අප්‍රකාශිත ප්‍රේමයෙන් නිවීමක් සෙවූ සමන් නන්දලාල් | සිළුමිණ

අප්‍රකාශිත ප්‍රේමයෙන් නිවීමක් සෙවූ සමන් නන්දලාල්

 

අදින් ඇරඹෙන මේ විශේෂාංගය නිර්මාණකරණයේදී නිර්මාණකරුවන්ට අනුභූති වන අත්දැකීම් ගැන ලියැවෙන්නකි. නවකතා, කෙටිකතා, කවි, ගී ඈ මේ සෑම නිර්මාණයකටම පාදක වූ සුන්දර පෙරනිමිත්තක් ඇත. එය ජීවිතය සසල කරන අත්දැකීමක් විය හැකිය; නැත්නම් නෙතඟ බැල්මක් විය හැකිය. මේවා පරිකල්පනයේ එතී නව නිමැවුම් ව පාඨක සහෘදයනට තිළිණ වන්නේය. ඒ අත්දැකීම් පසුපස කතන්දරයයි.

බොහෝ දෙනෙක් සිතන්නේ මල් පිපෙන්නේ අකාස්මිකව බවය. ඒ මල් පිපෙන්නට මහපොළොව දැරූ වෙහෙස ගැන බොහෝ අය දන්නේ නැත; සිතන්නේ ද නැත. මහපොළොව ඒ සියල්ල පැනයකුදු බැල්මකුදු නොඅසා නොහෙළා දරා ගන්නීය. සමහර නිර්මාණකරුවන්ද එසේමය. නිර්මාණ බිහිකරති; ඒ නිර්මාණය බිහි වීමට හේතු පාදක වූ කරුණු ගැන නොකියාම, නොලියාම සමුගෙන යති. ඒ නිර්මාණය විඳින්නට, නිමකරන්නට පාදක වූ කරුණු ගැන සොයන්නේ අප අතරින් කීයෙන් කී දෙනාද...

 

අල්තීනායි හා දුයිෂෙන් ඇවිද ගිය අයිලයේ මංමාවත් දැන් බොහෝ වෙනස් වී ඇතිවාට සැක නැත. එහෙත් නිර්මාණකරුවාගේ ඇසෙන් හිතෙන් ඒ එදා මැවුණු අයිලයේ රුව වෙනස් කරන්නට සමත් කිසිවක් අලුතෙන් බිහි වෙන්නේ නැත. එනිසාම අදටත් අල්තිනායි හා දුයිෂෙන් දියුණු කිර්ගීසි මාවත්වලට උඩින් අපට පෙනෙන්නේය. සමන් නන්දලාල් ලියූ නව කෙටිකතා සංග්‍රහයේද ඔහුට අල්තිනායි හා දුයිෂෙන් සිහිපත් වෙන්නේ මෙකී ස්මරණයන්ගෙන් ගැලවී ගත නොහැකිවය.

පරිවර්තකයෙක් ලෙසත්, පුවත්පත් කලාවේදියෙක් ලෙසත් සිය නම සටහන් කරගත් සමන් නන්දලාල් ‘අල්තිනායි, රුවන්මලී සහ රුත්‘ ලියන්නේ කෙටිකතා අටක සංග්‍රහයක් ලෙසය. ඒ කෙටිකතා අටම ලියැවෙන්නේ කාන්තා චරිත අටක් පදනම් කරගනිමිනි. එහි එන ප්‍රතිනිර්මාණිත එළැඹුම වන්නේ ‘අල්තිනායි‘ නම් කෙටිකතාවයි. බොහෝ දෙනෙක් සිය වස්තු විෂයය බවට පත් කරගත් චිංගීස් අයිත්මාතව්ගේ පළමු ගුරුවරයා කියන මේ ලෝ පරසිඳු කෙටිනවකතාව නිසා බිහිවූ නව නිර්මාණ බොහොමයක් වෙයි. කවි, ගීත, කෙටිකතා ඒ අතරින් ප්‍රධානය. එහෙත් සමන් නම් මේ ලේඛකයා එකී අනුභූතිය සිය නිර්මාණයට යොදා ගන්නේ වෙනස්ම අරුතකිනි. දුයිෂෙන් හා අල්තිනායි අතර වූ ඒ අප්‍රකාශිත ප්‍රේමය කෙතරම් ප්‍රකාශිත ප්‍රේමවලට තෝතැන්නක් වූයේද යන්න පුදුම සහගතය.

