රට පූසා | සිළුමිණ

රට පූසා

 

“දැන් අලුත් එවුන් සෙට් වුණාට අපි හෝඩියෙ ඉඳන් ඉගෙන ගත්තෙ එකට නේද?“ බාප්පාගේ නිසල දේහය දෙස බලා ඉන්නා විට මේ දෙබස් නිරායාසයෙන් මගේ මනසට ගලා ආවේය. චීත්ත සරොම්වලින් හා පට්ටවාඩි වූ කමිසවලින් සැරසී “මොරගහ ඇළ“ ඉවුර දිගේ දැවැන්ත මී කුඹුක් ගස් යටින් ගමේ කනිටු පාසැලට ගිය බාල වියේ මතකය අකල්හි හැමූ සැඬ මාරුතයක් සේ මා සිත ඔද්දල් කළේය.

බඩට හරිහැටි කෑමක්, බීමක් නැතිව පයට පාවහන් නැතිව, ලියන්නට ගල්ලෑල්ලක්, ගල්කූරක් නැතිව වුවත් අප පාසැල් ගියේ එය එක්තරා අන්දමක විනෝදයක් වූ නිසාය. අපෙන් බොහෝ දෙනෙකුට පාසැල් අඳින්නට අමුතු ඇඳුම් තිබුණේ නැත. ගෙදරට අඳින සරොම හෝ ජංගිය මෙන්ම සුදු හෝ වෙනත් ඕනෑම පැහැයක කමිසය පාසැලටත් ප්‍රමාණවත් විය.

ජැන්ඩියට හැඳ පැලඳ නගරයේ සිට පැමිණි ඇතැම් ගුරුවරුන්ට සේම ගමේ යමක් කමක් ඇති පවුල්වල බොහෝ ගුරුතුමන්ලාට අප අපුල වීම අරුමයක් නොවේ.

“අනේ අපේ චූටි මල්ලි... අපි සේරම ඉඳිද්දි බඩපිස්සා ඉස්සර වුණා! අනේ අපිවත් ඇන්න පලයන් මල්ලියේ!“

පුංචම්මලා, බාප්පලා ද, ගොල්ල වරිගේ අනෙක් නෑ හිතවත්හු ද එසේ කියමින් විලාප දුන්හ. කිරි අම්මා මා දුටු විගස පෙරට පැමිණ, මා බදාගෙන ඉකි ගසන්න පටන් ගත්තාය. දන්න කාලයේ සිටම බුලත් විට සපා, දුර්වර්ණ වූ දත් අතරින් ඈ දොඬන මැසිවිල්ලක් ද මගේ කණ වැකිණි.

“අනේ පුතේ, උඹව දැක්ක කල්?

උඹ එහෙනම් චූටි බාප්පා බලන්න ආවා නේද?

අපේ එකා උඹත් එක්ක ඉඳහිට නොහොඳ

නෝක්කාඩු උනාට ඌ එව්වා කවදාවත් හිතේ තියාගත්තෙ නෑ“

හිටි අඩියේ සිදු වූ චූටි බාප්පාගේ මරණය කිසිවකුට ඇදහිය නොහැකි විය. වැඩිමහල් පුංචම්මා මෘත දේහය අසල මෙසේ කියමින් විලාප දෙනු මට ඇසිණි.

“අන්තිම දවස්වල චූටි මල්ලියගෙ පුදුම රූප ලස්සනක් තිබුණෙ. හරියට රාජ කුමාරයෙක් වාගේ. අනේ ඇස්වහක්, කටවහක් වැදුණද දන්නෙ නෑ.“ හදිසියේ අසනීප වූ බාප්පා රෝහලට රැගෙන යන විටත් ප්‍රාණය නිරුද්ධ වී තිබේ. මට වැටහුණ පරිදි නම් ඔහුගේ මරණය අධික මත්පැන් පානය නිසා සිදු වූ විපැත්තියකි.

බාප්පා මියගිය පුවත ඇසූ විට මා තුළ කිසියක් කම්පනයක් ඇති නොවූවාම නොවේ. එහෙත් දැඩි සන්තාපයක් ඇතිවූවා යැයි කිවහොත් එය මුසාවකි.

