වැලි ජාවාරමට එරෙහිව දිවි දුන් පොලිස් රාලහාමි | සිළුමිණ

වැලි ජාවාරමට එරෙහිව දිවි දුන් පොලිස් රාලහාමි

රත්නායක පොලිස් විශේෂ බළකායේ සිටියදී

යඹ පළාතෙන් ගලා බසින මෙරට ප්‍රධානතම ගංගාවක් වන දැදුරුඔය ආශ්‍රිතව කලක සිටම විශාල ලෙස පරිසර විනාශයක් සිදුවන්නෙ වැලි ජාවාරම නිසාවෙනි. මෙකී වැලි ජාවාරමට එරෙහි පරිසර සංවිධානද බොහෝ අවස්ථාවල අධිකරණයටද ගියේය.

ඒ අනුව 2006 වසරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැදුරුඔය ආශ්‍රිතව සිදුවන වැලි කැණීම් ජාවාරම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කෙරිණි.

එම නියෝගය අනුව දැදුරුඔය ගලා බසින පොලිස් බලප්‍රදේශවලින් බොහෝ සෙයින්ම වැලි ජාවාරම සිදුවන නිකවැරටිය, රස්නායකපුර සහ කොබෙයිගනේ පොලිස් බලප්‍රදේශවල මේ වන විට වැලි ජාවාරම සියයට 90කට වඩා නතර වී ඇති බව පොලිසියේ සඳහනයි.

එහෙත් දැදුරු ඔයෙහි කිලෝමීටර් 28ක ප්‍රමාණයක් අයත් කොබෙයිගනේ ප්‍රදේශයේ පන්සල මංකඩ තොටුපළෙහි දිගින් දිගටම එක්තරා ජාවාරම්කාර පිරිසක් විසින් ජාවාරම සිදුකරගෙන ගොස් තිබේ. ඊට කොබෙයිගනේ පොලිසියෙන් නම් කිසිදු ගැලවීමක් තිබී නැත. එහෙත් ජාවාරම්කාරයන්ගේ ජාලයක් ක්‍රියාත්මක වීමත් අදිසි හස්ත නිසාත් පොලිසියටද නීතිය ක්‍රියාත්මක කිරීම පහසු නොවන බවයි. 

පසුගිය 28 වැනිදා පෙරවරුවේ කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. එම්. ඒ. ඩී. බී. ජයතිලකට තොරතුරුකරුවකුගෙන් හෝඩුවාවක් ලැබී තිබුණේ, "සර්... පන්සල මංකඩ තොටුපොළේ වැලි ගොඩ දානවා... අද රෑට වැලි අදින්න සැලැසුම් කරලා තියෙන්නෙ" කියායි.

ලැබුණ තොරතුර අනුව පොලිස් පරීක්ෂකවරයා විසින් උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ ප්‍රමුඛ නිලධාරින් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා එකී ජාවාරම වැටලීමට මෙහෙයුමක් සැලැසුම් කෙරිණි. ඒ අනුව මුලින්ම එදින සවස් යාමයේ ඒ පිළිබඳව සොයා බැලීමට නිලධාරින් දෙදෙනෙක් යෙදවිණි. ඒ, බුද්ධි නිලධාරින් වන සාජන් නිහාල් සහ නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශයට අනුයුක්තව කොබෙයිගනේ පොලිසියෙහි සේවයේ නිරතව සිටි කොස්තාපල් රත්නායක යන දෙදෙනායි. ඔවුන් සොයා බැලීමට ගොස් තිබුණේද ඉතාම සූක්ෂ්ම ආකාරයෙන් මාර්ග කීපයක්ම මඟ හරිමිනි. ඒ, පොලිස් වැටලීම් පිළිබඳව ජාවාරම්කාරයන්ගේ කනටද ක්ෂණිකවම තොරතුරු යන හෙයිනි.