සමන් නන්දලාල් සිය කෙටිකතාව නිමවන්නට හේතුපාදක වූ කරුණු ගැන මෙසේ සිය සිත අවදි කළේය.

“මේ කෘතිය කියැවූ සියලු දෙනාම පාහේ එහි එන අල්තිනායි නමැති කතාවට කැමැති බව පවසා තිබෙනවා. ඊට හේතුව මා දන්නේ නෑ. සමහරවිට ඊට හේතුව අල්තිනායි යනු අප අතර ඇටවුම් බැසගත් චරිතයක් වීම විය හැකියි.

අල්තිනායි සුලෙයිමානවා යනු ‘ගුරු ගීතය’ නමින් දැදිගම වී රුද්රිගු විසින් සහ ‘දුයිෂෙන්’ නමින් සිරිපාල තිලකසේන යන මහත්වරුන් විසින් සිංහලට පර්වර්තනය කැරුණු සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතොව්ගේ කෙටි නවකතාවේ එන ස්ත්‍රී චරිතය. පසුගිය වසර කිහිපයක් ඇතුළත මේ චරිතය අපේ පාඨකයන් අතර විශේෂයෙන් ම තරුණ පාඨකයන් අතර කතාබහට ලක් වුණා. චිත්‍රපටයක් පවා නිෂ්පාදනය වුණා; තවත් නොයෙක් කෘති පළ වුණා. ෆේස්බුක් හි නිබඳ සාකච්ඡාවට ගැනුණා. අල්තිනායි සහ ඇගේ ගමේ ප්‍රථම ගුරුවරයා වූ දුයිෂෙන් අතර වූ සම්බන්ධය යොවුන් ආදරයේ සංකේතය ලෙස බොහෝ දෙනා විග්‍රහ කළා. ඒත් මම ඒ නවකතාවේ එවැන්නක් දුටුවේ නෑ. ඔවුන් දෙදෙනා අතර එබඳු සබඳතාවක් මා දුටුවේ නෑ.

අයිත්මාතොව් මේ නවකතාවට යොවුන් ප්‍රේමයක් ලෙස පෙනෙන සබඳතාවක් ඇතුළත් කළාට සෝවියට් ලේඛකයකු ලෙස ඔහුගේ අරමුණ වූයේ පෙම් කතාවක් ලිවීම නොවෙයි.

ඔහු මේ කරන්නේ විප්ලවයෙන් පසු බිහිවූ සෝවියට් දේශයේ අධ්‍යාපනය ඇරැඹුණු ආකාරය ගැන ළගන්නාසුලු නවකතාවක් මඟින් සමාජයට ඉදිරිපත් කිරීමයි. ඔහුගේ මුල් කෘතියේ නම ‘ප්‍රථම ගුරුවරයා’ නම් අරුත් ඇති රුසියානු වදනක්. එහි ඉංගිරිසි පරිවර්තනයේ නම ‘ද ෆස්ට් ටීචර්’.

පොත අනුව මෙය මීට සියක් වසරකට පමණ පෙර සිදු වූවක්. කතාවේ පසුබිම කිර්ගිස්ථානයේ ඈත ගම්මානයක් වන කුර්කුරෙඋ.

ඒ දවස්වල පාසැල් තිබුණේ නෑ. ගුරුවරුන් වූයේ මුල්ලාවරුන්. පිරිමින්ට පමණයි ඔවුන්ගෙන් ඉගෙන ගන්නට අවසර තිබුණේ. ලබා දුන්නේ ඉස්ලාම් ආගමික අධ්‍යාපනය පමණයි. ළදරු සෝවියට් පරිපාලනය ඒ ගමේ අධ්‍යාපනය බාර දෙන්නේ දුයිශෙන් නමැති තරුණයකුට. ඔහු එතරම් උගත් අයකු නොවෙයි.

