රන් දෙවොලේ ටෙස්ට් මහා සටන ජුනි මාසයේ | සිළුමිණ

රන් දෙවොලේ ටෙස්ට් මහා සටන ජුනි මාසයේ

 

පසුගිය ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ඇරඹි ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතා තරගාවලිය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගනිමින් තිබේ,

එම තරගාවලිය වෙනුවෙන් වර්තමානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් සිම්බාබ්වේ,අයර්ලන්තය හා ඇෆ්ගනිස්තානය හැර සෙසු රටවල් නවයම එකිනෙකා හා තරග වැද සිටී. ඒ අනුව එක රටක් රටවල් හයක් සමග තරග වැදිය යුතුය. ඉන් තරගමාලා තුනක් තම මව්‍බිම තුළ මෙන්ම තවත් තරගමාලා තුනක් විදේශයන්හි පැවැත්වෙන ලෙස මෙහි ව්‍යූහය සකස් වී ඇත.

එමෙන්ම තරගමාලාවකට ටෙස්ට් තරග දෙකේ සිට පහ දක්වා සංඛ්‍යාවක් ඇතුළත් විය හැකි ය. එවැනි ටෙස්ට් තරග මාලාවක සම්පුර්ණ තරග සංඛ්‍යාවම ජයගතහොත් හිමිවන උපරිම ලකුණු ගණන 120 කි.

2019 අගෝස්තු 01 දින එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් ඇරඹි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ලිග් ක්‍රමයට ය. තරග ජයග්‍රහණයේදී ලබා ගත් ප්‍රසාද ලකුණු ප්‍රතිශතයට අනුව ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක මෙම වසරේ ජුනි මස එංගලන්තයේ ලොර්ඩ්ස්හිදී අවසන් මහා තරගයට තරග වදිනු ඇත.

වත්මන්හි පවතින තත්ත්වය අනුව ඔස්ට්‍රේලියාව මෙහි ඉදිරියෙන් පසුවන අතර පිලිවෙලින් දෙවැනි ස්ථානයේ සිට නවවැනි ස්ථානය දක්වා ශ්‍රේණිගතව ඇත්තේ ඉන්දියාව, නවසීලන්තය, එංගලන්තය,.දකුණු අප්‍රිකාව, පාකිස්තානය ,ශ්‍රී ලංකාව,බටහිර ඉන්දීය කොදෙව් ,බංග්ලාදේශය යන කණ්ඩායම් ය.

ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකා සංචාරයට පෙර ශ්‍රී ලංකාව මෙහි හයවන ස්ථානයේද දකුණු අප්‍රිකාව අටවන ස්ථානයේද පාකිස්තානය පස්වන ස්ථානයේද පසුවූ නමුත් පසුගියදා ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ පරාජය ලැබූ අතර පාකිස්තානය නවසිලන්තය වෙතින්ද පරාජය වීමත් සමගම පස් වන ස්ථානය දක්වා ඉදිරියට ඒමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට හිමි විණි.

ලෝක ටෙස්ට් ශූරතාවයේ දෙවැනි ස්ථානය සඳහා පවතිනුයේ තියුණු සටනකි. ඒ ඉන්දියාව හා නවසීලන්තය අතරය. මෙම රටවල් අතරින් මේ දිනවල ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ඉතාමත් තියුණු තරග මාලාවක් පැවැත්වේ, මේ වන විට කණ්ඩායම් දෙකම 1-1ලෙස සම තත්ත්වයක පසුවන අතර සිව්වන හා අවසන් තරගය මෙම මස 15 දින ආරම්භවීමට නියමිතව තිබිණි.මෙම තරගය දෙපිලටම තීරණාත්මක තරගයකි,

මෙම ජගත් ශුරතා තරගමාලාව තුළ ඔස්ට්‍රේලියාව එංගලන්තය සමග 2-2 ලෙස ජය පරාජයෙන් තොරවද පාකිස්තානයට එරෙහිව 2-0 ලෙසද ,නවසීලන්තයට එරෙහිව 3-0 ලෙසද ජයගෙන තිබීම ඔවුන්ගේ ස්ථානය ස්ථාවර වීමට හේතුවකි, එමෙන්ම ඔවුන් තවමත් මෙම ශුරතා තරගමාලාව තුළ එකදු තරගාවලි පරාජයක් ලබානැත.

මෙම ටෙස්ට් ශූරතාවයේ ඔවුන්ගේ අවසන් තරගමාලා දෙක වන්නේ දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන හා බංග්ලා දේශය සමග වන තරගමාලාවත්ය. ඔවුන් වර්තමානයේ පසුවන ස්ථාවර තත්ත්වයට අනුව යම් තර්ජනයක් එල්ලවන්නේ නම් ඒ දකුණු අප්‍රිකාවෙනි, එයද තරගමාලාව දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බැවිනි,

මේ වනවිට දෙවන ස්ථානයෙහි පසුවන ඉන්දියාව බංග්ලාදේශය,දකුණු අප්‍රිකාව ,කොදෙව් දුපත් කණ්ඩායම් පරදවා නවසීලන්තයට පමණක් පරාජයවී ඇත, ඔස්ට්‍රේලියාව සමග තරගාවලියෙන් පසු ඉන්දියාවට ඇත්තේ එළඹෙන එංගලන්තය සමග වන තරග මාලාව පමණකි.මෙය ඉන්දියාවේ පැවැත්වීම ඉන්දියාවට විශාල වාසියක් වේ.

මෙම ජගත් ටෙස්ට් ශුරතා තරග මාලාවේ මේ වනවිට ලකුණු දහස ඉක්මවා ඇති පිතිකරුවෝ තිදෙනෙකි. ඒ ශතක 04 ක් සමග ලකුණු 1542 ක් රැස් කරගෙන ඇති ඕස්ට්‍රේලියාවේ මානස් ලැබුස්චාන් සහ ශතක 04 ක් සමඟ ලකුණු 1250 ක් ලබා ඇති ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් මෙන්ම ශතක 04 ක් සමගින් ලකුණු 1131ක් ලබා ඇති එංගලන්තයේ බෙන් ස්ටොක් යන ක්‍රීඩකයින්ය.

කඩුලු 50 ඉක්මවා මේ වනවිට දවාගෙන ඇති ක්‍රීඩකයින්ගෙන් එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් 66,ඕස්ට්‍රේලියාවේ පැට් කමින්ස් 64,ඕස්ට්‍රේලියාවේ නේතන් ලියොන් 53 හා නවසීලන්තයේ ටීම් සව්ති 51 එම ක්‍රීඩකයින්ය.එක් ඉනිමක වැඩිම ලකුණු ලබා ඇති පිතිකරු ලෙස පාකිස්ථානයට එරෙහිව 2019-20 ඇඩිලේඩ් හිදී නොදැවී ලකුණු 335 ක් ලැබූ,ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් මෙන්ම එක් ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස 2019-20 දකුණු අප්‍රිකාවට එරෙහිව 145/07 ලෙස කඩුලු දවාලු ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින්ද මෙවර ලෝක ශූරතාවයේ ඉදිරියෙන් සිටිති.

අනිල් වීරසිංහ 

Comments