සිංහල සින­මාවේ ආද­ර­ණී­ය අම්මා අයිරාංගනී සේරසිංහ | සිළුමිණ

සිංහල සින­මාවේ ආද­ර­ණී­ය අම්මා අයිරාංගනී සේරසිංහ

අදින් අවුරුදු 64කට එපිට 1956 දෙසැම්බර් මස තිරගත කළ “රේඛාව“ චිත්‍රපටයේ තම ප්‍රථම රංගනය ඉදිරිපත් කළ අයිරාංගනීට අමතක නොවන මතක සටහන් තැබුවේ වෑවල ගමේ කළ උද්වේගකර දර්ශනය අදත් ඇය සිහිපත් කරන්නේ සතුටිනි.

එදා මුළු දවසම මමත්, සෝමපාලත් වතුරට තෙමිලා අසනීප වුණා. “රේඛාවේ“ රූගත කරන්න තිබුණ අන්තිම දර්ශනයත් එයයි. වෑවල ගමට කාලෙකින් වැහැල තිබුණේ නෑ. ‘අද වහී - හෙට වහී‘ කියමින් පිරිස බලාපොරොත්තු සහිතව බලන් හිටියා. මේ අතර ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන් (David Lean) ‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි‘ චිත්‍රපටය කරන්න ලංකාවට ඇවිත් හිටියෙ. එක්තරා සාදයකදි අධ්‍යක්ෂ ලෙස්ටර් හා ලීන් හමු වුණා.

“වැස්සක් එනකං හිටියොත් මාස ගණනක් ඉන්න වෙයි. ලෙස්ටර් ඔබේ රටේ ගිනි නිවන හමුදාවේ දක්ෂ අය ඉන්නවා. ඒ අය පුදුම මිනිස්සු. ඒ ගොල්ල ගාව අඩි 60 ක් උසට වතුර ඉහන පොම්පයක් තියෙනවා. ඒකට කියන්නේ ‘ලන්ඩන් රසල්‘ කියලා. ඒ අය කෘතිම ධාරාණිපාත වැස්සක් මවාවි.“

ලෙස්ටර් ගිනි නිවන හමුදාව වෑවලට ගෙනල්ල කෘතිම වැස්සක් මැව්වා. මමත්, සෝමපාලත් ඒ කෘතිම වැස්සෙන් හොඳටම තෙමී අපමණ පීඩා වින්දා. අපි පැය ගණනක් තෙමි තෙමී මේ දර්ශනය කරලා ඉවර වුණාම දියෙන් ගොඩට දාපු මාළුවෝ වගේ ගැහි ගැහී හිටියේ. අපිට උණු කෝපි විටින් විට ගෙනත් දුන්නා. රෑ අපි දෙන්නට සහලෝල උණ ගත්තා. කොත්තමල්ලි, ඇස්ප්‍රින් බිව්වත් හරි ගියේ නෑ. මම හිතුව මට ජලසන්නියක් ඇතිවේවි කියලා. පසුදා අපිව අලව්වේ රෝහලට ගෙන ගියා. එතැනින් පොල්ගහවෙල රෝහලටත් ගෙන ගියා. මේ කෘතිම වැස්සට අපිරිසිදු ලිඳකින්ද කොහේද වතුර අරං තිබුණේ. මුළු ඇඟම කසන්න ගත්තා. මුල්ම චිත්‍රපට අත්දැකීම වුවද චිත්‍රපටය බලන කොට ඒ දර්ශනය හොඳම දර්ශනයක් කියලා කවුරුත් අගය කළා.“

තම චිත්‍රපට ජීවිතේ ඇත්තටම මැරෙන්න ගිය අවස්ථා දෙකක් ඇය අපට විස්තර කළේ භීතිය පෙරදැරි මුහුණකිනි. මේ සිද්ධිය වෙලා දැන හරියටම අවුරුදු හැටක් වෙනවා.

ලෙස්ටර් ගේ දෙවන චිත්‍රපටය වූ ‘සන්දේශයේ‘ අයිරාංගනී රඟපෑවේ සිංහල ඔත්තුකාරියක් වූ යසෝහාමි නම් බිත්තර වෙළෙන්දියක ලෙස ය. සිංහල කැරලිකරුවෙකුට පණිවුඩයක් හිස් බිත්තරයක් තුළ බහා බිත්තර ගොඩේ සඟවා ගෙන ගියා ය. පරංගි භටයකුගේ උකුසු ඇසට හසුවන ඇයව දියේ ගිල්ලා මැරීමට නියම වෙයි.

