‘තුන්වේලටම බත් කන රටේ හාල්වලට මොකද වුණේ’? | සිළුමිණ

‘තුන්වේලටම බත් කන රටේ හාල්වලට මොකද වුණේ’?

 හාල් ටොන් ලක්ෂ 3.5ක් අඩු මිලට සතොසට දමනවා - වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන

 සහල් හිඟයට හේතුව මහ මෝල් හිමියන්ගේ හා ඇතැම් අමාත්‍යාංශ නිලධාරීන්ගේ  ගේම් එකක් - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

 

පසුගිය සඳුදා මම පිළියන්දල සතොසට ගියෙමි. සුදු කැකුළු රතු කැකුළු සම්බා හාල් එහි නොතිබිණි. ඊට පසු පිළියන්දල මොරටු පාරේ සුපිරි වෙළෙඳ සල් දෙකකට ද ගියෙමි. එහෙත් ඉහත හාල් වර්ග කිලෝවක් දෙකක්වත් එහි ගැනීමට නැත. සුපිරි කීරි සම්බා පැකට් පමණක් තිබිණි. ඒ කිලෝ 5 ක පැකට් එකක් මිලදී ගැනීමට රුපියල් 800 ක් පමණ අවශ්‍ය වේ. ඒ අනුව පැහැදිලිවම මේ දිනවල සහල් හිඟයක් හෝ සැඟවීමක් සිදුවී තිබේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන අනුව 2019 – 2020 මහ කන්නයේදී අපට ලැබුණු වී අස්වැන්න වී ටොන් මිලියන 3.2 කි. ඒ අස්වැන්න ලැබූයේ 2020 පෙබරවාරි - මාර්තු අතර කාලයේදීය. ඊට පසු 2020 යල කන්නයෙන් වී මෙට්‍රික් ටොන් මිලියන 1.8 ක් ලැබුණි. ඒ 2020 අගෝස්තු සැප්තැම්බර් මාසවලය. ඒ අනුව මේ වසරේ රටට ලැබුණු මුළු වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5 කි.

අප මුලදී පෙන්වූ 2020 ලැබුණු වී ටොන් මිලියන 5 මගින් සහල් ටොන් මිලියන 3.2 ක් පමණ ලබාගත හැකි බව හාල් මෝල් හිමියන්ගේ සංගම්වල නිලධාරීහු පෙන්වා දෙති. මෙරට වාර්ෂික සහල් පරිභෝජනය හාල් ටොන් මිලියන 2.5 කි. ඒ අනුව අපේ වී අස්වැන්නෙන් නිපද වූ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7 ක් ඉතිරි වේ.

මේ සහල්වලින් නීති වි‍රෝධී ලෙස සත්ව ආහාර හා මත්පැන් සඳහා හාල් ටොන් ලක්ෂ 5 ක් හොර පාරේ ගියත් තවත් අතිරික්ත හාල් ටොන් ලක්ෂ 2 ක් රට තුළ තිබිය යුතු ය.

මේ පිළිබඳව අදහස් දක්වන සමස්ත ලංකා සහල් නිෂ්පාදන සංගමයේ අනුශාසක අරුණ කාන්ත බණ්ඩාර පවසන්නේ මේ අනුව මහ හාල් මෝල් හිමියන් හා වී ගොවියන් ළඟ යම් වී ප්‍රමාණයක් තිබෙන බවයි. ඒ සමඟම සහල්වලට රජය නියම කර ඇති පාලන මිල රුපියල් 5 ක් වැඩි කළ යුතු බව ද ඔහු කියයි.

ඒ සමඟම සහල් නිෂ්පාදන සංගමයේ අනුශාසක අරුණ කාන්ත බණ්ඩාර පෙන්වා දෙන්නේ අද නියම කර තිබෙන උපරිම සිල්ලර මිලට අනුව වී කොටා හාල් නිපදවූ විට අතින් පාඩු බවයි. අරුණ කාන්ත බණ්ඩාර පවසන්නේ රජය සුදු කැකුළු කිලෝවක් සිල්ලර වෙළෙඳපළට දිය යුතු මිල රුපියල් 89 ක් ලෙස නියම කළත් සුදු කැකුළු කිලෝවක සම්පූර්ණ නිෂ්පාදන වියදම රුපියල් 92 ක් වන බවයි. ඊට අමතරව ප්‍රවාහන වියදම සිදුවූ විට සුදු කැකුළු කිලෝවක් සිල්ලර වෙළෙන්දා ළඟට ගෙන යනවිට රුපියල් 94 – 95 ක් වැයවී තිබේ. ඒ තත්ත්වයන් මත මේ 89 මිලට හාල් කෙටීම නිසා සහල් කර්මාන්තය දිනෙන් දින කඩා වැටෙමින් තිබෙන බවත් සහල් මෝල් හිමියන්ගේ සංගම් නිලධාරීහු පෙන්වා දෙති.