එදින රාත්‍රි අට පමණ වන තෙක් අදාළ පන්සල මංකඩ ආසන්නයේ රැකවල්ලා සිටි නිලධාරින් දෙදෙනාට ජාවාරම්කරුවන් වැලි ගොඩ දෑමට සූදානම් වන ආකාරය නිරීක්ෂණය විණි. අනතුරුව ඒ පිළිබඳව නිලධාරින් දෙදෙනා විසින් වැටලීම මෙහෙයවූ උපපොලිස් පරීක්ෂක රාජපක්ෂ දැනුවත් කෙරිණි. නිල ඇඳුම්ලා ගිනිඅවිද අතැතිව උපපොලිස් පරීක්ෂකවරයා සමඟ තවත් නිලධාරීහු දෙදෙනෙක් වැලි ජාවාරම සිදුවන පන්සල මංකඩට මීටර් 500ක් පමණ දුරින් වූ හාතලව ප්‍රදේශයට යතුරුපැදිවලින් පැමිණියහ. ඒ රාත්‍රී 9ට පමණය. බුද්ධි නිලධාරින් දෙදෙනාද උපපොලිස් පරීක්ෂකවරයා ඇතුළු තිදෙනාට එක් වූහ.

නැවතත් බුද්ධි නිලධාරින් දෙදෙනා ගිනිඅවි අතැති නිල ඇඳුම්ලා සිටි විජේරත්න කැටුව වැලි ජාවාරම සිදුවන ස්ථානය ආසන්නයටම ගියේය. කෙසේ හෝ පොලිසිය වටලා ඇති බව ජාවාරම්කරුවන්ට ඒත්තු ගොස් තිබේ.

නිල් පැහැති 43 - 9500 දරන ටිපර් රථයට වැලි පටවමින් සිටි ජාවාරමේ ප්‍රධානියා බවට සැක කෙරෙන මහේෂ් නමැත්තා රථය රැගෙන පලා යාමට වැලි තොටුපොළේ සිට පටු අතුරු මාර්ගයේ වේගයෙන් ඇදිණි.

ඒත් එක්කම විදුලි පන්දමක්ද අතැතිව සිටි විජේරත්න නිලධාරියා සහ සාජන් නිහාල් රථය ඇදෙන මාර්ගයේ වම් පස සිට සංඥා කළේ වැලි පිරවූ ටිපර් රථය නතර කරන ලෙසටයි. පොලිස් කොස්තාපල් රත්නායක සිටියේ දකුණුපසින් තනිවමයි. වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නව තිබිණි.

පොලිස් අණ නොතැකු ජාවාරම්කාර රථයේ රියැදුරා වූ මහේෂ් දකුණුපස සිටි රත්නායකද යට කරගෙනම පලා ගියේ අබලන් මාර්ගයේ විදුලි වේගයෙනි. පාරේ වූ පටු බවත් අසලම වූ වැටත් නිසාවෙන් රත්නායක පාරෙන් ඉවතට පැන ගැනීමට නොහැකි වී තිබේ.

අනතුරුව සෙසු නිලධාරින් විසින් රථයට යටවූ රත්නායක එසැණින් පොලිස් ජංගම ජීප් රථය ගෙන්වා නිකවැරටිය රෝහලට ගෙන ගියත් ඔහු ඒ වන විට අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගොස් සිටියේය.

සිදුවූ අනතුර පිළිබඳව සැණින් කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමත් සමඟ පලා ගිය රථය සොයා නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහගේ ඍජු අධීක්ෂණයෙන් විමර්ශන

ඇරැඹිණි.

පොලිස් දෙපාර්තමේන්තුවට ඉමහත් සේවයක් සිදුකළ පොලිස් කොස්තාපල් (76013) නදීප් ආකාෂ් රත්නායක නිලධාරියා ඉතාම අමානුෂික ලෙස ඝාතනයකොට පලා ගිය ලොරි රථය පසුදා එනම් 29 වැනිදා පෙරවරු 11ට පමණ කුලියාපිටිය පොලිස් වසමේ කබලෑව දේවාලය අසල මාර්ගයේ දමා ගොස් තිබියදී පොලිස් නිලධාරින් විසින් සොයා ගැනිණි.