ඔහු මුල්ලාවරයෙක් නොවේ යැයි කියමින් ගම්මුන් ඔහුට බාධා කරනවා. දුයිෂෙන් තමාට රජයෙන් දුන් බලපත්‍රය පෙන්වා ඔවුන් නිහඬ කරනවා“

සමන් නම් අප ලේඛකයාගේ සිතට කතා කරන මේ අපූර්ව නිමිත්ත ආකස්මික ආදරයක් සේ ඔහු නොගන්නා බවට ඒ පැහැදිලි කිරීම දෙස් දෙයි. ඔහු එහි යටින් දිවෙන දේශපාලන අර්ථය හා ලේඛක පරමාර්ථය මැනවින් ග්‍රහණය කර ගනියි. ජීවිතය යනු සබඳතා රැසක එකතුවක් බවත්, ඒවා යාම්- ඊම් පමණක් බවත් ලේඛකයාගේ වන පූර්ව නිගමනය නිසා ඔහු මේවා දෙස බලන්නේ උපේක්ෂා සහගතවය.

“නව යොවුන් අල්තිනායි වයසින් තමාට වඩා බොහෝ වැඩිමල් මේ තරුණයාට පෙම් කරන නමුත් ඔහු එය නොසලකා හරිනවා. ඔහුට අවශ්‍ය වී නම් ඇය සහේට ගන්නට තිබුණා. ඒත් සෝවියට් ශික්‍ෂණය සහ තමාට පැවරී ඇති වගකීම නිසා දුයිෂෙන් ඇය ලොවට මුදා හරිනවා. පසු කලෙක ඇය ඉහළට ඉගෙනගෙන මහාචාර්යවරියක් බවට පත් වනවා.

දුයිශෙන්ගේ ක්‍රියාව මා දකින්නේ බෝධිසත්ත්ව ගුණයක් ලෙස. මේ කෙටිකතාවේ මා කියන්නේ එයයි. පෙම්වතිය ඉහළ අධ්‍යාපනය සඳහා යොමු කොට ඇය අහිමි කරගත් පෙම්වතුන් අපේ සමාජයේත් ඉන්නවා. දහය වසරේ ශිෂ්‍යාවකට පෙම් කරමින් ඇගේ අධ්‍යාපනය සඳහා සියලු වියදම් දැරූ ගුරුවරයකුගේ කතාවක් මා දන්නවා. සිසුවිය වෛද්‍ය පීඨයට සමත් වනවා.

අවසන් වසරේ දී ඇය සුළු සිද්ධියක් මුල් කර ගනිමින් ඔහු අමතක කර දමනවා. අර ගුරුවරයා හිත හදාගත්තේ ඉතාම අමාරුවෙන්.

මෙවැනි සිදුවීම් දෙකතුනක් මා දන්නවා. මේ කෙටිකතාව ලියද්දී මගේ මනසේ ඒවාත් සැරි සරමින් - රස්තියාදු වෙමින් - සිටියා “සමන් නන්දලාල් විකල්ප මතධාරී ලේඛකයෙක් ලෙස බොහෝ තැන්වලදී ඉස්මතු වූවෙකි. සම්මතයෙන් ඔබ්බට වන කියැවීම කෙරෙහි ඔහුගේ වන ලොල් බව නිසාම අල්තිනායි දෙස අප බැලූ දෟෂ්ටිකෝණයට එහා ගිය වෙනත් මානවවාදී කෝණයකින් ඔහු මේ කෙටිකතාව රචනා කරයි.