බාප්පා යැයි ඇමතුවද ඔහු මගේ ළඟම ඥාතියකු නොවීය. එහෙත් පිය පාර්ශ්වයෙන් යම් නෑකමක් තිබිණි. එසේම ‘බාප්පා‘ මට වඩා වැඩිමහලු වූයේ දෙවසරකට පමණි. අප ඉගෙන ගත්තේ එකම පන්තියේය.

ඔහු මගේ අසල්වැසියා වූ නිසා වැලි කෙළියේ පටන් අපි හොඳ යහළුවෝ වීමු. ඇතැම්විට ඒ මිතු දම ‘අපායසහාය‘ ලක්ෂණවලින් ද ‘සමානසුඛදුක්ඛ‘ ලක්ෂණවලින් ද යුක්ත විය.

සිහින්, පැහැපත් සිරුරින් යුතු බාප්පා කැරලි ගැසුණු මඳක් තඹ පැහැ හිසකෙසින් යුක්ත වූවෙකි. බළල් ඇස් තිබූ බැවින් ළමෝ ඔහුට ‘රට පූසා“ යැයි නමක් පට බැන්දහ.

එතරම් චාරයක් නැතිව වැඩුණු අපි වයසට වඩා වැඩුණු ළමෝ වීමු. කීකරු, ගුණ යහපත් ළමුන් ගැන සතුටු වන මාපියන්ගේ ඇසින් බැලුවහොත් අපි කිසි විටකත් එබන්දෝ නොවීමු.

ඉගෙනීම ගැන අප කාටත් විශේෂ උනන්දුවක් නොතිබිණි. නමුත් මට ඉගෙනුමට යම් හැකියාවක් ඇති බව වැටහුණේ ගුරුවරුන් වරින්වර කී වදන්වලිනි.

“ළමයො උඹ උනන්දු වුණොත් හොඳට ඉගෙන ගන්ට පුළුවන් එකෙක්. නිකං අනික් ගොන්නු තලේට වැටිලා ගොනෙක් වෙන්ට එපා!“

කෙසේ වෙතත් බාප්පා ඉගෙනුම ගැන දැක්වූ උනන්දුව ප්‍රකට කෙරුණු එක්තරා අපූරු සිද්ධියක් මට මෙවේලේ සිහිපත් වේ.

එය දෙසැම්බර් නිවාඩුව ලබා දෙන දිනය විය. එවකට අප ඉගෙනුම ලැබුවේ සිවුවැනි ශ්‍රේණියේය.

එදිනද සුපුරුදු ලෙස පාසල් ඇරී එන විට බාප්පාගේ නිවසට ගොඩවැදී ඒමට මම අමතක නොකළෙමි.

ඒ හෝරාවේ බාප්පාගේ මව; නෑකමින් මගේ කිරි අම්මා සිටියේ තැම්බූ වී මාගල්වල දමා වේළමිනි. අව් රශ්මිය නිසා ඈ සුරත නළලට තබාගෙන අප දෙස බැලුවාය.

“උඹලා මොකද මේ තරම් පරක්කු වුණේ?“

ඈ අැසුවේ පිළිතුරක් බලාපොරොත්තුවෙන්ම නොවේ. යළිත් ඇය බාප්පා දෙස විමසිල්ලෙන් බලා හිඳ පැනයක් නැඟුවාය.

“ඈ පුතේ... අද පාස් පේල් කීවද? ඉතින් මේ සැරේ උඹ පන්තියේ කීවෙනියද?“

බාප්පා කිසිවක් නෑසුනා සේ සෙමෙන් කුස්සිය පැත්තට ගොස් යළි සාලයට ආවේ කුමක් හෝ දෙයක් කටේ ඔබාගෙනය.

“කොල්ලා දැං මං උඹෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒකට උත්තර නැද්ද?“

නමුත් බාප්පාගේ ඉරියව්වල කිසිඳු වෙනසක් ඇති වූයේ නැත.