ප්‍රගතිශීලී ගොවිජන සම්මේලනයේ ලේකම් කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස තවදුරටත් පවසන්නේ මහ මෝල් හිමියන් ළඟ වී තොග ටොන් දහස් ගණනක් ගබඩාකර ඇති බවයි.

අපේ ගොවි ජනතාව මේ වසරේ රටේ පාරිභෝජන ඉල්ලුමටත් වඩා වී හදලා දුන්නා. නමුත් ඒවාට වෙච්ච දෙයක් නැහැ. මම බය නැතිව කියනවා මේ වී ටික හාල් මෝල් හිමියන් ළඟ තිබෙන බව. ඊට අමතරව දිසාපතිවරු මිලදී ගත් වී හා වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී ගබඩාවලත් තිබෙනවා. ඒවා ඉක්මනින් හාල් කරලා වෙළෙඳ පළට දැමිය යුතුයි.” ජයතිස්ස පවසයි.

මේ අතර මේ හාල් ගැටලුව පිළිබඳව අදහස් දක්වන වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ රටේ කෘතිම සහල් හිඟයක් තිබෙන බව තමා ද පිළිගන්නා බවයි. එය විසඳීමට සහල් කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාගේ සහාය අවශ්‍ය බව ද ඇමැතිවරයා පවසයි.

‍ගොවි ජනතාවගෙන් රුපියල් 80 ට පමණ මිලදී ගන්නා රතු කැකුළු හාල් කිලෝවක් අප පාරිභෝගිකයාට ලැබෙන්නේ රුපියල් 100 – 105කටය. ගොවියාගෙන් රුපියල් 85 ට මිලදී ගන්නා නාඩු වී කිලෝවක් අද පාරිභෝගිකයාට ලැබෙන්නේ රුපියල් 105 – 115 අතර මිලකටය‍.

අද සම්බා හාල්වල පුදුම හිඟයක් පවතින බව අප කහතුඩුව හා බුලත්සිංහල පිළියන්දල ප්‍රදේශවල සිල්ලර වෙළෙඳසල්වල හාල් මිල පිළිබඳව කළ ගවේෂණයකදී හෙළි විය. කෙසේ වුව ද ගොවියාගෙන් රුපියල් 88 පමණ මිලකට ගන්නා සම්බා සහල් කිලෝවක් අද පාරිභෝගිකයාට ලැබෙන්නේ රුපියල් 120 – 125 අතර මිලකටය. කීරි සම්බා හාල් කිලෝවකට ගොවියාට ලැබෙන මුදල 100 – 105 කි. නමුත් අද සිල්ලර වෙළෙඳ පොළේ කීරි සම්බා මිල රුපියල් 145 – 150 අතර වේ.

අප කළ සමීක්ෂණ අනුව හා කවුඩුල්ලේ ගොවිනායක එම්. කේ‍. ජයතිස්ස පවසන පරිදි ඔවුන් වී විකුණන මිල අනුව ඔවුන්ට සුදු කැකුළු තු කැකුළු හාල් කිලෝවක් සඳහා ලැබී ඇති මිල රුපියල් 80 කි. නාඩු වලට ලැබී ඇත්තේ 85 කි.

“සම්බාවලට රුපියල් 88 ක්ද කීරි සම්බාවලට 105 ක් පමණ ගොවි ජනතාවට ලැබී තිබේ.

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන පවසන පරිදි රජය නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සුදු හෝ රතු කැකුළු හාල් කිලෝවක් තොග වෙළෙඳුන්ට සහල් මෝල් හිමියන් ලබාදිය යුතු උපරිම මිල රුපියල් 89 කි. ඒ ගැසට් නිවේදනය අනුව නාඩු හාල් කිලෝවක් හාල් මෝල් හිමියන් තොග වෙ‍ළෙඳුන්ට ලබාදිය යුතු මිල 92 කි. සම්බා 99 කි.