“ ඔහු මගේ ගුරුවරයා. මුල්ම ගුරුවරයා. දන්නා දේවල් මට කියා දුන්නා. ඒත් තමන් දන්නා අල්ප දෙයට මා සීමා නොකළ යුතු යැයි ඔහු තීරණය කරන්නට ඇති. ඔහු මා ලෝකයට මුදා හැරියා“

සමන්ගේ පරම්පරාවේ එන ආදරයේ පරිත්‍යාගයත්, ඔහු අනුගමනය කරන ගුරුවර පරම්පරාවේ සෙවණැල්ලත් විසින් මෙකී අදහස ඔහුගේ කෙටිකතාවට ඔබ්බවන ලද බවක් සිතේ. ඔහුම ඒ ගැන අප හා පවසා තිබේ. ආදරය යැයි කියමින් බොහෝ ආදරවන්තයන් සිය ආදරියට බොහෝ දේ අහිමි කරන 21 වැනි සියවසේ දී පවා; ඊට වසර සිය ගණනකට එපිට ලියැවුණු කෙටිකතාවකින් පාඩම් උගන්වන බැව් සමන් සිය කෙටිකතාව ඔස්සේ විදාරණය කරයි. කෙටිකතාවේ කොටසක් ඔබ වෙනුවෙන් අප උපුටා දැක්වීමට සිතුවේ ඒ නිසාය.

‘සැබැවින් ම එදා ඔහු මගෙන් සමු ගත්තා. එහෙත් මා සිතා ගෙන සිටියේ ඔහු දුම්රියේ නංවා මා නගරයට පිටත් කොට යැව් දිනය ඔහු මගෙන් සමුගත් දිනය ලෙසයි. මන්ද ඔහු යුද්ධයේ දී මිය ගිය බව ඉන්පසු මට ආරංචි වූ නිසයි.

ආන්ද්‍රෙයි ඉදිරිපත් කළ විවාහ යෝජනාවට එකඟවන්නට මට හැකි වූයේ මා එලෙස සිතා සිටි නිසයි. ඔහු ජීවතුන් අතර සිටි බව මා දැන ගත්තේ මා ගමට පැමිණි ඒ උත්සව දිනයේයි. මෙලොව ඇත්තේ යාම් සහ ඊම් පමණකි’යි පෙරදිග කියමනක් තිබෙනවා. හමුවීම් සහ වෙන්වීම්. ළංවීම් සහ දුරස්වීම්.

පිළිගැනීම් සහ සමුගැනීම්. හමුවීම් නැත්නම් වෙන්වීම් නෑ. ළංවීම් නැත්නම් දුරස්වීම් නෑ. පිළිගැනීම් නැත්නම් සමුගැනීම් නෑ. එය හරියටම මට වැටහුණේ එදා‘

ප්‍රේමය, පරිත්‍යාගය හා ඉවසීම ආදරය බව කියන්නට සමන් නන්දලාල්ට වුවමනා වී තිබූ බව කෙටිකතාව පුරා නැ‌ෙඟන අව්‍යාජ කතන්දරයයි.

මලක සුන්දර බවත්, එයින් නැගෙන සුගන්ධයත් විස්තර කිරීමට අසීරු බව ඕනෑම ලේඛකයකුට දැනෙන්නේ ඒ ගැන ලියන මොහොතේයි. එහෙත් මල තැළී පොඩිවී යෑමට මත්තෙන් කතාව ලිවිය යුතු ම ය. සමන් නන්දලාල් ගේ සිත පිරිමැදි ඒ ප්‍රේමයත් එසේ අපමණ මානව දායාර්ද්‍රබවෙන් යුතුව ලියැවෙන්නේ අපේ සිතේ දුයිෂෙන් පිළිබඳ අපමණ ආදරයක් එකතු කරමිනි.

ඔහුත් ඔහුගේ අදහස තැළී පොඩිවී යෑමට මත්තෙන් ලියා තැබීම වටනේය.

හදවතේ විදවීමේ බර වින්දනයේ ආස්වාදය කරා ඔහු ගෙන යන්නේය. නිර්මාණයක පෙරනිමිතිත් නිර්මාණයක් තරමටම සුන්දර නොවන්නේදැයි සිතෙන්නේ මෙකී අනුභූතීන් ඇසුරු කරද්දීය.

 

Comments