“ආ... මමද? ම නං කීවෙනියද කියල දන්නෙ නෑ. ඒත් එහා ගමේ බලි ගුරුන්නාන්සෙගෙ දුව ‘රූපවතී‘ නම් තුන්වෙනියා.“

“දැන් මං තොගෙන් ඇහුවද ඉලව් රූපවතීගෙ විත්තියක්. ඒකි කීවෙනිය උණත් තොට ඇති රුදාව මොකක්ද?“

කිරි අම්මා තරහින් ගෙරෙව්වාය.

‘රූපවතී‘ යනු අපේ පන්තියේ සිටි රූමත්ම දැරියයි. සිහින්, සුදු සිරුරකින් ද, චංචල, ලොකු දෑසකින් ද හෙබි ඇය ඉගෙනුමට ද සමත්කම් දැක්වීය. එහෙත් ‘රූපවතී‘ උපතින්ම දකුණු පාදය ආබාධිතව උපන් තැනැත්තියකි. එබඳු රූපවන්තියකට මෙබඳු ඉරණමක් අත්වීම ගැන අපට දුකක් නොදැනුණාම නොවේ. නමුත් සිත් අමනාපකම් ඇතිවූ විට ඇගේ ආබාධය ගැන සඳහන් කර නින්දා කිරීමට තරම් අපි නොසණ්ඩාලයෝ වූයෙමු.

“බලි ගුරාගෙ දූ ඇද

බලාපියව් යන හැටි!“

අප එසේ කෑගැසූ විට ඕ ඇතැම් විට අපට දෙස් දෙවොල් තබන්නීය. නමුත් වැඩිපුරම සිදු වූයේ ඇස්වවල කඳුළු පුරවාගෙන නිහඬව බලා සිටීමයි. නමුත් පුදුමයට කාරණය නම් නාහෙට නාහන බාප්පා කිසි දවසක ඇයට එබඳු අවමන් වදන් අවිවලින් පහර නොදීමයි. එපමණක් නොව ඔහු එසේ කරන අයට ද එරෙහි විය. මේ නිසා පාසලේ පිරිමි ළමුන් සඳහා වෙන්වූ වැසිකිළියේ කවුදෝ ‘රට පූසා + ඇදී‘ යනුවෙන් අඟුරු කැබැල්ලකින් ලියා තිබිණි.

“එතකොට පුතේ උඹ කී වැනියද?“

මඳ වේලාවකට පසු කිරි අම්මා මා දෙස බලා ඇසුවාය. මම කිසිවක් නොකීවෙමි. මා පිළිතුරු දුන්නොත් ඔහුට අවාසියක් වේ යැයි මට සිතිණි. එහෙත් බාප්පා සතුටින් සිවුරුහන් කර පිළිතුරු දුන්නේය.

“අජිත් පුතා තමයි පන්තියේ දෙවනියා!“

කිරි අම්මා වී මාගල අතගාන අතෙර් දිගු සුසුමක් හෙළුවාය.

මේ සියල්ල මට සිහිපත් වූයේ අද ඊයේ සිදුවූවා මෙන් නිරායාසයෙනි.

බාප්පාගේ හදිසි මරණය නිසා කසිප්පු ලෝලියෝ මුසුප්පුව සිටියහ.

“චූටි මල්ලියගෙ... අපෙ දෙයියගෙ මරණෙ වැඩ කටයුතු ටික නොම්මර එකට කරන්ට ඕනෙ. ඒ වගේ රියල් කොල්ලෙක් මේ අහල ගං හතකවත් හිටියද මචං?“

බාප්පා ඉතා අඩු වයසින් විවාහයක් කර ගත්තේය. ඔහුගේ බිරිය ‘මල්ලිකා‘ පුතුන් දෙදෙනකු වැදුවාය.

කේන්ති ගිය විට බිරියට අමු කුණුහරුපයෙන් බැණ වැදී, පහර දීමට වුවද ඔහු නොපසුබට විය. එහෙත් ඔහු දෙදරුවන්ට අසීමිත ලෙස ආදරය කළේය.

