි නලින් ගම්වාරි (70) මෙසේ කීය.

මම කුඩා කාලයේ ඉඳලමයි මේ රක්ෂාව කරන්නේ. වයස අවුරුදු දහසයේදී මම ආධුනික රූකඩ නාට්‍ය තරගයේ පළමු ස්ථානය දිනා ගත්තා.

ලෝක ආහාර සංවිධානය වෙනුවෙන් සාගින්න කියල රූකඩ ගීත නාට්‍යයක් කළා. පින්ලන්තයේ පිරිසක් සමඟ මුහුදු කුමාරයා කියල මුහුද යට සංදර්ශනයක් කළා. කොරෝනා වලට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියල රූකඩ නාට්‍යානුසාරයෙන් පෙන්නුවා. ඒක ලෝකයේ කොරෝනා වෙනුවෙන් කරපු හොඳම නිර්මාණය බවට පත්වුණා. මම රටවල් විස්සක විතර ගිහින් රූකඩ නාට්‍ය පෙන්නල වැඩමුළු පවත්වල තිබෙනවා. ජාතික ශිල්ප සභාවෙන් හැම වසරකම හොඳම නිර්මාණ හැටියට සම්මාන දිනල තිබෙනවා.

අද මේ තත්ත්වයටත් රූකඩ ඉතිරිවී තිබෙන්නේ ශිල්පීන් ටික දෙනා නිසයි. රූකඩ වලට අත් වූ ඉරණම ගැන මම කවියක් දෙකක් ලිව්වා.

 

පොරණේ සිටන් රැකගෙන එන කලාවකි

නරඹන අයට නම් එය රස ගුලාවකි

පැවසිය හැකිය නොබියව මට අනාවැකි

රූකඩ කලාවට සෙනසුරු දසාවකි

 

රැකගන්නට සිතා කෙරුවත් අර ගලය

පිහිටක් නොමැත ඇති අයගෙන් නිල බලය

කරුණක් කියන්නම් ඒ ගැන නැත සැකය

රූකඩ කලාවේ මළගම අත ළඟය

Comments