කුසල් ලා ලකුණු නොලබන්න අකුසල් කළා ද? | සිළුමිණ

කුසල් ලා ලකුණු නොලබන්න අකුසල් කළා ද?

දිගින් දිගමට අසාර්ථක වන ක්‍රීඩකයන්ට මානසික පුහුණුවක් ලබාදුන්නාට

පසුව කායික වශයෙන් සිදුකරන පුහුණුව සිදු කළයුතුයි

කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව සතු ප්‍රභාමත් ක්‍රීඩකයෙකි. ඔහුගේ ටෙස්ට් ලකුණු වාර්තා කියවා බලන්නකුට වුවද ඔහුගේ විශාල අඩුලුහුඬුතාවයක් දැක්වීමට නොහැකිය. එහෙත් ලකුණු අතරට පිවිසිය හැකි අවස්ථාවලදී ඔහු ලකුණු අතරින් පලායනු දැකීමට පිළිවන. එය වරක් දෙවරක් නොව බොහෝ වරක් සිදුවද්දී ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වැඩි දෙනෙක් පවසන්නේ ඔහු කලකට පිටියෙන් විවේක ගැන්විය යුතු බවය. දේශීය පිටියේ ඇතැම් පිතිකරුවන්ට වඩා ඉදිරියෙන් සිට දක්ෂතා දක්වන කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් වරින්වර ජාත්‍යන්තර පිටියේ අසාර්ථක වන්නේ ඇයි? ඔහුට අමතරව ළහිරු තිරිමාන්න මෙන්ම පසුගිය තරගය හැරුණු විට ධනංජය ද සිල්වා සහ ඇතැම්විට කුසල් ජනිත් පෙරේරා වැන්නවුන්ගේ සැබෑ දක්ෂතා යටපත් වන්නේ කුමන හේතුවෙන් ද? අපි මේ සම්බන්ධයෙන් ක්‍රීඩාවේ ප්‍රාමාණික උගතකු වූ මහාචාර්ය අසංග විජේරත්න මහතාගෙන් විමසා සිටියෙමු.

ක්‍රීඩකයන්ගේ මානසික ව්‍යාකූලතාවය ඔවුන්ගේ දක්ෂතා යටපත්වීමට හේතු පාදක වෙයි. මානසික ව්‍යාකූලත්වයට ඉවහල්වන කාරණාවන් තුනක් තිබේ. ඉන් පළමුවැන්න බියයි. දෙවැන්න වනුයේ සැකය වන අතර තෙවැන්න යමකට ඇති දුක යන්නයි. කොටින්ම කියන්නේ නම් බිය, සැක, දුක - සංකා ක්‍රීඩකයන්ගේ මානසික ව්‍යාකූලත්වයට සෘජුව ඉවහල් වෙයි.

එහෙත් මේ කියන කිසිදු ලක්ෂණයක් නොමැතිව වුව ද ක්‍රීඩකයකු අසාර්ථක වීමට පිළිවන්. ඒ, අතීතයේ ඔහුගේ මනස තුළ තැන්පත්ව ඇති කරුණු හේතුවෙන් විය හැකිය. එහෙත් එවැනි අවස්ථාවලදී ක්‍රීඩකයා වටා සිටින ක්‍රීඩා ලෝලීහු මෙන්ම ඇතැම් පුහුණුකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම් අදාළ ක්‍රීඩකයාව දැඩිව විවේචනය කරති. ක්‍රීඩා උපදේශනය පාර්ශ්වයෙන් ඔහු ඉන් මුදාගැනීමට උපකාර කළ යුතුය.

කෙසේ නමුත් කිසියම් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර තලයට පැමිණි මුල් අදියරේ අවස්ථා කීපයක් අසාර්ථක වන්නට පිළිවන. එහෙත් ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් යැයි පුහුණුකරු සිතන්නේ නම් දක්ෂතා, ශාරීරික යෝග්‍යතාව ඇතුළු දුර්වලතා නිවැරැදි කර ඔහුව දක්ෂතා අතරට රැගෙන ආ හැකිය.

එහෙත් දක්ෂ ක්‍රීඩකයෙක් තම ක්‍රීඩා ජිවිතයේ අතර මඟදී දිගින් දිගටම අසාර්ථක වන්නේ නම් ඔහු හෝ ඇය මාවන් අතපත්තු වැනි ක්‍රීඩකයකු අසාර්ථකත්වයෙන් සාර්ථකත්වයට රැගෙනා ආ ආකාරයෙන් සාර්ථකත්වයට පත්කළ නොහැකිය. උදාහරණයකට මේ දිනවල දිගින් දිගටම අසාර්ථක වන කුසල් මෙන්ඩිස් නැවත දැල් පුහුණුවෙන් පමණක් සුපුරුදු දක්ෂතා අතරට රැගෙන ආ නොහැකිය. තවත් තරග ලබාදෙමින් වුව ද යළි ගොඩනැංවිමටද අපහසුය.