“අනේ චූටි මල්ලියේ! ඇයි උඹ අපිව දාලා ගියේ? අනේ ඉතිං නැගිටපංකො මල්ලියේ! නැගිටලා අපට වෙනදා වගේ බැණපංකො මල්ලියේ!“

කවුරුන් හෝ පැමිණෙ විට බාප්පාගේ සහෝදරියෝ එවැනි නිර්මාණාත්මක දුක්ඛ වාක්‍ය කියමින් විලාප නැඟූහ.

මේ සියල්ල නිසා ඔහු පිළිබඳ පැරණි මතක මංපෙත්වල විසිර ගිය මතක යළි මා වටා පෙළ ගැසිණි.

මීට වසර කීපයකට පෙර දුර බැහැර උන් ඥාතියකුගේ මළගමට යාමට අපට සිදුවිය. මේ සඳහා මුස්ලිම් ජාතිකයකුට අයත් වෑන් රියක් කුලියට ගන්නා ලදී. රිය පැදවූයේ මැදිවියේ උන් මුස්ලිම් මිනිසාය.

මම රියැදුරු අසුනට වම්පසින් වාඩි වී සිටියෙමි. අවමඟුල නිමාවී, මඳ පමණට සප්පායම් වෙමින්, පසුපස ආසනවල සිටි පිරිස අතර බාප්පාට නිතැතින්ම මූලිකත්වය ලැබිණි. මේ වන විටද අප දෙදෙනා අතර කතාබහක් තිබුණේ නැත.

ඒ වන විට නගරය මැදින් රථය ධාවනය වෙමින් තිබිණි. අපගේ ගමට යන අතුරු පාරට රථය හැරවීමට තිබුණේ නොබෝ දුරකි. එහෙත් එක්වරම කඩවීදියේ අයිනක උන් පොලිස් භටයෝ දෙදෙනෙක් රථය නවතන ලෙස සංඥා කළහ.

“අපිව පොලීසිය ළඟින් දාන්න!“

පොලිසිය පිහිටා තිබුණේ අපේ ගමට යන අතුරු මාවතේ නිසා මේ ඉල්ලීම අරුමයක් වූයේ නැත.

එහෙත් ඔවුන් දෙදෙනාම මා සිටි ඉදිරිපස අසුනට නැග, මා දෙපසින් තෙරපී හිඳ ගැනීම මට නුරුස්නා සුලු විය. එසේම ඔවුහු මගේ මුහුණ දෙස ඉතා සුපරීක්ෂාවෙන් බලා සිටියහ. මේ වන විට රියේ පසුපස මීයට පිම්බාක් වැනි නිහඬතාවක ගිලී තිබිණි. වෑයමින් පිටුපස හැරී බලන විට බාප්පාගේ බියපත් බළල් ඇස් මට දිස් විය.

පොලීසිය ඉදිරියට රථය නැවැත්වීමට රියදුරු සූදානම් වෙත්ම, එක් භටයකු රළු ලෙස මෙසේ කීය.

“හොඳයි එහෙනං අල්ලමු බලන්ට වෑන් එක මිදුලට!“

වික්ෂිප්ත වූ රියැදුරා ප්‍රතිචාර දැක්වූයේ සුක්කානම මත තිබූ සුරත නළල මත තබා ගනිමිනි.

“දෙයියනේ! ඇයි ෂෑර් ඒම කියන්නේ?“

මුවින් නොබිනූ භටයෝ මා දෙසම අවධානය යොමු කරමින් සාවඥ සිනා පෑහ. රථය පොලීසිය මිදුලේ නැවැත්වූ විට එක් භටයකු මෙසේ කීය.

“ඇයි කියල නේද ඇහුවේ? මේ වෑන් එකේ ඉන්නවද ඒ.ජී. අබේරත්න කියල කෙනෙක්!

“ එකිනෙකා නිහඬව මුහුණින් මුහුණ බැලූහ. එහෙත් කිසිවෙක්, කිසිවක් නොකීහ. විනාඩියක්, දෙකක් එසේ තිබෙන්නට ඇත. ඉන්පසුව බාප්පා සන්සුන් හඬින් මෙසේ කීවේ, පාසලේ පන්තියේදී මෙන් සුරතද මදක් ඔසොවාගෙනය.

