පළමු ජාත්‍යන්තර පදක්කම රටට ගෙනාවේ කොනප්පු බණ්ඩාර | සිළුමිණ

පළමු ජාත්‍යන්තර පදක්කම රටට ගෙනාවේ කොනප්පු බණ්ඩාර

මෙරට පළමු දිසාවේවරියත් අංගම් ශූරියක්

දෙවන රාජසිංහ රජ්ජුරුවෝ කියන්නේ පෘතුගීසී ආක්‍රමණිකයන්ට දැඩිව හානි සිදුකළ දේශීය රජකෙනෙකුට. ඔහු පීතෘ ඝාතකයෙක් විධිහට හංවඩු ගැහුවත් ඔහුගේ සටන් හැකියාවේ ඇති විශිෂ්ටත්වය කිසිකෙනෙකුට ඉතිහාසය තුළින් මකා දමන්නට නොහැකියි

'රටකට පදක්කමක් දිනා දීම ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ක්‍රීඩාවෙන් පදක්කම් දිනා දුන් ක්‍රීඩකයන් අතර මුලින්ම එවැනි දස්කමක් කරන්න ඇත්තේ කවුරුන් විය හැකි ද? ජනශ්‍රැතියට අමතරව විදේශීය ජාතිකයන්ගේ ඓතිහාසික ලේඛණයන්හි සඳහන් කාරණාවලට අනුව අපේ රටට මුල්ම පදක්කම රැගෙනවිත් තිබෙන්නේ ඔහුයි. ඒ දේශීය ජන ක්‍රීඩාවක් වන ඇඟේ පොර ක්‍රීඩාව මගිනුයි.'

අපි ගිය සතියේ කතාකරමින් හිටියෙ අංගම්පොර එහෙම නැත්නම් ඇගේ පොර ගැනයි. අංගම් පොර උගන්වපු පාසල්වල ප්‍රධානියා අද කාලේ හැටියට නම් විදුහල්පති හැඳින්වුණේ මුහන්දිරම් කියලා බව ත් ගිය සතියේ පැහැදිලිව කිව්වා. මේ මුහන්දිරම් කම ගන්න ප්‍රභූන් අතර දැඩි උදේයා්ගයක් තිබුණා. 1815 දී බ්‍රිතාන්‍යය ජාතිකකයන්ගේ ආධාර උපකාර සමඟ මේ අංගම් විද්‍යාලවල පලිපාන හා මොල්ලොගොඩ නිලමේවරු මුහන්දිරම් තනතුර ලැබූ බව ඉතිහාසයේ කියැවෙනවා. ඒ කතිකාව සමාජගතව ඇත්තේ ශ්‍රීමත් ජෝන් ඩොයිලිගේ දිනපොත් පසුකාලීනව පරිශීලනය කිරීමේදී යි. ඉංග්‍රීසින් මෙරටට පැමිණීමට පෙර මෙම අංගම් විදුහල් අතරින් මරුවල්ලියේ පරපුරට හිමිකම ලැබී තිබුණේ හේවාහැට උඩපළාත, දෙල්තොට අවට ප්‍රදේශය, රත්මලේ ප්‍රදේශය අයත්වූ අතර සුදලියේ උරුමය ලෙස විශ්වාස කරන්නේ මාතලේ, හාරිස්පත්තුව, සිදුරුවාන රට යනුවෙන් උඩුනුවර හා යටිනුවර යන ප්‍රදේශ බව සඳහන් වෙනවා.

අපේ ඉතිහාස කතාවල අංගම්පොර ක්‍රීඩකයන් අතරින් කොනප්පු බණ්ඩාරට තියෙන්නේ සුවිශාල පිළිගැනීමක්. ඔහු ඉන්දියාවේ ගෝව නගරය ආශ්‍රිතව දීර්ඝ කාලයක් වාසය කළේ පෘතුගීසීන් ඇසුරේ බව අපි කවුරුත් දන්න කරුණක්. මේ කොනොප්පු බණ්ඩාර ගෝවේ විසූ නගර වැසියන් වගේම පෘතුගාල රජු නියෝජනය කළ ප්‍රතිකාල්වරයාටත් බිය ගෙනදුන් අංගම් සටන්කරුවෙක් බව කියැවෙනවා. ඒ මොකද ඔහු ද්වන්ධ සටන්වලදී තම ප්‍රතිවාදියා පරාජය කර ඔහුව මරා දැමීමට කිසිසේත්ම පසුබට නොවීම නිසයි. ඒ බව රාජාවලියේ සඳහන්ව තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට කොනොප්පු බණ්ඩාර කුමාරයා (පසුව පළමුවැනි විමලධර්මසූරිය ලෙසින් රජවෙන) අංගම් හරඹ ඉගෙනගෙන ඇත්තේ ලක්දිව ඉලංගම් මඩුවකදීයි. එකල ඉන්දියාවේ ගෝව ආශ්‍රිතව පැවැති මල්ලවපොර ආකාරයේ අංගම් සටන්වලින් ජයගත් ඔහු ඇගයීම් දිනාගෙන තිබෙනවා. ඇතැම්විට ස්වදේශිකයෝ ජාත්‍යන්තරයේ ලබාගත් පළමු පදක්කම බවට පත්වන්නේ කොනප්පු බණ්ඩාර ලබාගත් මෙම අංගම් පොර ආශ්‍රිත සටන් ජයග්‍රහණයැයි කියන්නට පිළිවන්.

ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන කාලයේ පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ එච්.සී.පී.බෙල් මහත්තයා 1892 දී ලියපු කෑගල්ල වාර්තාවේ අතීත අංගම්පොර කතාවක් ගැන සඳහන් වෙනවා. ඒ කතාවට අනුව සුදලියේ කඩු හරඹ ශූරයෙක් හා සටනට කැඳවන මරුවල්ලියේ ශූරයෙක් අතර සටනක් පැවැත්වෙන්න දින නියම කරගෙන තිබෙනවා. ඒ සටනේදී තමන් යම් අයුරකින් මියගියහොත් ඉපැදීමට පෙරුම්පුරන දරුවාට කඩු ශිල්පය උගන්වන ලෙස පොරොන්දුවක් ලබාගෙන තිබුණා. ඒත් ඔහුට ඉපැදුණේ දියණියක් ලු. එය තම ස්වාමියාට වුණු පොරොන්දුව බිඳින්න හේතුවක් කර නොගත් කාන්තාව තමන්ගේ දියණියට කඩු හරඹ උගන්වා තිබුණා.

වසර ගණනාවක් පුහුණුවී කඩු සරඹයේ දක්ෂතා ඇතිකරගත් මේ දියණිය රාජ සභාවට පැමිණිලා තමන් සුදලියේ ඕනෑම හටන්කාරයෙක් එක්ක සටනට සූදානම් කියලා බොහෝම උජාරුවට අභියෝගයක් ඉදිරිපත් කළා. මේ අභියෝගය සුදලියේ කඩු හරඹ ශූරයෙක් පිළිගත්තේ ඒ කාලේ පැවැති සම්මතයන්ට අනුව අදාළ අභියෝග ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නිසයි. අන්තිමට තියුණු සටනකින් පස්සේ සුදලියේ ශූරයාව මරා දැමූ ඇය රාජ සභාවේ රජු ඉදිරියේ තමන්ගේ අනන්‍යතාව හෙළිකර තිබුණේ මේ අයුරින් සටන් කළේ පිරිමියෙක් නොව කාන්තාවක් බව පවසමිනුයි. රජු මේ සිද්ධියෙන් විමතියට පත්වුණා. අන්තිමට රජු කළේ ඇයට ඇතුන් පස් දෙනෙක් වගේම සතර කෝරළයේ දිසාවත් තෑගි කරලා තිබුණා. ඇය ස්වදේශිකයන් අතර රාජ නියෝගයෙන් පළමු දිසාවේවරිය බවට පත්වූ කාන්තාව බවට තමයි ඉතිහාසය හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ අංගම් සටන් හේතුවෙන් තමයි ඇයට මේ කියන තනතුර හම්බවෙලා තිබුණේ. එයින් පැහැදිලි වෙනවා අංගම් සටන් කොයිතරම් ප්‍රබලද එවැනි විශිෂ්ටතාවක් අත්පත් කරගැනීමෙන් තමන්ට ලැබෙන පිළිගැනීම්, තාන්න, මාන්න මොනවගේ දැවැන්තද කියන එක.

දෙවන රාජසිංහ රජ්ජුරුවෝ කියන්නේ පෘතුගීසී ආක්‍රමණිකයන්ට දැඩිව හානි සිදුකළ දේශීය රජකෙනෙකුට. ඔහු පීතෘ ඝාතකයෙක් විධිහට හංවඩු ගැහුවත් ඔහුගේ සටන් හැකියාවේ ඇති විශිෂ්ටත්වය කිසිකෙනෙකුට ඉතිහාසය තුළින් මකා දමන්නට නොහැකියි කියන එක තමයි කිවයුත්තේ.

අපි මේ කියන රාජසිංහ රජ්ජුරුවෝ කියන්නෙත් අංගම් සටනේ කෙළ පැමිණියෙක්. ඔහු කඩු සටනේ විශිෂ්ටයෙක්. ක්වෙරෝස් වැනි පෘතුගීසී ලේඛකයන් පවසා ඇත්තේ රාජසිංහ රජු සම කළ හැකි එකම සටන් කරුවා යුරෝපයේ මහා අධිරාජ්‍යයක් නිර්මාණය කළ මහා ඇලෙක්සැන්ඩර් රජුට පමණයිලු. ස්වදේශීකයන් තුළ නොපැවතුණු එකමුතු භාවය, විදේශිකයන්ගේ තාන්න මාන්න ලබාගැනීමට ලොල්වීම නිසා පාවාදෙන්නන් තමන්ගේ කඳවුර තුළ සිටීම ආදී කරුණු හේතුවෙන් දෙවැනි රාජසිංහ රජතුමාට පරාජය අත්පත් කරගැනීමට සිදුවුණා. නමුත් ඔහු ඓතිහාසිකව සම්භාවනාවට පත්වෙන ජාතියේ අංගම් ශූරයෙක්.

රාජාවලිය සඳහන් කර ඇති ආකාරයට කොළඹ පරංගි කොටුවට රිංගා එහි සිටි තරුණ පරංගි සෙබළු කීපදෙනෙක්ම පෙතිගසා මරා දමන්න රාජසිංහ රජු ක්‍රියාකර තිබුණා.

ලබන සතියේ - ඉංගිරිසීන් මවිත කළ දේශීය කඩු ශූරයකුගේ කතාවක්

Comments