ක්‍රීඩක යෝග්‍යතාවය හා ක්‍රීඩා අමාත්‍යාංශෙය් වගවීම | සිළුමිණ

ක්‍රීඩක යෝග්‍යතාවය හා ක්‍රීඩා අමාත්‍යාංශෙය් වගවීම

‘ජුගන් ඇන්ඩර්සන්’ යනු මෙරට ලන්දේසි පාලන සමයේ සේවය කළ ස්වීඩන් ජාතිකයෙකි. වරක් ඔහු ස්වදේශික ජනතාවගේ යුදමය හැකියාව, හැසිරීම ගැන ලියා තිබුණේ, ‘ස්වදේශිකයෝ ඉක්මනින් වෙහෙසට පත් නොවෙති. ඔවුන් කඩිසර ය, ක්‍රියාශීලී ය. නිර්භීත ය’ ආදී වශයෙනි. ඒ මීට ශතවර්ෂ තුනකට හෝ හතරකට පෙර ය.

එහෙත් අතීතයේ විදේශිකයන් විසින් මෙරට ජන සමාජය සම්බන්ධයෙන් පළකළ අදහස් වර්තමානයේ තවදුරටත් යතාර්ථවාදී වන්නේදැයි විමසා බැලීමට සිදුව ඇත. අප එසේ කියන්නේ රටක කාර්යශූරත්වය මැන බැලීමට මේ යුගයේ භාවිත කළ හැකි කදිම දර්ශකයක් ලෙස සැලකිය හැකි ක්‍රීඩාවේ දී මතුවන අර්බූදයන් සලකා බැලීමේදී ය.

ඊට ආසන්නතම හේතුව සපයන්නේ පසුගියදා අවසන් වුණු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකානු සංචාරය ය. එම සංචාරය ආරම්භයේ සිටම වැඩි වශයෙන් වාර්තා වූයේ උකුලේ, උරහිසේ, කලවේ මාංශ පේශි ඉරීමකට ලක්ව පීඩා විඳින ක්‍රීඩකයන් පිළිබඳව ය. එවැනි ආබාධ වාර්තා වුණේ පෞද්ගලික සංචාරයකට දකුණු අප්‍රිකාව බලාගිය ජාත්‍යන්තර පාසලක හෝ කිසියම් ආයතනයක් නියෝජනය කරන කණ්ඩායමක සාමාජිකයන් තුළ නම් ගැටලුවක් නැත. එහෙත් එය එසේ නොවීම තත්ත්වය තවත් බැරෑරුම්කර තිබේ.

එය එසේ වන්නේ රටක ජාතික කණ්ඩායමක් යනු එම රටේ වෙසෙන ජනතාව ගේ පිළිබිඹුව කි. ඔවුන්ගේ දක්ෂතා, පීඩන කළමනාකරණය, අධිෂ්ඨාන ශක්තිය, විනය ඇතුළු විවිධ කාරණාවන් මගින් ප්‍රකට වන්නේ ඔවුන් ජීවත්වන ජන සමාජය පිළිබඳව ය.

මේ අනුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවේදී පෙන්නුම් කළේ සමස්ත ශ්‍රී ලාංකිකයන් අති බහුතරය සෞඛ්‍යමය ගැටලුවලින් පීඩා විඳින බව කියැවෙන ආකාරයේ නිශේධනීය ප්‍රතිරූපයකි.

මෙම තත්ත්වය තවදුරටත් ගැටලුකාරී වන්නේ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක වඩා වෘත්තීය හා පහසුකම් සහිත ක්‍රීඩාව වශයෙන් සලකද්දීය. එය එසේනම් වෘත්තීය ක්‍රීඩකයන්ට තම ශාරීරික යෝග්‍යතාව පහසුවෙන් බිඳවැටෙන්නට ඉඩදිය හැකිද? පෝෂණවේදීන්, වෛද්‍ය කාර්ය මණ්ඩල මෙන්ම විශිෂ්ට පුහුණු ක්‍රමවේද සැපයෙද්දී යෝග්‍යතාව සම්බන්ධයෙන් මෙලෙස ලිස්සා යාහැකි ද? මේ සම්බන්ධයෙන් විමසිය යුතුව ඇත්තේ එවැනි පරිසරයක සිටය.

අපට වැටහෙන ආකාරයට එය එසේ සිදුවිය නොහැක. එසේනම් සිදුවිය යුතුව ඇත්තේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ යෝග්‍යතා අර්බූදය පිළිබඳ සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යාංශය සෘජුව මැදිහත් වීමෙනි. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාව කළමනා කරණය කරන්නේ කෙසේ ද? නිසි පුහුණුව, විවේකය, විනය පවත්වාගෙන යන්නේ ද? එසේ නොමැති වන්නේ නම් ඒ ඇයි? යන්න ගැන ගැඹුරින් විමසා බැලීමෙනි.

නිසැක වශයෙන්ම එය එසේ සිදුවිය යුතුව ඇත. එහෙත් එවැනි සොයාබැලීමක් අනවශ්‍ය දේශපාලන අතපෙවීමකැයි කියන්නට කිසිවකුටත් නොහැකිය. එය ක්‍රීඩා අමාත්‍යංශයේ වගකීමකි. ක්‍රීඩා අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට වගවීමකි. කෝටි දෙක ඉක්මවන සමස්ත පුරවැසියා අරභයා යුතුකම් ඉටුකිරීමකි.

 

සංස්කාරක

Comments