මේසපන්දු සම්පූර්ණයෙන්ම විනාශයි | Page 2 | සිළුමිණ

මේසපන්දු සම්පූර්ණයෙන්ම විනාශයි

 

හිටපු සභාපති හා ජාතික ශූර LALITH priyantha

තේරීම්වලට ඇඟිලි ගහන්න සංගමයේ නිලධාරීන්ට බෑ. ඒක සම්පූර්ණයෙන්ම තේරීම් කමිටුවේ වැඩක්.

මම වසර 15ක් මේස පන්දු ගැහුවා. ඒත් ජාත්‍යන්තරයට ගියේ පෞද්ගලික වියදමින්.

අද මම ජීවත්වන්නේ පුහුණුකරුවකු ලෙස උපයාගන්න මුදලින්. ඉතිං අපි කොහොමද පුහුණු කටයුතු වලින් ඉවත්වන්නේ.

ලලිත් ප්‍රියන්ත හා පිං පොං බෝලය අතර ඇත්තේ යාව ජීව සම්බන්ධයකි. ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ හිටපු සභාපතිවරයකු හා ජාතික ශූරයකු වන ඔහු දැන් සිටින්නේ කනගාටුවෙනි. වත්මන් ක්‍රීඩකයන්ට හෝ හිටපු ක්‍රීඩකයන්ට යම් ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ‘ක්‍රීඩා’ සංවේදීය. එහෙයින් අපි ඔහු ගේ සන්තාපයට හේතු කාරණා මොනවාදැයි විමසා සිටියෙමු.

'ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම වගේ කඩා වැටිලා. මට ඒ ගැන තියෙන්නේ කලකිරීමක්, කනගාටුවක්, වේදනාවක්.' සල්ලාපය අරඹමින් හිස් මේස පන්දු මේසයක් දෙස බලා ලලිත් අපට කීවේය.

'ඇයි මේස පන්දු කඩා වැටිලා තියෙන්නේ? ' යැයි අපි ඇසීමු.

'ලංකාවේ ක්‍රීඩකයෝ තුන්දහසක් විතර ඉන්නවා. ඒ වුණත් පසුගිය මාස හතේදීම ඔවුන් මේස පන්දු පිත්තක් (රැකට් එකක්) අතකින් අල්ලලාවත් නෑ. ක්‍රීඩාව තියෙන්න ක්‍රීඩකයෝ ඉන්න ඕනෑ. ක්‍රීඩකයෝ රඳවා ගන්න තරගමාලා පැවැත්විය යුතුයි. ඒත් කොරෝනා එක්ක මේස පන්දුව සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. සෞඛ්‍යය අංශ දීපු උපදෙස් අනුගමනය කරලා ක්‍රිකට් නම් ජාත්‍යන්තර ලීග් තරගාවලියක් පැවැත්වූවා. මලල ක්‍රීඩා තරගත් තිබ්බා. ඒත් මේස පන්දුවලට කොරෝනාව එතරම් ගැටලුවක් නොවෙයි.' ඔහු කියන්නේ කනගාටුවෙනි.

'දුරස්ථ භාවය එක්ක තියෙන ගැටලු හින්දා වෙන්න ඇති?' යැයි අප කියූ විට ලලිත් ප්‍රියන්ත මන්දස්මිතියක් නගමින් අප දෙස බැලීය.

' මේස පන්දු මේසයක් අඩි නවයක් දිගයි. ක්‍රීඩකයෝ දෙන්නා මේසෙ දෙපැත්තෙ ඉන්නකොට ඒ ගොල්ලන් අතර පරතරය අඩි 12 කට වැඩියි. යුගල තරග නැතිව කේවල තරග හරි පවත්වන්න තිබුණා කියන එකයි මම කියන්නේ.' ඔහු නගන්නේ තර්කයකි. එය ශක්තිමත්ය.

එය පටන් ගත හැකි තරගාවලියක් සම්බන්ධයෙන් ද ඔහු තුළ අදහසක් ඇත. 'මම කියන්නේ අපේ ශ්‍රේණිගතවීම්වල මුලින් ඉන්න ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 16 දෙනා වෙනුවෙන් වත් තරග පවත්වන්න ඕනෑ. එහෙම නොකළොත් අපේ ජාතික පිලට තව අවුරුද්දකින්වත් විදෙස් තරගාවලියකට සහභාගි වෙන්න නොහැකි වෙයි.' ඔහු කියන්නේ අනතුරු ඇඟවීමක් වශයෙනි.