“මරණ දඬුවම නියම වූ මාව දියේ ගිල්වා මැරීමට ගඟක් ගාවට ගෙන යනවා. මේ දර්ශනය සඳහා සියලු කටයුතු සූදානම් කළේ සහාය අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය. මේ රූපගත කරනවා බලන්න අම්මත් ගියා. මගේ අත්දෙක කඹයකින් බැඳලා, අනික් කෙළවරේ කළු ගලක් ගැට ගහලා. මගේ ජීවිතය බේර ගන්න ජීවිතාරක්ෂකයෝ පස් දෙනෙක් යොදවලා තිබුණෙ. වධකයා ලෙස රඟපෑ එන්.ආර්. ඩයස් මාව ගඟට තල්ලු කළා. මර ළතෝනි දී දියට පැන්න මට නැවත ගොඩට එන්න ශක්තියක් නැති වුණා. මගේ හුස්ම හිර වුණා. අතේ බඳින ලද ගල කඩා දැමීමට ද මට අමතක වෙලා. ගල කඩා නොදමා තව වෙලා හිටියා නම් ගලේ බරට මා යටට ම ගිලෙන්න ඉඩ තිබුණා. මා නැවත ගොඩ ඒමට තරම් ශක්තියක් නොතිබුණේ, මගේ අතේ බැඳ තිබූ කඹය වතුරට පෙඟී තදව තිබූ නිසා. ඒත් මම කොහොම හරි උඩට ආව කියමු කෝ.

“කෝ... ඒ සීන් එකේ ඔයා ගඟට පැනල ගිලුණාම දිය බුබුළු (Bubbles) ආවේ නැහැනේ නැවත ගම්මු.“ අධ්‍යක්ෂ ලෙස්ටර් කිව්වා.

අම්මාට හොඳටම කේන්ති ගිහින්. හොඳටම බය වෙලා.

“මොන Bubbles ද? යමු ගෙදර. උඹ මැරෙන්නද හදන්නේ? ඉක්මනට ඇඳුම් මාරු කර ගනින්. උඹට නිව්මෝනියා හැදේවි.

“අම්මා කලබල වෙන්න එපා. කරන්න ආපු වැඩේ කරන්න එපායැ. අම්මා බය වෙන්න එපා. මම මැරෙන්නේ නැහැ.“

දෙවැනි පාරටත් මම ගඟට පැන්නා. ඒ පාර නම් කඹය යාන්තම් ගලවා ගත්තා. ඒත් මම ගොඩට ආවේ තරමක අපහසුවෙන්. මම අවධානම ගන්න බය නැහැ.

“ඕකේ, අයිරාංගනී, මේ පාර සීන් එකේ Bubbles හොඳට ආවා.“ලෙස්ටර් බොහෝම සතුටින් කිව්වා.“

කවදත් කාටවත් බය නැති, අවධානම සෙල්ලම කොට ගත් අයිරාංගනී රොක්ෂානා මීදෙනිය කුඩා කළ සිට ම චණ්ඩිකම් කිරීමෙන් සතුටක් ලැබුවා. ඒ නිසාම ඇයට ‘චණ්ඩි‘ නම් නමක් පට බැඳ තිබුණා. 1927 ජුනි 09 වෙනිදා රුවන්වැල්ලේ මුදුගොමුවේ මීදෙනිය වලව්වේ උපත ලැබූ ඇය ගේ පියා වූයේ ජෝශප් හර්කියුලිස් මීදෙනිය රටේ මහත්තය. අයිරාංගනීගේ සීයා වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට රුවන්වැල්ල අසුනට නිතරගයෙන් පත්වූ මීදෙනිය අධිකාරිම් ය. අයිරාංගනීගේ මව වයලට් එල්ලාවල ය. ඇය රත්නපුරයේ මන්ත්‍රීව සිටි නන්ද එල්ලාවලගේ පියාගේ සොහොයුරියකි. ඇගේ මාමාවරුන් වූයේ ලේක්හවුස් අධිපති ඩී.ආර්. විජයවර්ධන හා හිටපු කථානායක ෆ්‍රැන්සිස් මොලමුරේ ය.

ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේත්, කොළඹ බිෂොප් විද්‍යාලයේත් ඉගෙනුම ලැබූ අයිරාංගනී කිරි ගණිත ගුරුන්නාන්සේගෙන් උඩරට නැටුම් ඉගෙන ගත්තාය. 1947 ලංකා විශ්ව විද්‍යාලයට බැඳෙන අයිරාංගනීගේ සමකාලීන ශිෂ්‍යයන්ව ඇත්තේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ස්ටැන්ලි තිලකරත්න, රොනී ද මැල්, ඩී.බී.අයි.එස්.පී. සිරිවර්ධන, නිශ්ශංක විජේරත්න ආදීන් ය. විශ්ව විද්‍යාලයේදී ඉංග්‍රීසි නාට්‍ය රැසක රඟ පෑ ඇය මහාචාර්ය ලුඩොවයික්ගේ මඟ පෙන්වීම යටතේ ලන්ඩනයේ Royal Acadamy of Dramatic Art ආයතනයේ හා The Bristol Old Vic Theate School ආයතනයෙන් නාට්‍ය කලාව හැදෑරූ මුල්ම ශිෂ්‍යාව වූවා ය.

විප්ලවකාරී දේශපාලන චරිතයක් වූ අයිරාංගනී විශ්වවිද්‍යාලයේ දී ම කොමියුනිස්ට්වාදී සටන්කාමියක් වූවාය. මේ නිසා පීටර් කෙනමන්, බර්නාඩ් සොයිසා, ඩොරික් ද සූසා සමඟ ක්‍රියාකාරී දේශපාලනයට යොමු වූ කාලයේ කොල්වින් ආර්. ද සිල්වා විසින් ඇයට ලංකා සමසමාජ පක්ෂයෙන් ආසනයක් තරග කරන ලෙස කිහිපවරක්ම ආරාධනා කර ඇත.

“මට පාසල් යන කාලේවත් විශ්වවිද්‍යාලයේ දී වත් පෙම්වතෙක් හිටියෙ නැහැ. අපිට හිටියේ හොඳ යාළුවෝ විතරයි. මම මුලින් විවාහවීමට සූදානම් වෙලා හිටියේ හිටපු තානාපතිවරයකුව සිටි තිස්ස විජේරත්න සමඟ. මට කෝච්චිය මිස් වුණා. හිතුවක්කාර ලෙස මම විවාහ වුණේ මගේ විශ්වවිද්‍යාලයේ සමකාලීන සිසුවකු වූ පසුව විශේෂඥ දන්ත වෛද්‍ය මහාචාර්ය එස්.බී. දිසානායක සමඟ. ඒක ඉක්මන් තීරණයක්. ඒ විවාහය වැඩිකල් තිබුණේ නෑ. මගේ දෙවන විවාහය සිදු වුණේ ඉංග්‍රිසි වේදිකා නාට්‍ය රඟපාන කාලේ. ඔහු වින්ස්ටන් සේරසිංහ. අපි දෙන්නා නාට්‍ය කිහිපයක රඟපෑවා. ඔහු දක්ෂ රගර් ක්‍රීඩකයෙක් හැටියට CR & FC ක්‍රීඩා සමාජයේ දස්කම් පෑවා. අපි දෙන්නා අතර අවුරුදු 17 ක් වයස් පරතරයක් තිබුණත් වින්සන්ට් මගේ ආදරවන්ත සැමියෙක්, දයාබර පියෙක්.“ අයිරාංගනී අතීතය සිහිපත් කළා ය.

තම මුල්ම රඟපෑම වූ රේඛාවේ කතිරිනාහාමි සඳහා 1956 හොඳම නිළිය ලෙස දීපශිඛා සම්මාන දිනූ අයිරාංගනී ඉන්පසු සරසවිය, ජනාධිපති ඇතුළු සිනමා සම්මාන වලදී සම්මාන රැසක් දිනා ගත්තාය. “සාගරයක් මැද“ චිත්‍රපටයේ රඟපෑම උදෙසා හොඳම සහාය නිළිය ලෙස සරසවි සම්මානය දිනා ගැනීම විශේෂයකි.