ගැසට් පත්‍රයට අනුව වෙළෙන්දන් සිල්ලර ලෙස විකිණිය යුතු මිල ද නියම කර තිබේ. ඒ මිල සුදු/ රතු කැකුළුවල මිල රුපියල් 93 කි. නාඩු මිල රුපියල් 96 කි. සම්බා මිල රුපියල් 98 කි.

සතොසේ මිල අනුව සුදු කැකුළු රතු කැකුළු 93 කි. නාඩු 96 කි. සුදු සම්බා කැකුළු 98 කි. කීරි කැකුළු සම්බා 115 කි. කීරි සම්බා 118 කි.

එසේ වුවත් අද අපේ රටේ බොහෝ සතොස අලෙවි සල්වල හාල් හිඟයක් පවතී. පසුගිය සතියේ මුල් දිනවල මරදගහමුල හාල් වෙළෙඳ මධ්‍යස්ථානයේ රතු කැකුළු/ සුදු කැකුළු කිලෝවක මිල 95 – 98 අතර විය. සම්බා 117 – 118 අතර විය. නාඩු කිලෝවක් එහි විකුණනු ලැබුවේ රුපියල් 98 – 99 අතර මුදලකටය.

දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ 30 – 1 දිනවල සම්බා කිලෝවක් 124 ට ඉහළ නැග තිබිණි. සුදු/ රතු කැකුළු හාල් කිලෝවක් 95 – 96 අතර විය. නාඩු මිල 104 ට නැග තිබුණි.

අලෙවි සල්වල කීරි සම්බා කිලෝවක් විකුණන්නේ රුපියල් 145 – 150 අතර ගණනකට බව පැහැදිලි විය. ඒවායේ නාඩු කිලෝවක මිල 105 – 108 අතර විය. සුදු කැකුළු කිලෝවක මිල 100 හෝ ඊට වැඩිය. රතු කැකුළු 98 කි.

මේ අනුව මේ පිළිබඳව මහජනතාව පවසන්නේ සතොස හා සමහර සුපිරි වෙළෙඳ සංකීර්ණවල ද පාලන මිලට සහල් නොමැති බවයි. මේ ගැටලුවට විසඳුම් ලෙස දැන් දිසාපතිවරු ළඟ හා වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබෙන වී ටොන් ලක්ෂ 3.5 ක් පමණ හාල් බවට පත් කර සතොස සමඟ සමුපකාර අලෙවිහල් සඳහා පාලන මිලට විකිණීමට ලබාදෙන බව වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසන්නීය.

මේ අතර මේ පිළිබඳ අදහස් දක්වන ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසන්නේ මේ දිනවල ඇති හාල් හිඟයට හා හාල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව මහ මෝල් හිමියන් හා වෙළෙඳ අමාත්‍යාංශයේ ඇතැම් බලධාරීන් නිලධාරීන් එක්ව සිදුකරන හාල් මාෆියාවක් නිසා බවයි.

“මේ වසරේදී 2005 ට පසු වැඩිම වී අස්වැන්න අපට ලැබුණා. ඒ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5037000 යි. ඉන් අපේ රටේ ජනතාවට ලැබෙන හාල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 36 යි. අපේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 25කි. අවශ්‍යතාවටත් වඩා වී අස්වැන්නක් ලැබී තිබියදීත් මේ රටේ සහල් හිඟයක් පැවැතීමට ප්‍රධාන හේතුව මහ මෝල් හිමියන් ඒ ලැබුණු වී ප්‍රමාණය ගබඩාකර තබා ගැනීමයි.

මෙයට ප්‍රධාන විසඳුම මෙරට වී අස්වැන්නෙන් යම් ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය හා රජය විසින් මිලදී ගෙන පාලන මිලට වෙළෙඳ පොළට දැමීමයි. ඒවා සතොස මගින් හා සමුපකාර මගින් අලෙවියට කටයුතු සැලසිය යුතුයි. එමෙන් ම මධ්‍යම හා කුඩා හාල් මෝල් හිමියන්ට සහනාධාර ලබාදී ඔවුන් සක්‍රීය කර සහල් නිෂ්පාදනයට ඔවුන් වැඩිදුරටත් යොමු කිරීමට රජය කටයුතු කළ යුතුයි. ඒ සමඟම මහ මෝල් හිමියන්ගේ ඒකාධිකාරය අවම කළ යුතු අතර ඔවුන් සිදු කරන කටයුතු පිළිබඳව වෙළෙඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ විසින් නියාමනයක් සිදු කළ යුතුයි.

Comments