ශ්‍රී ලංකා ක්‍රිකට් කැමරා කෝණ අකිලගේ විලංගු බිඳී | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් කැමරා කෝණ අකිලගේ විලංගු බිඳී

 

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව තහවුරුවී ඇති හෙයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) ඔහුට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ආරම්භ කළ හැකි බව පැවසීය.

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් අයි.සී.සී.ය පිළිගත් මධ්‍යස්ථානයක අදාළ පරීක්ෂණ සිදු කළ නොහැකි වූ බැවින්,අකීලගේ පන්දු යැවිමේ විවිධ කැමරා කෝණ මගින් ලබාගත් වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අයි.සී,සී.යට ඉදිරිපත් කර තිබුණේය.

කොවිඩ් -19 නිසා ඇති වූ විවිධ සීමා කිරීම් හේතුවෙන් අයි.සී.සී.ය පිළිගත් මධ්‍යස්ථානයකට ඔහුට පැමිණීමට නොහැකිවූ නමුත් ඒ වෙනුවට විඩියෝ දර්ශන යොදාගැනීමට අයි.සී,සී. ය තීරණය කර තිබුණේය.

“ඔහුගේ පන්දු යැවීමේ දී වැලමිට දිගු කිරීමේ ප්‍රමාණය අයි.සී.සී. නීති විරෝධී පන්දු යැවීමේ රෙගුලාසි යටතේ අවසර දී ඇති අංශක 15 ක සීමාව තුළ රැඳී පවතින බව විශේෂඥ මණ්ඩලය නිගමනය කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නෙක් ලෙස කටයුතු කළ අකිල ධනංජය පසුගිය වසරේදී ජාත්‍යන්තර තරග බිමේ පන්දු යැවීමේ තහනමකට ලක් වූයේ පසුගිය වසරේදී ය. ඒ අනුව අයි.සී,සී, ක්‍රිකට් නීති රීති වලට අනුව වසර දෙකක් තුළ දෙවතාවක් නීති විරෝධී පන්දුයැවීමේ ඉරියව් සම්බන්ධයෙන් චෝදනා තහවුරු වූ හෙයින් අකිලට මාස 12ක පන්දු යැවීමේ තහනමකට යටත් වීමට සිදුවිණි.

ඔහු පළමුවරට පන්දු යැවීමේ තහනමකට ලක් වූයේ 2018 වසරේ දෙසැම්බර් මාසයේදී ය. ඉන් අනතුරුව සිය ඉරියව්ව නැවත නිවැරදි කරගනිමින් අකිල ජාත්‍යන්තර පන්දු යැවීමේ පරීක්ෂණයකට මුහුණ දුන්නේ ය.

එම පළමු පරීක්ෂණයෙන් ඔහු සමත් වුවද පසුගිය වසරේ දී නැවත වතාවක් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවට තහවුරු විණි. ඒ අනුව පසුගිය වසරේ සැප්තැම්බර් 19 වන දින සිට අකිලට මාස 12ක පන්දු යැවීමේ තහනමක් පැනවීමට අයි. සී, සී. ය කටයුතු කළේය.

මේ තත්ත්වය යටතේ නිමා වූ දේශීය ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ දී නව ඉරියව්වකින් සාර්ථකව පන්දු යැවීමේ නිරතවීමට අකිල ධනංජය සමත්වීම විශේෂත්වයකි.

ඉදිරියේ පැවැත්වෙන තරගවලදි,තරග නිලධාරින්ට සහාය විම සඳහා ධනංජයගේ පන්දු යැවිමේ ඉරියව් සහිත දර්ශන , ඡායාරූප සහ විඩියෝ පට ආදියද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබාදිමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයි.සී.සී.යට එකඟත්වය පළකර තිබේ.

 

බන්ධුල ජයමාන්න

Comments