ඊට මඳ වේලාවකට පසුව සැකකරු 27 හැවිරිදි මහේෂ් මධුෂංඛ නමැති රථයේ රියැදුරාද නීතිඥයකු මාර්ගයෙන් බාරවීමට පැමිණෙන බවට නිකවැරටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලලට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගැනිණි.

කොස්තාපල් රත්නායක අවාසනාවන්ත ඉරණමට ලක්වූ හාතලව ප්‍රදේශයට ආසන්න පට්ටියදලුවෙහි අයෙක් වන සැකකරු මීට පෙරද වැලි ජාවාරමේ නිරත වීම නිසා අවස්ථා කීපයකදීම පොලිසියට කොටුවූ අයෙකි. එලෙස සැකකරු පසුගිය ඔක්තෝබර් 04 වැනිදාද වැලි ජාවාරමේ නිරත වෙමින් සිටියදී ටිපර් රථයක් සමඟ පොලිසියට කොටුවී තිබිණි. එදින එම වැටලීමද සිදුකර තිබුණේ කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති ජයතිලක සහ ඝාතනය වූ රත්නායක නිලධාරියා විසිනි. එදින අත්අඩංගුවට පත් රථයද තවම කොබෙයිගනේ පොලිස් බාරයේ තිබේ.

මෙදින රත්නායක ඝාතනය කළ ටිපර් රථය සැකකාර මහේෂ්ගේ සහෝදරයාගේ බිරියගේ පියාට අයත් බවට සැලවේ. එම සහෝදරයාද පොලිස් නිලධාරියෙකි. ඔහු ඊට ආසන්න බිංගිරිය පොලිසියේ සේවය කරන බවත් රථය හිමිකරුවා හොරණ ප්‍රදේශයේ වෙසෙන අයෙක් බවත්ය.

තවත් බොහෝ කාලයක් රටට, ජාතියට ඉමහත් සේවයක් කිරීමට සිටි නදීප් ආකාෂ් රත්නායක පොලිස් නිලධාරියා මාතර, රොටුඹ ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක උපන් අයෙකි. වැඩිමහල් සහෝදරයෙක් සහ නැඟණියන් දෙදෙනෙකු සිටින රත්නායකගේ පියා ඔහුට වයස අවුරුදු 16දී පමණ මෙලොව හැර ගොසිනි. රස්නායකපුර ප්‍රදේශයේම කාන්තාවක් වන සුරේනි චතුරංගිකා සමඟ විවාහ වූ රත්නායක බිරියගේ ග්‍රාමය වූ අඹගම්මන ප්‍රදේශයේ මිය යන විට පදිංචිව සිටියේය. දහ හැවිරිදි සහ හත් හැවිරිදි පුතුන් දෙදෙනෙකුගේ පියෙක් වන ඔහු 2008 වසරේදී පොලිස් සේවයට එක්ව තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයකු ලෙසිනි. පසුව 2017 වසරේදී සාමාන්‍ය පොලිස් සේවයට එක්ව ඔහු රාජකාරි අරඹා තිබුණේද මියයන විට රාජකාරියෙහි නිරතව සිටි ‍කොබෙයිගනේ පොලිසියෙන්මය. ඒ අතරතුර කාලයේදී ඔහුගේ රාජකාරි දස්කම් නිසාවෙන් නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් රත්නායක නිකවැරටිය ‍කොට්ඨාස බුද්ධි ඒකකයටද අනුයුක්ත කෙරිණි. එහෙත් ඔහුගේ රාජකාරි ස්ථානය කොබෙයිගනේ පොලිසියම විය. රත්නායක 2017 කොබෙයිගනේ පොලිසියට පැමිණිදා සිට මියයනතෙක්ම ඔහුගේ ප්‍රධානියාව සිටි කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයතිලක, රාජකාරියට ඉමහත් සේ කැපවුණු සිය නිලධාරියා පිළිබඳව අපට කීවේ,