“සර්... මං තමයි ඒ.ජී. අබේරත්න!“

භටයෝ දෙදෙනා සිය විස්මය නොසඟවා පළ කළහ.

“අයිසෙ තමුසෙද අබේරත්න? අපි හිතුවෙ මෙයා කියලා.“

ඔවුන්ගෙන් එක් අයකු පැවසුවේ මුහුණ පුරා ඝන රැවුලක් වවා සිටි මා දෙසට අත දිගු කරමිනි. සුදු සරම හා කමිසය හැඳි බාප්පා මැනවින් රැවුල බා සිටියේය.

“ඒ අපේ පුතෙක් රාලහාමි. එයා කවදාවත් පොලීසියක පස් පාගලා නෑ.“

බාප්පා මුල්වරට මගේ මුහුණ බලා මඳ සිනා පා පිළිතුරු දුන්නේය.

සන්සුන් ලෙස රථයෙන් බිමට බැසගත් බාප්පා ගම්මුන් දෙස බලා යළිත් සිනාසුණේය.

“හරි... එහෙනං මං නවතිනවා. මල්ලිකාටයි දරුවන්ටයි කියන්ට, කලබල වෙන්ට එපා කියලා.“

එවිට භටයන්ගේ සෝපහාස වදන් රැව්දිණි.

“ඔව්.. ඔව්... ගිහිං කියනවල මිනිහට සෑහෙන කාලයක් නවතින්න වෙයි. මොකද වරෙන්තු නවයක්ම තියනවනෙ.“

එතැන් සිට ගමට යන තෙක් රථයේ සිටි පිරිස කෙරෙන් නිකුත් වූයේ මළගමකට ගොස් පැමිණෙන අයගේ සැබෑම මානසිකත්වයයි.

ඒ කාලයේ ජංගම දුරකථන ගැන රටේ කිසිවකු අසා තිබුණේ නැත. අහල ගං හතක ස්ථාවර දුරකථන පවා, විදුලි බලයද නොතිබිණි.

ඒ නිසා මේ තරම් නිවැරදිව බාප්පා ගැන ඔත්තුව දුන්නේ කවුරුන් විසින් දැයි සිතා ගැනීමට නොහැකි විය. වරෙන්තුකාරයකු නිසා බාප්පා ගමෙන් පිට වූයේ කලාතුරකිනි.

ගම, ඔහුට බලකොටුවක් විය. පොලිස් භටයකු ගමට අඩිය තියන විට ඔහුට ඒ බව දන්වන්නට ඕනෑ තරම් උදවිය උන්හ.

එවර නම් බාප්පාට මාස ගණනක් මහඋළු ගෙදර ළගින්නට සිදු විය.

නමුත් නිදහස්ව පැමිණි පසු ඔහු තමන්ගේ නොපනත්කම් තවදුරටත් වේගවත් කළේය.

මේ වන විට මා සිටියේ උසස් පෙළ විභාගයට දෙවන වරට පෙනී සිටීමේ සූදානමිනි. එසේම විභාගයට සැරසෙන ගමේ මිතුරු කල්ලියක් ගොඩ නඟා ගැනීමට ද මට හැකිවිය.

වීරසිංහ, ආරියරත්න සහ විමලසිරි මගේ සමීප මිතුරන් වූයේ එසේය. මේ අතුරින් ඉගෙනුම පිළිබඳ මනා හැකියාවක්ද, දැඩි ආත්ම ශක්තියක් ද තිබූ ‘විමලසිරි‘ යකෙකුටවත් බිය වූවකු නොවීය. වරක් සිය පියාට පහර දීමට පැමිණි එහා ගමේ බේබදු චණ්ඩියකුට අත් පොරොවෙන් මුහුණටම කෙටීමට තරම් ඔහු සාහසික වී තිබිණි. ඔහු හැම විටම අවධාරණය කළේ අපි සියලු දෙනාම සරසවියට යා යුතු බවයි.

