‘සුවසැරිය’ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ | Page 2 | සිළුමිණ

‘සුවසැරිය’ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ

 සුව සැරිය ගිලන් රථ 298 යි, සේවක පිරිස 1,364 යි

 සුව සැරිය සේවකයන් ‘දඩයම්’ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ

 ‍රෝගීන් රැගෙන යන්නේ  අවම පහසුකම් යටතේ

‘සුවසැරිය’ ගිලන් රථ සේවාව කොයිකාගේත් නොමද ගෞරවයට පාත්‍ර වූ සේවාවකි. 1990 ඇමතූ සැණින් අදාළ ස්ථානයට ළඟාවී රෝගියාව ළඟම පිහිටි රජයේ රෝහලක් වෙත භාරදීමේ කටයුත්ත ඉටු කරන බැවින් ‘සුවසැරිය’ ගිලන් රථ සේවාව කෙටි කාලයක් ඇතුළත ජනප්‍රියත්වයක් දිනා ගනු ලැබීය. ගිලන් රථය තුළදී රුධිර පීඩනය, සීනි පරීක්ෂාව සිදු කර පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබාදෙන බැවින් ‍රෝගියකු සාමාන්‍ය රථයකින් රෝහලකට රැගෙන යනවාට වඩා සුවසැරිය ගිලන් රථයකින් රෝගියකු රෝහලකට රැගෙන යාමෙන් සැලසෙන වාසිය අතිමහත්ය. ඇතැම් රෝගීන් දිවි බේරාගෙන තිබුණේ සුවසැරිය ගිලන් රථ සේවයෙන් ලැබුණු මූලික ප්‍රතිකාර නිසාය. මෙම ගිලන් රථ තුළ දරු ප්‍රසූතිය සිදුවූ අවස්ථා ද තිබේ. මේ සා අගනා සේවයක් සලසනු ලබන සුවසැරිය ගිලන් රථ සේවය, අද වනවිට අර්බුදයකට මුහුණපා සිටියි.

ඒ, සුවසැරිය සේවක සංගම‍යේ සභාපතිනිය, උප සභාපති සහ ‍උප ලේකම් යන තිදෙනාගේ වැඩ තහනම් කිරීමත් සමඟිනි‍.

“අපිට වෘත්තීය වශයෙන් ගොඩක් ගැටලු තිබුණා. අපිට නවාතැන් ප්‍රශ්න තිබුණා. ගිලන් රථ පොලිසියෙන් මුදා හැරියාම අපේ සේවකයන් වාහන ගස් යට තියාගෙන ඉන්නවා. පන්සල්වල නවතිනවා. සමහර වෙලාවට අපේ සේවක සේවිකාවන්ට යන්න වැසිකිළි පහසුකම් නැහැ. නාගන්න තැනක් නැහැ. සමහර ගිලන් රථවල දොර කැඩිලා, ලොක් වෙන්නේ නැහැ. ගිලන් රථ අබලන් වෙලා. මේ අඩුපාඩු ගැන බලධාරීන්ට දැනුම් දුන්නාට වැඩක් වුණේ නැහැ. ඒ නිසයි සුවසැරිය සේවක සංගමය අපි පිහිටුවා ගත්තේ.”

“අපි ඒ බව කළමනාකාරිත්වයට දැනුම් දුන්නා. ඒත් ඒ අය අපිට කිසිම ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ. ඒ නිසා අපේ අඩුපාඩු ගැන වගකිවයුතු අයගේ අවධානය යොමු කිරීමේ අරමුණින් අපේ සුවසැරිය සේවක සංගමය නොවැම්බර් 24 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. නොවැම්බර් 25 වැනිදා රෑ 8.00 ට අපේ සේවය අත්හිටුවන බව දන්වලා අපිට ලියුම් භාරදුන්නා.” යනුවෙන් සඳහන් කළේ සුවසැරිය සේවක සංගමයේ සභාපතිනිය, මයුමි ප්‍රියංගිකා වීරසිංහය.

සුවසැරිය ගිලන් රථ සේවක මඬුල්ල මුහුණදෙන ගැටලු ඉදිරියේ බලධාරීන් මුනිවත රැකීම සුදුසු නැත. මන්ද ඔවුන් විසි හතර පැය පුරා රැයක් දවාලක් නොතකා සිය සේවය වෙනුවෙන් කැපවී සිටින පිරිසක් බැවිනි. මේ දිනවල පවත්නා කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ 1990 ගිලන් රථ සේවාව සිදු කරන සේවය ජනතාවට මාධ්‍ය ඔස්සේ ද දැකගත හැකිය.