එසේනම් ඔහු හරි මඟට ගන්නේ කෙසේ ද යන ගැටලුව පැන නගී. එය කළ හැක්කේ ඔහුගේ මනසේ තැන්පත්ව ඇති සෘණාත්මක කරුණු ඉවත් කිරීමට කටයුතු කරමිනි. එසේ සිදුකර අවසානයේ ධනාත්මක හැඟීම් මනසේ තැන්පත් කර ඒවා පැළ කිරීමට සිදුවෙයි. කායික වශයෙන් පුහුණුවක් ලබාදිය යුතුව ඇත්තේ ඉන් පසුව ය.

ඉයන් බොතම්, ඩේවිඩ් ගවර්, ග්‍රැහැම් ගුච් මෙන්ම ඇලන් බෝඩර් වැනි (ඉංග්‍රීසි ක්‍රීඩකන් කීපදෙනෙක් පමණක් උදාහරණයට ගෙන බලමු.) ක්‍රීඩකයන් ද ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතය තුළ මෙවැනි මානසික හා දක්ෂතා සම්බන්ධ ගැටලුවලට මුහුණ දුන්හ. එහෙත් ඔවුහු යළි පිටිය තුළ සාර්ථකත්වය සොයාගත්තේ මනෝ උපදේශනය තුළිනි.

අතීතයේ සිදුවූ අප දන්නා හෝ නොදන්නා ක්‍රීඩාවේ දී වේවා පවුල තුළ හෝ පෞද්ගලිකව වේවා ඔහු අත් විඳි ගැටලු කාරී සිදුවීම් ද එවැනි සෘණාත්මක හැඟීම් ජනනය කිරීමට හේතුවන්නට පිළිවන. එසේම සමාජ මාධ්‍ය ජාලා මගින් සිදුකරන උසුළු විසුළු කිරීම්ද මෙවැනි ක්‍රීඩකයන්ට වර්තමානය වනවිට බලපෑමක් වන්නට ඉඩ තිබේ.

එහෙත් ඒවාට පිළිතුරු දීමේ අධිෂ්ඨානයෙන් පැමිණියද පිටියේදී අසාර්ථක වන්නේ අතීතයේ මනසේ තැන්පත්ව ඇති සෘණාත්මක හැඟීම් ඊට වඩා ප්‍රබල වන බැවිණි.

කෙසේ නමුත් මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම පෙන්වන ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමකට එන්නේ යළි පැරණි දක්ෂතා අතරට ගෙන ඒමට පුහුණුකරුවන් අසමත්වන්නේ නම් සිදුකළ යුත්තේ වහා පුහුණුකරුවන් නෙරපා දැමීම පමණි.

එසේම කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් සම්බන්ධයෙන් කතා කරද්දී තමන්ට සමකාලීන නායකයන් ගණනාවක් යටතේ ක්‍රීඩා කර තිබුණද වැඩි වශයෙන් කණ්ඩායමක් වශයෙන් ලබා ඇති අසාර්ථකත්වයත් ඔහුගේ සුපුරුදු දක්ෂතා මතුනොවීමට හේතු සාධක වන්නට ඉඩ තිබේ.

එසේම අර්ජුන, මහානාම, අරවින්ද, අසංග වැනි ක්‍රීඩකයන් කටයුතු කළ ආකාරයට පසුව කණ්ඩායම තුළ ස්ථාවරවූ මහේල, සංගක්කාර, ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන්ගෙන් යොවුන් ක්‍රීඩකයන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාවක් නොසැපයිණි. එයින් සිදුවූයේ ඔවුන්ට පසුව වගකීම් බාරගත් කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් සතු සුපුරුදු දක්ෂතා පිටිය තුළ ස්ථාවර නොවීමය. එහිදී පුහුණුකරුවන් අතින්ද විශාල අතපසුවීම් සිදුව ඇති බව පිළිගත යුතුය.

කෙසේ නමුත් තරගකාරී ක්‍රීඩාව බොහෝවිට නොපැවැත්වෙන මේ සමයේ ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාව වෙනුවෙන් දැඩි නීති රීති හා සැලසුම් ක්‍රියාකරනවා වෙනුවට ඔවුනට ලබාදිය යුත්තේ සුවතා ව්‍යායාම හා සුවතාවය ඇති කරන සංචාර, වෙනත් ක්‍රීඩා අත්දැකීම්ය.

පෙරකී ආකාරයේ ‘ක්‍රීඩා නිවැරැදි කිරීම්’ නැතහොත් ස්පොර්ට්ස් කරෙක්ෂන් සිදුකළ යුත්තේ ක්‍රීඩකයකුගේ වයස අවුරුදු තිහ පසුවීමට පෙරය. පළමු, දෙවැනි හෝ තෙවැනි වර එය සිදු නොකරන්නේ නම් සිදුවන්නේ අදාළ දුර්වල තත්ත්වයට පත්වූ ක්‍රීඩකයන් යලි ප්‍රකෘති දක්ෂතා අතරට නැවත ගෙන ආ නොහැකි බවය. ශ්‍රී ලංකාව තුළ නවීඩ් නවාස් වැනි ක්‍රිඩකයනුත් එංගලන්තයේ මාර්ක් රාම්ප්‍රකාෂ් වැන්නවුනුත් ඊට නිදසුන්ය.

 

ජගත් ඉරෝෂණ

Comments