අපේ ‘උසස් පෙළ සන්ධානය‘, පිළිබඳව බාප්පා ඇතුළු ගමේ බොහෝ තරුණයන්ගේ කිසිදු කැමැත්තක් නැති බව පැහැදිලිව පෙනිණි.

එහෙත් ඔවුහු එළිපිට අප සමඟ ගැටීමට නොආහ. නමුත් දිනෙන් දින ගැටුම්කාරි පරිසරයක් නිර්මාණය වන විට, අපිද අපේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්න සිතුවෙමු.

හාස්‍යොත්පාදක කරුණක් ලෙස යමකු බැහැර කළ හැකි වුවද ‘විමලසිරි‘ ගේ මූලිකත්වයෙන් අපි දීර්ඝ වශයෙන් කරුණු ඇතුළත් ලියැවිල්ලක් පිළියෙල කළෙමු.

පාඩම් කිරීමට රැස්වුණු එක්තරා රැයක දෙගොඩහරි යාමයේදී අපේම රුධිරයෙන් එයට අත්සන් තැබීමු. එහි ඇතුළත් සියලු කරුණු අද මා හට මතක නැත. එහෙත් එහි මුඛ්‍ය කාරණය වූයේ අපේ ප්‍රධාන සතුරන්ට එරෙහිව රහසිගත ප්‍රහාර එල්ල කිරීමයි. (තවමත් හෙළිදරව් නොවූ කාරණා නිසා ඒවා සවිස්තරාත්මකව දැක්වීමට මගේ කිසිදු කැමැත්තක් නැත.)

නමුත් එක්තරා දිනක තත්ත්වය වෙනස් විය. එදින අපි සිවුදෙනා රාත්‍රියේ අපේ නිවසේ පාඩම් කළෙමු. නිදිමත දැනුණු බැවින් සින්දු කියමු යැයි යෝජනා කළේ මාය.

අපි සින්දු කීමට පටන් ගතිමු. එහෙත් අන් කිසිවකුට සාමාන්‍ය මට්ටමින් හෝ ගායන හැකියාවක් තිබුණේ නැත. අපේ බජව්ව මඳක් උස්ව නැගෙන විට, එක්වරම බාප්පගේ නිවසින් බැණ වදින ශබ්දයක් ඇසිණි.

“අඩෝ... කවුද ඔය කියත් පීරි ගානවා වගේ බජව් දාන්නේ? මෙතන වැදගත් මිනිහෙකුට ඇවිල්ල මාත්තෙක්ක සාකච්ඡා කරන්නවත් විදියක් නෑනේ.“

‘විමලසිරි‘ මා දෙස බලා ඉඟි මැරීය.

“රට පූසා නේද? අද නං ඌ ඉල්ලං කන්නයි හදන්නෙ.“

අපි සිවුදෙනාම එළියට බැස්සෙමු. මගේ අතේ ඒ වන විටත් අපේ කිරි අත්තාට අයත්ව තිබූ සිංහ මිට සහිත කස්තානය තිබිණි. ‘විමලසිරි‘ පැමිණියේ නිතරම ළඟ තබාගෙන ඉන්නා තියුණු කිරිච්චියද සහිතවය. අනෙක් දෙදෙනා නිරායුධව උන්නද, එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සිටියහ.

බාප්පා වෙරි මරගාතේ බැණ අඬ ගසන හඬද කීප දෙනෙකු ඔහුව අස්වසන ස්වරයද ඇසිණි. ‘විමලසිරි‘ පිළිතුරු දීමට ලෑස්ති වුවද, මම ඔහුව වළකා කෑ ගැසුවෙමි.

“කවුද බං උඹේ ගෙදර ඉන්න වැදගත් පොරවල්? කාසියා බොන්න ආපු එවුන්ද?“

“අඩෝ...! කවුද ඔය චණ්ඩියා...? අජිය?“

“ඔව්... ඩෝ ඇයි...?“

“ආ.... එහෙමද? බලමු එහෙනං අලුත් චණ්ඩින්ගෙ හැටි. මං එනවා ෆේස් ටු ෆේස් හැප්පෙන්ට. රයිට්... එන්ටර් ද ඩ්‍රැගන්.. හරිද?“

අබේ බාප්පා එසේ කියමින් අපේ නිවස දෙසට එනු අපි දුටිමු.

