දොඩන්දූවෙන් ගොඩ ගැලූ විද්‍යා සාගරය | සිළුමිණ

දොඩන්දූවෙන් ගොඩ ගැලූ විද්‍යා සාගරය

විසිතුරු මන්දිර සහ උද්‍යානාදියෙන් සමලංකෘතව තිබී යටපත්ව ගිය විභූතිමත් ශිෂ්ටාචාර පැවති ස්ථානවල සහස්‍ර වර්ෂ ඇවෑමෙන් දිළිඳු පැල්පත් ඉදි වන්නා සේ සියවසකට පෙර ශාස්ත්‍රාලෝකයෙන් බැබළුණු ක්ෂේත්‍ර අඳුරු වවුල් තිප්පොළවල් බවට පරිවර්තනය වීම මෙකල හාත්පස දිස් වන බියකරු යථාර්ථයකි. එදවස දකුණු ලක සිදු වූ ශාස්ත්‍ර පුනත්ථාන ව්‍යාපාරය දැයට දායාද කළ පඬි පරපුර අතර සිට සුවිශේෂ චරිතයකි, දොඩන්දූවේ ශ්‍රී ධර්මසේන විද්‍යාසාගර පඬිතුමා.

1861 වර්ෂයේ ජූනි මස 25 දින දොඩන්දූවේදී ධර්මසේන ළදරුවාගේ උපත සිදු විය. ප්‍රදේශයේ විසූ කාරියවසම් පටුවතවිතාන දොන් තියදෝරිස් ප්‍රභූවරයා ඔහුගේ පියාය. කුඩා ධර්මසේන මූලික අධ්‍යාපනය ලැබුවේ දොඩන්දූවේ සිරි පියරතන තිස්ස මහ නා හිමියන් විසින් අරඹන ලද බෞද්ධ පාඨශාලාවෙනි. දොළොස් හැවිරිදි වියේදී ධර්මසේන දරුවා දොඩන්දූවේ ශෛලබිම්බාරාමාධිපති සිරි පියරතන තිස්ස නා හිමියන් යටතේ දොඩන්දූවේ සුමනසාර නමින් පැවිදි බිමට පිවිසිණ. සුමනසාර සාමණේරනම සිය උපාධ්‍යායන් වහන්සේ වෙතින් සහ උන් වහන්සේගේ ශිෂ්‍ය, එවක මෙරට සිටි ඉහළම ගණයේ සංස්කෘත පඬිරුවනක් වූ ශ්‍රී සීලක්ඛන්ධ නම් නා හිමියන් වෙතින් සිංහල, පාලි, සංස්කෘත භාෂා සහ ත්‍රිපිටකය හදාරා තත් විෂය ක්ෂේත්‍රයන්හි පාරගත වූයේය. උපසම්පදාවද ලැබ වසර නවයක් ගත වූ පසු කිසියම් හේතුවක් නිසා සුමනසාර හිමියන් උපැවිදිව දෙඩන්දූවේ ශ්‍රී ධර්මසේන පඬිතුමා ලෙසින් ප්‍රසිද්ධව සිටින කල කලින් ගිංතොට ධම්මක්ඛන්ධ නමින් තමන් සමඟ පැවිදි බිමෙහි සිට පසුව උපැවිදිව ශ්‍රී ධර්මදාස ජයවර්ධන පඬිතුමා යනුවෙන් ප්‍රසිද්ධව සිටි ස්වකීය මිත්‍රයා සමග ධර්මශාස්ත්‍රාභිලාෂයෙන් සියම් දේශය බලා පිටත්ව ගොස් තිබේ.

