ඔව්... අපි සූදානම්... | සිළුමිණ

ඔව්... අපි සූදානම්...

කොවිඩ් 19 දෙවැනි රැල්ලෙන් අනතුරුව වසා දැමුණු පාසල්වල 2-13 ශ්‍රේණි නව පාසල් වාරය ලබන 11 සඳුදායින් ආරම්භ වේ. බස්නාහිර පළාත තුළ එදිනට පාසල් විවෘත නොකෙරෙන අතර ලබන 25 වැනිදා බස්නාහිර පළාතේ පාසල් විවෘත වන්නේ 11 වන ශ්‍රේණිය සඳහා පමණි. ගෙවි ගිය වසරක කාලය දරුවන්ගේ පාසල් ගමනේ පැහැදිලි වෙනසක් සිදු වූ වර්ෂයක් වන අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අභියෝගාත්මක තීරණයන් රැසක් ගත් වසරක්ද විය. ප්‍රසිද්ධ විභාග දෙකක් පවත්වා කොවිඩ් සමඟ ජීවත්විය යුත්තේ කෙසේද යන්න රටට පණිවුඩයක්ද ලබා දුන්නේය. එවන් අභියෝගාත්මක තීරණවලට මුහුණ දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා විසින් ගෙවී ගිය වසර මෙන්ම 2021 අභියෝගාත්මක වසරේදී පාසල් දරුවන් වෙනුවෙන් ගන්නා තීරණ පිළිබඳ සිළුමිණට එක් කළ අදහස් ඇසුරින් සකස් කළ ලිපියකි මේ.

පසුගිය මාර්තු මාසයේ මුළු රටට වෙනස්ම ආකාරයේ අභියෝගයකට මුහුණ දුන්නේ මෙරට පාසල් පද්ධතියද නොසිතූ ආකාරයේ අභියෝග රැසකට යොමු කරමිනි. මාර්තු මාසය වන විට ක්‍රමයෙන් හිස ඔසවමින් තිබූ කොවිඩ් වසංගතය හේතුවෙන් රටම අඩපණ වෙද්දී දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් වසා දැමීමටද සිදුවිය. මේ නිසා වසර මුල සිටම පාසල් අධ්‍යාපන කටයුතු නැවතීමකට ලක් වූයේ දරුවන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කාර්යය ලෙස සැලකූ හෙයිනි. ඒ වන විට ජනාධිපතිවරයා විසින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක් කිරීමෙන් කොවිඩ් කාර්ය සාධක බළකායක් ඇති කළේය. අතීතයේ සිට පැවැති පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු විධිමත් විය. නිමා නොවන කොවිඩ් වසංගතය හේතුවෙන් මැයි මාසයේ සිට පාසල් සෞඛ්‍ය කමිටු යාවත්කාලීන වෙමින් පාසල් සියල්ල යළිත් විවෘත වූයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි.

කොවිඩ් 19 රටට අභියෝගයක් වුවත් පළමු රැල්ලෙන් පසු පාසල් යළිත් ආරම්භ වූයේ සමාජ දුරස්ථභාවය, ගිලන් කාමර, අත් සේදීමේ පහසුකම්, උෂ්ණත්වය මැනීම අනිවාර්ය අංග බවට පත් කරමිනි. මේ සියලු තීන්දු තීරණ ගැනීම දැඩි අභියෝග වුවත් දරුවා පාසලේදී හා නිවසේදී සුරක්ෂිත කරන්නට හැකි වුණත් පාසලට පැමිණෙන අතරමඟ සුරක්ෂිත බව පිළිබඳ ගැටලු මතුවිය.

කොවිඩ් දෙවෙනි රැල්ල

මිනුවන්ගොඩින් ඇරඹි කොවිඩ් දෙවැනි රැල්ල තවත් අභියෝගයක් විය. ඒ වන විට දෙවතාවක් කල්ගිය ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් පැවැත්වීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට වැඩි වගකීමක් විය. සාකච්ඡා කිහිපයක්ම පවත්වමින් තිබුණේ මධ්‍යස්ථාන 3000කදී කෙසේ හෝ ඔක්තෝම්බර් මස 10 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අවශ්‍ය වන නිසාය.

කොවිඩ් පිළිබඳ අසුභ ආරංචි පැතිර යද්දී මේ සියල්ල සූදානම් වන්නට විය. එහෙත් විභාග දින අවසන් මොහොතේ සියල්ල අඩපණ කරමින් ගම්පහ පොලිස්බල ප්‍රදේශ 19කට ආසන්න ප්‍රමාණයක් හුදකලා වන්නේ කොවිඩ් පැතිරිම වේගවත් වීම නිසාය.

අවසන් මොහාතේ සියල්ල සුදානම් වූ පසු අනපේක්ෂිත ලෙස විභාග දෙපාර්ත‍මේන්තුවේ රහස්‍ය කාමරයේ සිටින අයෙකුගේ ඥාතියෙකුට කෙවිඩ් වැලඳීම, ගම්පහ සිට එන දරුවන්ට කොළඹට පැමිණීමට නොහැකි වීම විශාල අභියෝගයක් විය.