“මගේ චිත්‍රපට දිවියේ අමතක නොවන චරිතයක් ‘සාරගයක් මැද‘ චිත්‍රපටයේ රඟපෑවා. දවසක් ගාමිණි ෆොන්සේකා මට ටෙලිෆෝන් කරලා “ඔයාට ගැළපෙන පුංචි චරිතයක් තියෙනවා. කැමති ද රඟපාන්න“ කිව්වා. මම ගාමිණිව දන්නේ රේඛාවේ රඟපාන කාලෙ ඉඳලනේ. ගාමිණි හැමදාම උදේ හතරට විතර අපේ කාමරයට තට්ටු කරලා. “අද ෂූටිං උදේන්ම කරනවා. දෙන්නම නැගිටලා පහට එන්න.“

මමයි, වින්සන්ට් නැගිටින්නේ ගාමිණීට බැණ බැණ. මොනව වුණත් ගාමිණී කවද හරි හොඳ නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයකු වන බවට වින්සන්ට් අනාවැකි කිව්වේ ‘සංදේශය‘ චිත්‍රපටයේ එයාගේ කාර්මික අංශයේ උනන්දුව දැකලා. ගාමිණීගේ ඉල්ලීමට මම රඟපාන්න ගියා. මම රඟපැවේ දේශපාලනඥයකුගේ නැන්දම්මා කෙනෙකු ලෙස. මේ චරිතය රඟපෑමට ප්‍රශංසා, සම්මාන ලැබුණත් මගේ නෑ කෙනෙක් කිව්වා.., ඔයා දන්නවද ඔයා රඟපෑවේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ගේ නැන්දම්මගේ චරිතය කියලා. මම ෆීලික්ස්ව දැන හිටියත් එයාගේ නැන්දම්මව දැකලා තිබුණේ නැහැ. එහෙම දැනගෙන හිටිය නං රඟපාන්නෙත් නෑ.“

“රේඛාව“ චිත්‍රපටයට වසර හැටක් පිරුණ දා ආචාර්ය ලෙස්ටර්ගේ නිවසේ පැවති චාම් උත්සවයට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ආරාධිතයා ලෙස පැමිණි අවස්ථාවේ කළ කතාවේ තම ඥාතිවරියක වූ අයිරාංගනී ගැන ද කතා කළේය. කුඩා කළ තිරගත වූ ‘රේඛාව‘ නැරඹීමට තමාව ගෙන ගොස් අම්මා “අර ඉන්නේ ඔයාගේ අයිරාංගනී ඇන්ටි‘ කියලා කිව්ව ආකාරය මතක බව සිනා මැද කීවේය. එදා ආචාර්ය ලෙස්ටර්ට මෙන්ම අයිරාංගනී නැන්දාට ද කේක් කැවීමට රනිල් වික්‍රමසිංහ අමතක නොකළේ ය.

අයිරාංගනී තමන් රඟපෑ තවත් අසීරු චරිතයක් ගැන කීවේ ඇගේ මතක ගබඩාව අවදි කරමිනි.

“මම සුනිල් ආරියරත්නගේ “සුදු සෙවණැලි“ චිත්‍රපටයේ රඟ පෑ දුෂ්කර මහලු මවගේ චරිතය මට කිසිදා අමතක වන්නේ නෑ. මගේ ලොකු පුතාට රඟපෑවේ ලින්ටන් සේමගේ. ඔහු ඉංග්‍රීසි පාලනයට විරුද්ධව සටන් කිරීම නිසා සිරගත වෙනවා. බාල පුතා සුදු බණ්ඩා කොළඹට පැන ගිහින් ගෙදර එන්නේ අම්මා උමතු රෝගයකින් බලවත් ලෙස අසනීප වූ නිසා.

උමතු ස්ත්‍රියක් වූ මාව කරේ තියාගෙන පොඩි ළමයි උප්පු ගෙනියනවා වගෙ සුදුබණ්ඩා ලෙස රඟපාන රොෂාන් පිලපිටිය උස්සාගෙන යන දර්ශනය මට කිසිදා අමතක වෙන්නේ නෑ. වෙද ගෙදර යන්නේ මට ‘හිස්ස කුඩිච්චියක්‘දාන්න. රත්තොට රූ ගත වූ මේ දර්ශනය සඳහා රොෂාන් පුදුම වධයක් වින්දා.

“රොෂාන් ඔයා දැන් හුඟක් දුර ආවා මහන්සි නම් ටිකක් ඉම්මු.“

“නෑ ඇන්ටි මට පුළුවන් යන්න, ඇන්ටි බරත් නැහැනේ. මට බය ඇන්ටි අමාරුවෙන් යන්නේ කියලා.“ රොෂාන් වෙද ගෙදරට යන දර්ශනය අඛණ්ඩව කිරීමට මා උස්සාගෙන ගියා. දර්ශනය ඉවර වෙලා රොෂාන් මෙහෙම කිව්වා.