එය එක්තරා ආකාරයකට වත්මන් පරිපාලනයට එරෙහි චෝදනාවක් වැනිය.

'නෑ. මම කාටවත් චෝදනා කරන්නේ නෑ. ඒ වගේම පාලකයින්ට උපදෙස් දෙන්න සදාචාරාත්මක අයිතියකුත් මට නෑ. ' ඔහු කියන්නේ ගැඹුරු බැල්මක් මුහුණේ ඇඳ ගනිමිනි.

ඉදිරියේදී පරිපාලනයට සම්බන්ධ වීමේ කැමැත්තක් නැත්දැයි ඇසූවිට ඔහු කීවේ එය නීතිමය අර්බූදයක් බවයි.

'මම පුහුණුකරුවෙක්. ක්‍රීඩා පනතට අනුව පුහුණුකරුවකුට තනතුරු දරන්න බෑ. අනෙක මම ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරනවා. ඒ අයටත් පරිපාලනය තහනම්. අනික මම කවදාවත් මේස පන්දු තනතුරුවලට ඉදිරිපත් වන්නේ නෑ.' ඔහු කියන්නේ තිර අදිටනිනි.

එහෙත් කලක් පුහුණුකරුවන්ට පරිපාලනයට සම්බන්ධවීමට අවසර ලැබිය යුතුයැයි ඔහු ඉදිරිපෙළ සටන් සගයකු බව අපි සිහිපත් කළෙමු.

'මම වසර 15ක් මේස පන්දු ගැහුවා. ඒත් ජාත්‍යන්තරයට ගියේ පෞද්ගලික වියදමින්. අද මම ජීවත්වන්නේ පුහුණුකරුවකු ලෙස උපයාගන්න මුදලින්. ඉතිං අපි කොහොමද පුහුණු කටයුතු වලින් ඉවත්වන්නේ.' හිටපු ජාතික ශූරයා අසන්නේය.

පුහුණුකරුවන් පරිපාලනයට එක්වීම වළකා ඇත්තේ ක්‍රීඩකයන්ට වැඩි වාසි සැලසිය හැකි හෙයින් නොවේදැයි අප විමසූ විට ඔහු කීවේ එය එසේ නොවන බවයි. 'තේරීම් වලට ඇඟිලි ගහන්න සංගමයේ නිලධාරීන්ට බෑ. ඒක සම්පූර්ණයෙන්ම තේරීම් කමිටුවේ වැඩක්. තේරීම් කමිටුව වගකියන්නේ ඇමැතිතුමාට.' ඔහු කියයි.

ක්‍රීඩා භාණ්ඩ අලෙවි කිරීම පරිපාලනයට ඇතුළුවීමට ගැටලුවක් නොවිය යුතුදැයි ඇසූවිට ඔහු පවසන්නේ එය අතිශයින් කාලෝචිත නීතියක් බවයි. 'මම කියන්නේ නෑ ඒක වෙනස් කරන්න කියලා. තමන් නොකළත් තමාගේ සමීපතම ඥාතියකුට මේ විදියේ ව්‍යාපාරයක් තිබෙනවා නම් ඔහුට හෝ ඇයට සංගමයේ පරිපාලනය තහනම් විය යුතුමයි. ඒත් අවාසනාව වන්නේ දැන් එහෙම භාණ්ඩ අලෙවිකරන අයම සංගමයේ තනතුරු දරනවා.' ඔහු කියන්නේ කනගාටුවෙනි.

ක්‍රීඩා අමාත්‍යවරයාට එවැනි චෝදනා ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි අප විමසූ විට ඔහු කියන්නේ එය සාමූහිකව සිදුවිය යුත්තක් බවයි. ‘සියලු දෙනා හරි විදියට දැනුවත් කළොත් මේ ගැටලු නිරාකරණය කරන්න එතුමා ඉදිරිපත් වෙන බව මට නිසැකයි. සමුගනිද්දී පවසන්නට ඔහු අමතක නොකළේය.

 

ඡායාරූප - සුදම් ගුණසිංහ

 

Comments