කුමන බාධා මතුවුණත් සියලු දෙනාම එකතු වී තීරණය කළේ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විභාගය පැවැත්වීමටය.

විභාග රාජකාරී සඳහා අමතර රුපියල් මිලියන 160ක් ක්ෂණිකව මුදල් වෙන් විය. පසුගිය වසර 5ට ශිෂ්‍යත්ව විභාගයට අඩුවෙන්ම නොපැමිණි පිරිස මෙවර වූ අතර උසස් පෙළ විභාගයට පැමිණීම සියයට සියයක් විය.

කොවිඩ් වැලඳුණු දරුවන් 59 දෙනෙක් ඒ අතර විය. සිසුන් 560 ගණනක් නිරෝධායනය වෙමින් විභාගයට මුහුණ දීම අධ්‍යාපන අමාත්‍යාංශය ලද ජයග්‍රහණයකි. කොවිඩ් දෙවැනි රැල්ලෙන් අනතුරුව නොවැම්බර් 23 වැනිදා 6 -13 පාසල් 5,233ක් ආරම්භ කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ අධ්‍යාපනය කල් දැමිය නොහැකි නිසාය.

පාසල් දරුවන් 50ට අඩු පාසල් 1468 ක්ද, 100 ට අඩු පාසල් 1498 ක්ද සිසුන් 500 ට අඩු පාසල් 7856 ඇති අතර 13% පාසල් ඇත්තේ සිසුන් 500 - 1000 අතරය. මේ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් විවෘත කිරීමේ චක්‍රලේඛ අදාළ සිසු සංඛ්‍යාව අනුව යම් යම් වෙනස්වීම්වලට භාජන විය.

ජනවාරි මස 11 වැනිදා 2 -13 පන්ති ඇතුළත්ව සිසුන්ට පාසල් විවෘත කෙරෙන අතර ඒ බස්නාහිර හා සෙසු හුදකලා පළාත් හැරය.

බස්නාහිර තීරණය පසුව

බස්නාහිර පළාත තුළත් පාසල් විවෘත කරන ලෙස විශාල ඉල්ලුමක් ඇති අතර එයද ඉදිරියේ සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණ මත සිදු කෙරෙනු ඇත. හුදකලා කරන ලද ප්‍රදේශවල පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ජනවාරි මස 25 වැනි දින සිට විවෘත කිරීමට පියවර ගැනේ.

කොවිඩ් වයිරසයේ ව්‍යාප්ති තත්ත්වය හමුවේ දරුවන්ට පාසල් විවෘත කිරීම ඉතා අභියෝගාත්මක කටයුත්තක් වන හෙයින්, සෞඛ්‍ය බලධාරීන්ගේ මඟපෙන්වීම් හා පූර්ණ අධීක්ෂණය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්පාදනය කර ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුකූලව පාසල් ආරම්භ කිරීම සිදු කෙරේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද විධිමත්ව පවත්වාගෙන යාමටත් විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසුන්, දෙමව්පියන්, පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සාමාජිකයන් ඇතුළු සියලු පාර්ශ්ව පූර්ණ වගකීමෙන් කටයුතු කළ යුතු වෙයි.

ජනවාරි 6 සිට 10 දක්වා සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට යටත්ව සිමිත දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් ගෙන්වා පාසල් පිරිසුදු කිරීම පූර්ව සුදානමක් යටතේ කළ යුතු වෙයි.

පාසල ආරම්භ කිරීමෙන් පසුව සෞඛ්‍යාරක්ෂිතව පාසල් පවත්වා ගෙන යාමට මුව ආවරණ පැලැඳීම, දුරස්ථභාවය, ශරීර උෂ්ණත්වය පිරික්සීම, දෑත් සේදීම අනිවාර්ය කිරීම, පන්ති මට්ටමින් විවේක කාල සූදානම් කිරීම, එකිනෙකා ස්පර්ශවන ආකාරයේ ක්‍රීඩා නොකිරීම මෙන්ම ශාරීරික යෝග්‍යතා මීටරයේ දුරස්ථභාවය රඳවා ගනිමින් සිදු කිරීම, දරුවන් ගිලන් කාමරයේ තබා ගැනීමේදි වෛද්‍ය නිර්දේශ අනුගමනය කිරීම 11 දා සිට සිදු කරන්නේය.

දෙමවුපිය වගකීම

මෙහිදි දෙමවුපියන් සතු වගකීමද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේය. දරුවෙකුට අසනීප ගති පෙන්නුම් කෙරේ නම් පාසල් එවීමෙන් වළක්වාලීම, තම සාමාජිකයකු නිරෝධායනය වී සිටීනම් ඒ පිළිබඳව දැනුම්වත් කිරීම, පාසලට අඳින ඇඳුම් පාසල් එවන උපකරණ නිසි සෞඛ්‍ය නිර්දේශවලට අනුව පවත්වාගෙන යාම පිළිබඳව දරුවාට දැනුමක් ලබා දීම දෙමවුපියන් සතු වගකිමක් බව අවධාරණය කරන්නේය.