“මචං රට පූසා මෙහාට එනව වගේ“ විමලසිරි මිමිනුවේය.

“උඹ හිටපං මං මූට දෙන්නං අද!“

විමලසිරි කීවේ කෝපයෙන් කළුගැන්වුණු මුහුණිනි. එහෙත් ඔහුගේ කෝපයේ තරම දන්නා මම ඔහුව වළකා පෙරට ගියෙමි. බාප්පාගේ හිතවතුන් මිදුලේ රැස්වී සිටියද ඔහු පැමිණියේ තනිවමය.

මත්පැන් මත නිසා ඔහු ආවේ වැනෙමිනි. උඩුකය නිරුවත්ව පිජාමා සරම වලාපොට ගසා සිටි ඔහු අපගේ වැට මායිම පැන්නේය.

කෙසේ වෙතත් නිරායුධව පැමිණෙන ඔහුට පෙනෙන සේ කස්තානය තබා ගැනීම නොමැනවි යැයි මට සිතිණි. මම අවිය රැඳි සුරත පිටුපසට ගතිමි. එහෙත් ඔහු ආයුධයද මගේ මිතුරන්ද දකින්නට ඇත.

“මොකද අජිත් පුතා මට රෝං ටෝක් දාන්නෙ? වැදගත් මාත්තුරු එන්ට පුළුවං උඹලගෙ ගෙදරට විතරද? දැන් අලුත් පොරවල් සෙට් වුණාට අපි හෝඩියෙ ඉඳන් ඉගෙන ගත්තෙ එකට නේද?“

අබේ බාප්පා එසේ කීවේ සෝබර ස්වරයෙනි. ඉනික්බිතිව ඔහු සෙමෙන් සිය නිවස දෙසට පා නැගුවේය. එදා සිට මරණය තෙක්ම අප අතර ඇයි හොඳයියක් තිබුණේ නැත.

මළගෙදර සෑහෙන පිරිසක් නිදි වරති. මුළුතැන්ගෙය දෙසින් ගැහැනුන්ගේ කසු කුසු ඇසෙයි. කඩදාසි ක්‍රීඩාවේ යෙදුණු තරුණයන්ගේ හඬ විටින් විට උස්ව නැගෙයි. අඳුරු කඳු ශිඛරය දෙසින් මළවුන්ගේ ළතෝනියක් බඳු සීත සමීරය හමා එයි.

“අපේ චූටි මල්ලියා රත්තරං කොල්ලෙක් බඩේ තියෙන දෙයක් වුණත් ඇදල දෙනවා. කිසි ලෝබකමක් නෑ.“

“ඇත්ත තමයි, අනික අවුරුදු විසි හතක් කියන්නෙ මැරෙන්න වයසක්ද ඕයි?“

මේ සියලු කතාබහ අතරේ මගේ සිතිවිලි විසි වසරක් තරම් අතීතයට දිව ගියේය.

ඉතා දරුණු ලෙස ළමුන්ට දඬුවම් කරන ගණිත ගුරුවරයකු අපේ පාසලේ සිටියේය. නිතරම බුලත් විට කා, කට රතු කරගෙන සිටි ඔහු හොස්ස ළඟින් මැස්සකු ගිය විටද පරුෂ වදන් බෙණෙමින් ළමුන්ට තැළුවේය. දිනක් සුළු වරදකට ඔහු අබේ බාප්පාට ඉතා තදින් දඬුවම් කළේය.

බාප්පාගේ සිරුරේ තැන තැන වයිරපළු මතුවී තිබුණි. එහෙත් එකදු කඳුළක්වත් නොහෙළූ බාප්පා දත්කූරු කමින් “හිටුකො බුලත් හපයට මං හොඳ වැඩක් කරන්නං“ කියමින් පාසල ඇරෙන තුරුම ශාප කළේය.

එදා ගෙදර ගිය චූටි බාප්පා යළි කිසිම දවසක පාසලේ පස් පෑගුවේ නැත.!

Comments