සියම් දේශයෙහිදී මේ පඬිවරුන් දෙපොළගේ පාණ්ඩිත්‍යය ප්‍රසිද්ධියට පත් වීම හේතු කොට ගෙන රජතුමාගේ ධන පරිත්‍යාගයෙන් ‘සකේසාවුඩ්ඩියාගම’ නමින් ශාස්ත්‍රායතනයක් අරඹා ධර්මසේන පඬිතුමා එහි අධිපති තනතුරටත් ජයවර්ධන පඬිතුමා එහි උපප්‍රධාන තනතුරටත් පත් කෙරුණු බව පැවසේ. පඬිවරුන් දෙපොළ මැනවින් පාළි, සංස්කෘත සහ සිංහල භාෂා ඉගැන්වීමේ කටයුතුවල නිරත වී සිටින අතරේ හදිසි හෘදයාබාධයකින් ජයවර්ධන පඬිතුමා පරලෝ සැපත් වීම නිසා ජනිත වූ සංවේගය හේතු කොට ගෙන ධර්මසේන පඬිතුමා ‘සකේසාවුඞ්ඩියාගම’ ශාස්ත්‍රායතනයෙන් සමු ගෙන දේශාටනය අරඹා තිබේ. සියම් රටෙන් බුරුමයට පැමිණි ධර්මසේන පඬිතුමා එහිදී එවක එරට විසූ ප්‍රසිද්ධ පඬිරුවනක් වූ වජිරාරාම මහ තෙරුන් වෙතින් අභිධර්මය පිළිබඳ හැදෑරීය. ඉන් පසු කාම්බෝජයට පැමිණ ස්වකීය ධර්ම ශාස්ත්‍ර ඥානය තව දුරටත් වර්ධනය කොට ගෙන අවසානයේ ඉන්දියාවට පැමිණියේය. එහිදී කල්කටාවේ විසූ තාරානාථ ප්‍රමුඛ බ්‍රාහ්මණ පඬිවරුන් ඇසුරෙන් සංස්කෘත සහ වෛදික භාෂා පිළිබඳ ඥානය වර්ධනය කර ගැනීමේ දුලබ වරම එතුමන්ට හිමි විය.

දේශාටනය හමාර කොට ලංකාවට පැමිණි ධර්මසේන පඬිතුමා 1892 වර්ෂයේ ගිරෙස්හාමි ද සිල්වා මෙණෙවිය සමග යුග දිවියට පිවිසිණ. ඉන් පසු තම ජාත ග්‍රාමය වූ දොඩන්දූවෙහි පිහිටි ශෛලබිම්බාරාම සරස්වතී මණ්ඩප පිරිවෙනෙහි ආචාර්යවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කෙළේය. දීර්ඝ කාලයක් එකම විද්‍යාස්ථානයක නොරැඳුණු ධර්මසේන පඬිතුමා ලංකාවේ නොයෙක් ප්‍රදේශවල විද්‍යාස්ථානවල සේවය කරමින් ශාස්ත්‍ර දානය කළ බව පැවසේ. ගම්පොළ වනවාස විහාර පිරිවෙන, වේයන්ගොඩ නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙන වැනි දුර බැහැර ප්‍රදේශවල පිරිවෙන්වල මෙන්ම ඉංග්‍රීසි පාඨශාලාවලද එතුමා සේවය කොට තිබේ. ප්‍රථම වතාවට ඉංග්‍රීසි - ක්‍රිස්තියානි පාඨශාලාවක පාලි, සංස්කෘත සහ සිංහල යන භාෂා ඉගැන්වීම ආරම්භ කරන ලද්දේ ධර්මසේන පඬිතුමා විසිනි. ඒ එතුමා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ සේවය කළ කාලයේය.