කොවිඩ් වසංගතයෙන් පසු පාසල් ආරම්භ කිරීමේ සෑම රැස්වීමකට මහජන සෞඛ්‍ය පරීක්ෂක, වෛද්‍ය නිලධාරී, ග්‍රාම සේවා නිලධාරි අනිවාර්යයෙන්ම පැමිණිය යුතු වෙයි. ආරම්භයේදී මේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 480ක් පළාත්වලට බෙදා දුන් අතර නැවතත් පාසල් විවෘත කරන්නට රුපියල් මිලියන 105 ලබා දෙන්නටද කටයුතු කර තිබේ. සිසු සැරිය බස් සේවාව සම්බන්ධයෙන් දරුවන්ට කිසිදු අඩුවක් නැතිව ලබා දෙන්නට සියලු උපදෙස් ලබා දී අවසන්ය. කොවිඩ් කාලයේ දුරස්ථ අධ්‍යාපනය සම්බන්ධයෙන්ද යම් ගැටලු මතු වූ අතර මේ වන විට ගමට තාක්ෂණය යටතේ තෝරාගත් පාසල් 1,401 ක් සඳහා රුපියල් මිලියන 49 ක ආයෝජනයක් යටතේ මොබිටෙල්, එස් එල් ටී ආයතනය හරහා අන්තර් ජාල පහසුකම් ප්‍රවර්ධනය කෙරෙන අතර ඊට හුවාවි ආයතනයත් සමගාමීව සේවාවක් ලබා දෙන්නේය. මීට විදුලි සංදේශ නියාමන කොමිසම විශාල දායකත්වයක් දක්වයි. ඊ තක්සලාව, ගුරු ගෙදර කොවිඩ් හේතුවෙන් සිසුන් ලද දායාදය.

කොතරම් දුරස්ථ අධ්‍යාපන අවස්ථා ලබා දුන්නද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ පාසල් දින 5න් එක් දිනක් හෝ දරුවා අනිවාර්යයෙන්ම පාසල් එවිය යුතු බවයි. සිසුන් 20 බැගින් කණ්ඩායම් කර එක් කණ්ඩායමක් සතියකට දින තුනක් පාසලට ගෙන ආ යුතු වන අතර ඒ එක් කණ්ඩායමක් සඳුදා, බඳාදා, සිකුරාදා හා අනික් කණ්ඩායම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා හා සෙනසුරාදාය. මෙය තීරණය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශ නිර්දේශයන්ට අනුව විදුහල්පතිවරුන් සතු වගකිමකි. කෙසේ වෙතත් කොවිඩ් සමඟ ගෙවෙන වසර අධ්‍යාපන කටයුතු සිදු වන්නේ ඒ අයුරිනි.

උසස් පෙළ ප්‍රතිඵල මාර්තුවේ

උසස් පෙළ ප්‍රතිඵල ලබා දීමේ කටයුතු කොවිඩ් තිබුණද මේ වන විට 80% කට වඩා අවසන්ව ඇති අතර අප්‍රේල් මස මුල් සතියේ හෝ මාර්තු අග වන විට ලබා දෙන්නට සූදානම්ය. ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වැටුප් හා සංඛ්‍යා ලේඛන කොමිසමෙන් මේ වන විට නිර්දේශ ඉල්ලා ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරු 4 දෙනෙකුගෙන් යුතු කමිටුවක්ද පිහිටුවා ඇත. මෙහිදී මුදල් ප්‍රමාණය කොතරම්ද යන්න නිශ්චිතව සොයා බැලිය යුතු අතර රජයක් ලෙස දැරීමට වන වියදමද ප්‍රකාශ කළ යුතුයි. අවසන් විසඳුම සඳහා වැටුප් හා සංඛ්‍යා ලේඛන කොමිසම, මහා භාණ්ඩාගාරය එකඟ කර ගත යුතුයි. අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය හා ගුරු සේවය සඳහා වැටුපෙන් ලබා දිය හැකි සමාජ තලය ලබා දී විෂමතා නැති කර ස්ථිර විසඳුමක් දිය යුතුය.

පෞද්ගලික උපකාරක පන්ති නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට බලයක් නොමැති වුවද, ව්‍යවස්ථාපිතව දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතුවල වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය සතුය. මේ වන විට සිදු කරන දුරස්ථ අධ්‍යාපනයේ මුදල් අය කිරීම් සම්බන්ධ චෝදනා දිගින් දිගටම මතු වුවහොත් නියාමන වගකීමද අධ්‍යාපන අමාත්‍යාංශයට දරන්නට සිදුවන්නේය.

Comments