“මම ඇන්ටිට තියෙන්නේ මගේ අම්මට වගේ ම ගෞරවයක් ආදරයක්. මට බය ඒකට හානියක් නොවන ලෙස රඟපාන්න.“

“රොෂාන් ඔයා කරුණාවන්ත ළමයෙක්. දක්ෂ නළුවෙක්. මම මුල්ම රඟ පෑ මුල්ම චිත්‍රපටය රේඛාවේ මගේ දුව හැටියට රඟපෑවේ ඔයාගේ අම්මා. මල්ලිකා පිලපිටිය. ඒ දරුවත් ඔයා වගේ නිහතමානි කෙනෙක්. එයාගේ පුතා ඔයා (සුදුබණ්ඩා) අද රඟපාන්නේ මගේ පුතාට. කොයිතරම් වාසනාවක් ද?“

අයිරාංගනී පැරණි සිද්ධියක් රසකර කීවාය. 2000 වසරේ ඇය ‘සුදු සෙවණැලි‘ චිත්‍රපටයේ රඟපෑමට හොඳම සහාය නිළිය ලෙස ජනාධිපති සම්මාන ලැබුවාය.

ඇය සිනමාවට පිවිසීමට පෙර ‘ටයිම්ස් ඔෆ් සිලෝන්‘ පත්‍රයේ කාන්තා පිටුව භාර සංස්කාරිය වූවාය. ඇය පරිසර හිතකාමි ගහ කොළට ආදරය කළ රුක් රකින්නියක් ද වූවාය.

මීට කලකට ඉහත 1978 එක්තරා දවසක මේ ලියුම්කරුට අයිරාංගනී මහත්මිය හමු වී “නවයුගය“ පුවත්පතට විශේෂාංගයක් ලිවීමට නාවල අරලිය උයනේ ගහ කොළවලින් වට වූ නිවසට යන්ට අවස්ථාව ලැබිණ. ඇගේ රවි පුතා ගහකොළවලට මෙන් ම නයි, පොළොඟුන්, මාපිලුන් වැනි විෂඝෝර සතුන් ඇති කළා. අපේ ගේ පුරාම සර්පයෝ. අපි දැන් පුරුදුවෙලා. ඒ කණ වැකුණු මේ ලියුම්කරු කකුල් දෙක උඩට ගත්තේ ය. ඒ සමඟම රවි සර්පයෙක් රැගෙන තම මව අසලට ආවේය. ඌගේ කට ඇරී තිබිණ.

“අම්මා මෙයාට කෑම කවන්න. කට ඇරල තියෙන්නේ. බය වෙන්න එපා.“ රවි එදා කී අයුරු මතකය.

නැවත වරක් මේ ලියුම්කරුට යන්න සිදු වූයේ රවිගේ මළගමට ය. වයස අවුරුදු 31 වයස ඔහු විවාහ ගිවිස සිටියේය. ඔහු රිය අනතුරකින් මිය ගියේය.

එතැන් සිට අයිරාංගනී වඩ වඩාත් බුදු සමයට ළං වූවා ය. උපතින් ම Church of England ආගම ඇදහු ඇයට හිටි හැටියේ කිරින්දේ ධම්මානන්ද නාහිමියන් විසින් ඉංග්‍රීසියෙන් ලියූ ‘බුදුදහම හා ජීවිතය‘නම් පුංචි පොතක් හිතවතියක් ගෙන දී තිබුණා ය. ඇගේ ජීවිතයේ අමුතු පෙරළියක් කරමින් බුදු දහම වැලඳ ගත් ඇයට අපරිමිත නිරාමිෂ සුවයක් ලැබූ හැටි විස්තර කළා ය.

ඇගේ සැමියා 1999 දි මිය ගියේ ය. දැන් ඇය පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ අංක 41/19 නිවසේ පදිංචිව සිටී. පොත් කියවීම තම ජීවිතයේ කොටසක් කර ගෙන සිටින්නීය. අප එහි යන විට ඇය කියවමින් සිටියේ Michael Dibdin ලියූ zen OMnibus Ratking Cabel Vendetta නම් රහස් පරීක්ෂක පොත ය. තම දෙවැනි පුතා වූ රංජිත් ගේ පුතුන් දෙදෙනා මේ මිත්තනියට සලකන්නේ මිතුරන් ලෙස ය. තම මවු උරුමයෙන් ඇයට ලැබුණු බෙල්හුල්ඔය ඉඩමේ හැදූ පුංචි නිවසට වී දහම් පොත් කියවමින් ජීවිතයේ ඉතිරි කාලය ගත කිරීමට ඇය සිහින මවන්නීය.

 
 

Comments