"රත්නායක කියන්නෙ මට හිටිය හොඳම සහ විශ්වාසවන්තම නිලධාරියෙක්... 2017 සිටම මාත් සමඟ වැලි ජාවාරම් වැඩිම ප්‍රමාණයක් වැටලීමට එක්වූ නිලධාරියා රත්නායක. ඊට අමතරව පසුගිය අප්‍රේල් මාසයේ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීමට වගේම නෙවි රුවන් නමැත්තා අත්අඩංගුවට ගැනීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ නිලධාරියා. මේ සැකකරුට එරෙහිව අපි කීප වතාවක්ම නීතිය දැඩිව ක්‍රියාත්මක කළා. ඒකයි ඔහු මෙවැනි දෙයක් කළේ..."

මියගිය කොස්තාපල් රත්නායක පොලිස්පතිවරයා විසින් සැරයන් තනතුරටද උසස් කෙරිණි. පසුගිය අඟහරුවාදා මළහිරු බැස යන සන්ධ්‍යාවේ අඹගම්මන ප්‍රදේශයේදී පූර්ණ පොලිස් උත්තමාචාර මැද සැරයන් රත්නායකගේ අවසන් කටයුතු සිදුවූ මොහොත ඉතාම සංවේදී වූයේ බලා සිටියවුන්ටද නිතැතින්ම දෑසට කඳුළක් එක්කරමිනි. ඔහුගේ හත් හැවිරිදි කුඩා පුතණුවන් "තාත්තා මට බයිසිකලයක් අරන් එනවයි කියා ගෙදරින් ගියේ..." කියමින් හඬා වැටුණු ආකාරය වාවාගත නොහැකි වූ දසුනකි.

දැදුරුඔයේ කලෙක සිටම සිදුවන වැලි ජාවාරමේ ඛේදවාචකය නිසා මීට පෙරද පොලිස් නිලධාරියෙක් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නේය. ඒ 2006 මාර්තු 30 වැනිදායි. එදා වැලි ජාවාරමක් වැටලීමට ගිය එවකට රස්නායකපුර අපරාධ අංශ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ප්‍රදීප් කරුණාධීර ජාවාරම්කාරයන් 20 දෙනෙකුගේ මරාන්තික පහරකෑමකට ලක්වූයේය. එම පහරදීමෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු ප්‍රදීප්ගේ දකුණු ඇස සම්පූර්ණයෙන්ම පෙනීම නැති වූ අතර දත් 11ක් කැඩිණි. ඊට අමතරව ඔහුට තවත් බොහෝ ආබාධ මේ වන විට තිබෙන බවකි. වසර 14ක් පුරා ඇදුණු ඔහුගේ නඩු විභාගයෙන් පසුව සැකකරුවන්ට නියෝග කෙරුණේ ප්‍රදීප් හට එක්කෝටි විසිපන් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටයි. එය පොලිස් ඉතිහාසයේ වැටලීමකදී වූ අනතුරක් නිසාවෙන් පොලිස් නිලධාරියකුට නියම වූ ගෙවන්නට නියම වූ ඉහළම වන්දි මුදල ලෙසද සැලැකේ.

අධිකරණවලින් කුමන නියෝග නිකුත්කොට තිබුණද ජාවාරම්කාරයන් විසින් බලපුළුවන්කාරයන්, දේශපාලනඥයන් ඇතුළු අදිසි හස්ත ඔස්සේ සිදුකරන මෙකී මහත් ව්‍යසනය දැදුරුඔයෙන් පමණක් නොව රටෙන්ම තුරන් කිරීමට එක්විය යුතු කාලය මේ වන විට පැමිණ ඇති බව මෙවැනි අපරාධවලින් ගම්‍ය වන පරම සත්‍යයයි.

Comments