ස්වකීය ඥානය පුවත්පත්, සඟරා සහ ග්‍රන්ථ මගින් ව්‍යාප්ත කිරීමෙහිද ධර්මසේන පඬිතුමා නිරත විය. එතුමා පැවිදිව සිටි කාලයේ පාලි, සංස්කෘත සහ සිංහල භාෂාත්‍රයෙන් රචනා කළ ප්‍රබන්ධයක් පිළිබඳ සරසවි සඳරැස පුවත්පතේ පළ වූ ලිපි පෙළකට එතුමන් විසින් ලියන ලද පිළිතුරු ලිපි සම්බන්ධයෙන් පැහැදුණු සරසවි සඳරැස කර්තෘ වේරගම පුංචි බණ්ඩාර පඬිතුමා දොඩන්දූවේ ශෛලබිම්බාරාමයෙන් සිදු වන මෙහෙය තම පුවත්පතෙන් විශේෂ ඇයුමට ලක් කෙළේය. ධර්මසේන පඬිතුමා සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ව්‍යාඛ්‍යාන සහිතව සංස්කරණය කිරීමෙන් සිංහල සාහිත්‍යයට විශේෂ මෙහෙයක් ඉටු කිරීමටද පුරෝගාමී විය. කාව්‍යශේඛරය, මයූර සන්දේශය, ගුත්තිල කාව්‍යය යන සම්භාව්‍ය කාව්‍ය ග්‍රන්ථ එතුමන් අතින් එසේ සංස්කරණයට ලක් වූ ග්‍රන්ථයෝ වෙති. ස්වකීය පාලි, සංස්කෘත ඥානය විෂද කරමින් සංස්කෘත භාෂාවෙන් රචිත කාව්‍යාදර්ශය නමැති කාව්‍යානුශාසන ග්‍රන්ථයට සැපයූ ව්‍යාඛ්‍යානය සමකාලීන පඬිවරුන්ගේ සම්භානාවට පාත්‍ර විය. ඒ හැරුණු කොට ශතශ්ලෝක, සුශ්‍රැත සංහිතා, ශරීරස්ථාන යන සංස්කෘත ග්‍රන්ථද පදසාධන ව්‍යාඛ්‍යාව සහ සුබෝධාලංකාර ව්‍යාඛ්‍යාව යන පාලි ග්‍රන්ථද සංස්කරණය කොට පළ කිරීමෙන් ධර්මසේන පඬිතුමන් විසින් මෙරට ප්‍රාචීන අධ්‍යයන විෂයයෙහි ලා කරන ලද සම්ප්‍රදානය සුවිශේෂ වැදගත්කමක් උසුලයි. එමතු නොව බටුවන්තුඩාවේ පඬිතුමාගේ ග්‍රන්ථ සංස්කරණ කටයුතුවලටද ධර්මසේන පඬිතුමාගේ සහාය ලද බව ඒ ග්‍රන්ථ සංඥාපනවල සඳහන් වී තිබේ.

ධර්මසේන පඬිතුමාගේ භාෂා ශාස්ත්‍ර ඥනයේ පටුත්වය ශාස්ත්‍ර පරිමණ්ඩල වෙත ප්‍රකාශ වුණු තවත් වැදගත් අවස්ථාවක් ලෙස ණ-න, ළ-ල වාදය පිළිගැනේ. මේ වාදය ඇරඹුණේ රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමියන් විසින් 1892 වර්ෂයේ දී සත්‍ය සමුච්චය සඟරාවෙහි ණ-න, ළ-ල අක්ෂර යෝජනය පිළිබඳ පළ කරන ලද අදහස් පාදක කොට ගෙනය. 1902 වර්ෂයේ අප්‍රේල් 8 වෙනි දින සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය අරභයා ධර්මසේන පඬිතුමන් විසින් ලියන ලද ලිපි පෙළක් සරසවි සඳරැස පුවත්පතෙහි පළ වීමත් සමග ණ කාර න කාර වාදය ඇරඹිණ. 1902 සැප්තැම්බර් මාසයේදී මේ වාදය අවසන් වූ අතර පුවත්පතෙහි පළවූ වාද ලිපි ඇතුළත් ග්‍රන්ථයක් ධර්මසේන පඬිතුමන් විසින් ලංකාභිනව විශ්‍රැත මුද්‍රණාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලදී. මේ වාදය මෙරට ප්‍රසිද්ධ විද්‍යස්ථාන දෙකක ගුරුකුල මත නියෝජනය කෙරුණු ශාස්ත්‍රීය වාදයක් ලෙස ඉතිහාසගත වී තිබේ.

ධර්මසේන පඬිතුමාගෙන් සිදු වූ ශාස්ත්‍රීය සේවය අර්ඝනය කරනු වස් කල්‍යාණිවංශික මහා සංඝසභාව විසින් එතුමන්ට විද්‍යාසාගර තර්ක පඤ්චානන නම් ගරු සම්මානය පුද කරන ලදී. තෙසැට වසරක ආයු කාලයක් ගෙවා මේ කීර්තිමත් පඬි රුවන 1924 වර්ෂයේ සැප්තැම්බර මස 17 වෙනි දින මෙලොවෙන් සමුගත්තේ දීප්තිමත් ප්‍රඥා ප්‍රදීපයක ආලෝකය මෙරටට අහිමි කරමිනි.

Comments