සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක නියෝජිත ආයතන බිලැක් ලිස්ට් | සිළුමිණ

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක නියෝජිත ආයතන බිලැක් ලිස්ට්

ලබන 21 වෙනිදා සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් මෙරටට ගෙන්වීමේ සිට ආපසු යාම දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදුලේඛන (Blacklist) ගත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. කිසිවෙකු මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය  කලහොත් එය සංචාරක ව්‍යාපාරයේ අනාගතයට දැඩි ලෙස බලපාන බවද ඔහු පෙන්වා දෙයි.
 
ජනවාරි 21 දා සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සංචාරක නියෝජිත ආයතන ,හෝටල් හිමියන් සංචාරක මඟ පෙන්වන්නන්, සංචාරක රියදුරන් දැනුවත් කිරීම සඳහා ඊයේ (11) පැවැති රැස්වීමකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. සංචාරක හෝටල් කලමනාකරණ ආයතනයේදී රැස්වීම පැවැත්විණ.
 
සංචාරකයන්ට නැවත රට විවෘත කිරීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වීමේදී අඳාල සංචාරක ආයතන සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවත් සංචාරකයන් ගමන් කරනු ලබන ස්ථාන සම්බන්ධයෙන් අධිකාරියට පූර්ව දැනුම් දීමක් සිදු කලයුතු බවත් ඇමතිවරයා මෙහිදී කීවේය. එම දැනුම් දීම කලවිට සංචාරකයන් මෙරටට පැමිණීමේ සිට ඔවුන් මෙරට සංචාරය කරනු ලබන ස්ථාන හා ඔවුන්ගේ පිටවයාම දක්වා අධිකාරිය පූර්ණ අධීක්ෂණයකට ලක්කරනු ඇත.මේ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් සංචාරක සංවර්ධන අධිකාරියේ ස්ථාපිත කරන බවද ඇමතිවරයා කිවේය.
 
 
කටුනායක හා මත්තල ගුවන්තොටුපල 21 වන දින සිට ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ද ඇමතිවරයා මෙහිදී පැහැදිලි කළේය. සංචාරකයන් දිවයිනට පැමීණීම වෙනමත්, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රි ලාංකිකයන් දිවයිනට පැමීණීම  වෙනමත් සිදුකිරීමට කටයුතු යොදා ඇතැයි පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපලේදී හෝ රට තුලදී සංචාරකයන් මෙරට වැසියන් හා මුහු නොවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයිද කීවේය. කොවිඩ් කමිටුව හෝ සෞඛ්‍ය බලධාරීන් අනුමත නොකරන කිසිදු රටකින් සංචාරකයන් ගෙන්වීමේ කිසිදු සූදානමක් නැතැයිද ඇමතිවරයා  අවධාරණය කළේය. ඔහු පෙන්වා දුන්නේ සංචාරකයන්ගෙන් මෙරට වැසියන්ටත්, මෙරට වැසියන්ගෙන් සංචාරකයන්ටත් කොවිඩ් ආසාදනය වීම වැළැක්වීම ආණ්ඩුව අපේක්ෂාව බවයි. ඒ සඳහා ගතහැකි ගතයුතු සියලු පියවර ගෙන ඇති බවද ඇමතිවරයා කීවේය.
 
රාජ්‍ය ඇමති ඩී.වී.චානක, අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ  ජනරාල් ධම්මිකා විජේරත්න, ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම යන මහත් මහත්මීහූ මෙම අවස්ථාවට සහභාගී වූහ.
 

Comments