“අපි කොවිඩ් රෝගීන් කැටුව යන්නේ අවම පහසුකම් යටතේ. අඩු ගණනේ අපිට පී.සී.ආර්. පරීක්ෂණවත් කරන්නේ නැහැ. අපි ආරක්ෂිතයි කියලා අපිට කියන්න බැහැ. අපිව අධීක්ෂණය කරන්න කෙනෙකු නැහැ. අපි කොවිඩ් අවදානම දරාගෙන වැඩ කරන්නේ.” යනුවෙන් තවදුරටත් පැවසුවේ 1990 සුවසැරිය සේවක සංගමයේ සභාපතිනිය මයුමි ප්‍රියංගිකා වීරසිංහය.

1990 සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කළේ 2016 ජූලි මාසයේදීය. ඒ දකුණ හා බස්නාහිර දෙපළාතෙනි. මෙය ඉදිරියට පවත්වාගෙන යෑමේ අරමුණින් 2018 වර්ෂයේදී පාර්ලිමේන්තු පනතක් මගින් සුවසැරිය පදනම අරඹා, මෙය රජයට පූර්ණ අනුබද්ධ සේවාවක් ලෙස ක්‍රියාත්මක වීමට කටයුතු යොදවනු ලැබිණි. සුවසැරිය පදනම ආරම්භයේදී ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූයේ මෙම ගිලන් රථ සේවාවේ නිර්මාතෘ, එවකට ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා නිසාය. මේ වනවිට සුවසැරිය ගිලන් රථ සේවය අධීක්ෂණය කෙරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගිනි. මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන් රථ සේවයට එකතුවී ඇති ගිලන් රථ ගණන 298 කි. සේවක සේවිකාවෝ 1364 දෙනෙක් එහි සේවය කරති. ඔවුන්ව රැකියාවට බඳවාගෙන තිබෙන්නේ කොන්ත්‍රාත් පදනම යටතේය.

වැඩ තහනමට ලක්වී සිටින සුවසැරිය සේවක සංගමයේ සභාපතිනිය මයුමි ප්‍රියංගිකා වීරසිංහ, උප සභාපති රංගන සංජීව රාජනායක සහ උප ලේකම් මධුසංඛ ලක්මාල් යන තිදෙනා ද කොන්ත්‍රාත් පදනම යටතේ සේවා කාලය ඉදිරියට තිබෙන සේවකයන් තිදෙනෙකි.

“වෘත්තීය සංගම‍යක් පිහිටෙව්වා කියලා මේ සේවකයන්ගේ වැඩ තහනම් කළාට සුවසැරිය ගිලන් රථ සේවයේ සේවකයන්ගේ වැඩ තහනම් කරපු ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. මට බොරු චෝදනා පටවලා වැඩ තහනම් කරලා මාස 06 කට පසු මගේ රැකියාව අහිමි කළා. මම අනිත් අය වගේ දාලා යන්නේ නැහැ. මම නීති මාර්ගයෙන් මේ අසාධාරණයට එරෙහිව සටන් වදිනවා.” යනුවෙන් පැවසුවේ දිස්ත්‍රික් කළමනාකරුවකු ලෙස සේවය කළ ෂෙහාන් දිල්හාර වික්‍රමසේකරය.

ඔහු 2016 දී සුව සැරිය ආරම්භ කරන විට ඊට බැඳුණු අයෙකි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණවේදී තනතුරට 2016 අප්‍රේල් මාසයේදී සම්බන්ධවූ ෂෙහාන් ඇතුළු ප්‍රථම කණ්ඩායම පුහුණුවීම් සඳහා ඉන්දියාවට ද ගොස් තිබේ. සේවකයන්ගේ සුබසාධන ලේකම් වශයෙන් ද කටයුතු කළ ඔහු ප්‍රකාශ කර සිටින්නේ ආරම්භයේ සිටම සුව සැරිය සේවක සේවිකාවන්ට ගැටලු රැසක් තිබූ බවයි. රු. 30,000/- ක මූලික වැටුපක් දෙන බව මුලින් පැවසුවද, පසුව මූලික වැටුප ලෙස ලබාදුන්නේ රු. 17,000/- ක් බව ෂෙහාන් දිල්හාර වික්‍රමසේකර සඳහන් කළේය. එහෙත් මේ වනවිට ඔවුන්ගේ මූලික වැටුප රු. 39,250/- කි. සේවක සේවිකාවන් මුහුණදෙන දුෂ්කරතා ගැන හඬක් නඟන්නට කෙනෙකු නැති නිසාත් කන් දෙන්නට කිසිවකු නැති නිසාත් අවසානයේදී සේවක පිරිස වෘත්තීය සංගම‍යක් ‍පිහිටුවා ගැනීමට තීරණය කළේ 2019 වර්ෂයේ අගෝස්තු මාසයේදීය.

“සුව සැරිය සේවකයන්ට සේවා ස්ථානයක් මිරිහාන පොලිසියේ හදනවා කියලා අගෝස්තු 28 වැනිදා උදේ මට මුල්ගල තියන උත්සවයට එන්න කියලා දැනුම් දීලා තිබුණා. මම මුල්ගල තබන උත්සවයට ඇවිත් ආපසු ගියා. අගෝස්තු 29 වැනිදා තමයි වෘත්තීය සමිතියේ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ. අගෝස්තු 28 අපි හැමෝටම පසු වුණු දින යොදලා පත්වීමේ ලිපි දුන්නා. ඒ එක්කම ඒ පසු වුණු මාසවල හිඟ වැටුප් දීමනා කියලා ලක්ෂ ගණනින් මුදල් ලැබුණා. හැබැයි වෘත්තීය සමිතිය පවත්වන්න තිබුණු දවසේ, ඒ කියන්නේ අගෝස්තු 29 වැනිදා මගේ වැඩ තහනම් කළා. 2020 පෙබරවාරි මාසේ මාව රැකියාවෙන් අයින් කළා.” යනුවෙන් ආරම්භයේ පටන් සුවසැරිය ගිලන් රථ සේවාවේ මුහුණ දුන් ගැටලු ගැන විස්තර කළේ ෂෙහාන් දිල්හාර වික්‍රමසේකර ය.

ෂෙහාන්ගේ අදහස වන්නේ සුව සැරිය ගිලන් රථ සේවාව කෙරෙහි ඇති ජනතා විශ්වාසය නිසා කිසිම දේශපාලකයකු හෝ වෙනත් බලධාරියකු මෙයට ඇඟිලි නොගසන බවය. ඒ නිසාම සුවසැරිය කීර්ති නාමයට මුවාවී ඉන්දියානු මුදල් ගසා කෑ බව ද ඔහු සඳහන් කළේ සුවසැරිය කළමනාකාරිත්වයට දොස් පවරමිනි.

මේ වනවිට වැඩ තහනමට ලක්වූ සුව සැරිය ගිලන් රථ සේවකයන් තිදෙනා නැවත සේවයේ පිහිටුවීමට පියවර නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ‘වැඩ කරන ජනබලය’ වෘත්තීය සමිති ව්‍යාපාරයේ කැඳවුම්කරු රවි කුමුදේශ් ප්‍රකාශ කර තිබේ.

වැඩ තහනම් කර සිටින සුවසැරිය ගිලන් රථ සේවකයන් තිදෙනාගේ වැඩ තහනම් කළ බව දන්වන ලිපිවලට අත්සන් කර තිබෙන්නේ සුවසැරිය පදනමේ මානව සම්පත් අංශයේ ගයාත්‍රි ද සිල්වාය. ගයාත්‍රි ද සිල්වාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගනු ලැබුවේ එබැවිනි. එහෙත් ඇයට ඉහළ බලධාරීන්ගේ අනුමැතියකින් තොරව ප්‍රකාශ නිකුත් කිරීමට නොහැකි බව දන්වා සිටියාය.

සුවසැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරි රොහාන් ද සිල්වාගෙන් උද්ගත වී ඇති ගැටලුව පිළිබඳව විමසූ විට ඔවුන්ගේ නිවේදනය මුහුණුපොතේ සඳහන් කර ඇති බැවින් එයින් උපුටා ගන්නා ලෙසත් දන්වා සිටියේය. මුහුණු පොතේ සුවසැරිය පිටුව පරීක්ෂා කර බැලීමේදී වෘත්තීය සංගමය නඟන චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බව පෙනේ. සුවසැරිය සේවක මණ්ඩලය ඇප කැප වී උදාර සේවයක් කරන අතරවාරයේදී ඔවුන්ට නිග්‍රහ වන ආකාරයට ජනතාව තුළ ඇති ප්‍රතිරූපයට කැළලක් ඇතිවන ආකාරයට ආයතනයේ නීති උල්ලංඝනය කරමින් මාධ්‍ය සාකච්ඡා පවත්වා අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමට කටයුතු කළ මෙම සේවකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ආයතනික කළමනාකාරිත්වයට සිදුවන බව මුහුණුපොතේ තවදුරටත් සඳහන් කර ඇත.

සේවකයන් සහ සේව්‍යයා අතර ඇති මෙම අර්බුදය කෙසේ විස‍ඳේ දැයි අපට තීන්දු තීරණ ගත නොහැකිය. එහෙත් සුව සැරිය ගිලන් රථවල සේවය කරන රියදුරන් සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණවේදී පුද්ගලයන්ගේ තරාතිරම නොබලා, අව්වැසි නොතකා විසිහතර පැය පුරා සැදී පැහැදී ඉටු කරන සේවය ඉතා අගනේය. එබැවින් සේවක සුබ සාධනය සඳහා හාම්පුතුන්ගේ අවධානයද නිබඳවම යොමු විය යුතුය.

Comments