ලත් තැනම ලොප් වුණු කොවිඩ් භූමදාන ඉල්ලීම | සිළුමිණ

ලත් තැනම ලොප් වුණු කොවිඩ් භූමදාන ඉල්ලීම

කොරෝනා මෘතදේහ භූමදාන ඉල්ලීම් 12ක් විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය  ඉවත දමයි

කොරෝනා හෙවත් කොවිඩ් 19 රෝගයෙන් මිය යන පුද්ගලයන් හැකි ඉක්මනින් පරිසරයට නිරාවරණය නොවන සේ ආදාහනය කළ යුතු බවට කොවිඩ් 19 වසංගතය නිවාරණය පිණිස අන්තර්ජාතික සම්මත ක්‍රමවේදයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇත.

එසේ වුවත් පාරිසරික භූගෝලීය සාධක පදනම් කරගනිමින් රටවල් කිහිපයක ආගමික චාරිත්‍රානුකූලව භූමදාන කටයුතු කරන්නට ඉඩ ලබා දී ඇත. එය හුදෙක්ම එම රටේ භූගෝලීය පිහිටීම මත වයිරසය කිසිසේත්ම ව්‍යාප්ත නොවන බවට රටේ වසංගත විශේෂඥයන්ගේ වෛද්‍ය මතය අනුවම සිදු කළ යුතු බවට නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකාව වර්ග සැතපුම් 25, 332ක කුඩා භූමි ප්‍රමාණයෙන් යුක්ත රටකි. ඕස්ට්‍රේලියානු මහාද්වීපයටත් වඩා ජන පිරිසක් එහි දිවි ගෙවති. රටේ ජන ඝනත්වය ඉතා ඉහළය. විශේෂයෙන්ම කොළඹ, මහනුවර වැනි නාගරික ප්‍රදේශවල අඩියෙන් අඩියට නිවාස පේළි ඉඳිකර ඇත.

එම නිසා ශ්‍රී ලංකාවේද කොවිඩ් 19 ආසාදිත සියලු රෝගීන් ආදාහනය කළ යුතු බව මෙරට වසංගත රෝග විශේෂඥයන්ගේ මතය විය. ආරම්භයේ දී ඒ ගැන කිසිදු ගැටලුවක් තිබුණේ නැත. එහෙත් දෙවන කොවිඩ් රැල්ල මතුවීමත් සමඟ මුස්ලිම් සමාජයේ සංවිධාන හා දේශපාලඥයන් කිහිප දෙනකු එකතු වී කොවිඩ් 19 රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානය කළ යුතු බවට මතයක් ඉදිරිපත් කරන ලදී.

ඒ මතය වරක් සමාජ මාධ්‍ය ජාලා හරහා තවුහිද් ජමාද් සංවිධානය සමාජ ගත කෙළේ සිරුරු භූමදානයට අවසර ලබා දුන් බවට ප්‍රකාශ කරමිනි. එසේ අසත්‍ය ප්‍රචාර කිරීම සම්බන්ධයෙන් මේ වන විට කිහිප දෙනෙක්ම රිමාන්ඩ් බන්ධනාගාරයේය.

එයින් මේ අනිසි කතාව නැවතුණේ නැත. පෙර කී දේශපාලඥයන් හා සංවිධාන එකතුව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන්නට විය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ්, අමීර් අලි, ඒ.එම්. මහරූප්, හුසේන් බහිලා ඇතුළු පිරිසක් මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.

සෞඛ්‍ය ඇමැතිතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලදී.

පෙත්සම්කරුවන් පවසා සිටියේ 2020 අප්‍රේල් මස 11 වැනිදා කොවිඩ් 19 ආසාදිත රෝගීන් මිය යාමෙන් පසු ආදාහනය කළ යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති විශේෂ ගැසට් පත්‍රය බලරහිත කරන ලෙසයි. සිරුරු ආදාහනය කළ යුතු බවට එම ගැසට් පත්‍රයේ 61/A වගන්තියේ සඳහන් වුවත් එය බල රහිත කරන ලෙස ඉල්ලීම මූලික අයිතිවාසිකමක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම මළ සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකි බව ද පෙත්සම්කරුවෝ කියා සිටියහ.

ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩ දී තිබිය දී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතුම බවට රෙගුලාසි පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවෝ කියා සිටියහ.

ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව මිහිදන් කළ යුතු බවත් ඊට පටහැනිව යමින් මියගිය අයගේ සිරුරු ආදාහනය කරන බව ද එය ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව ද පෙත්සම්කරුවෝ කියා සිටියහ. එම නිසා මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඔවුන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර භූමදානය කිරීමෙන් පසුව එම මෘත ශරීරවලින් වයිරසය ව්‍යාප්ත වීමක් සිදු වන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය කරගෙන නොමැති බවයි. ලෝකයේ රටවල් රැසක කොවිඩ් ආසාදිත මෘත ශරීර භුමදානය කිරීමට අවසර දී ඇතැයි පෙන්වා දුන් එම නීතිඥවරු ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එම මළ සිරුරු භූමදානය කිරීමට අනුමැතිය ලබා දී තිබෙන බව ද සඳහන් කළහ.

එම පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, සාලිය පීරිස්, විරාන් කොරයා යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිවේදීන් විසින් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරන ලදී. පෙර පෙත්සම්ද සමඟ මේ වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ඉදිරිපත් කරන ලදී.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලීම සිදු කෙරිණි.

මෙහි දී අතරමැදි පාර්ශ්වයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනයන් පවසා සිටියේ ආසාදිත දේහයන්ගෙන් වයිරසය සමාජ ගතවීමට ඉඩ ඇති බවට සෞඛ්‍ය අංශ පැහැදිලිව පෙන්වා දී ඇති බැවින් මේ තීරණය ගෙන ඇති බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටල් ජනරාල් නෙරින් පුල්ලේ පෙන්වා දුන්නේ සෞඛ්‍ය අංශ විසින් මේ තීරණය ගෙන ඇත්තේ සිරුරු භූමදානය හරහා සමාජයට වයිරසය පැතිරගොස් එය ව්‍යාප්තවීම වැළැක්වීමට බවයි.

මේ පිළිබඳව දීර්ඝ ලෙසින් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ම විභාගයට ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 01 වැනිදා තීරණය කරන ලදී. ඒ සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් වූ මූලික කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලේ සියලු විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් පෙත්සම් සියල්ලම ප්‍රතික්ෂේප කිරීම විශේෂිතය.

කොරෝනා හෙවත් කොවිඩ් 19 රෝගය වැලඳීමෙන් පසු කළ යුතු අවසන් කටයුතු ගැන තීරණය කළ යුත්තේ සෞඛ්‍ය අංශ මිස ආගමික නායකයන් හෝ දේශපාලඥයන් නොවේ. මුස්ලිම් ජාතිකයෙන් මියගියහොත් පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කරන්නේ සිරුර කපා පරීක්ෂණවලින් තොරවය. ඒ ඔවුන්ගේ ආගමික සිද්ධාන්තයකි. එහෙත් හදිසි අනතුරකට හෝ ඝාතනයට පත්වන අයෙකුගේ සිරුරක් එසේ කළ නොහැකිය. ඒ රටේ සමස්ත නීති පද්ධතියට අනුව කටයුතු කළ යුතු නිසාය. ඊට විරුද්ධ වීමට කිසිවකුට හෝ අයිතියක් නොමැත. එසේම කොවිඩ් ආසාදිත සිරුරු ආදාහනය කිරීමට තව දුරටත් කටයුතු කෙරේ. එය රටේම නොව ලෝකයේම නීතියයි.

කොවිඩ් 19 වයිරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වයිරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින්ගේ මතය වී තිබේ.

මෙම වයිරසය ජලයේ ඇති බවට ලොව පුරා සිදුකළ පරීක්ෂණවලදි දැනටමත් තහවුරු වී ඇත. කොවිඩ් 19 වයිරසය ආසාදිත පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳ ශ්‍රී ලංකාව තුළ දී ද, විශේෂ සොයා බැලීමක් සිදුකරන ලදී. එහි සාමාජිකාවක් ලෙස කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසන්නේ සෙසු රටවල තත්ත්වය හා ශ්‍රී ලංකාවේ තත්ත්වය වෙනස් බැවින් වෙනත් රටක් අනුගමනය කරන ක්‍රමවේද මෙරට තුළ එලෙසින්ම ක්‍රියාත්මක කළ නොහැකි බවයි. ඇය පෙන්වා දෙන්නේ මෙරට භූගත ජලය පොළව මට්ටමේ සිට ඉතා සීමිත ගැඹුරකින් පවතින නිසා වයිරසය පහසුවෙන් ව්‍යාප්ත විය හැකි බවයි.

මෙරට අර්ධ නාගරික හා ග්‍රාමීය ජනතාව බහුල වශයෙන් ළිං ජලය පානීය ජලය ලෙස යොදා ගන්නා පසුබිමක කොවිඩ් 19 මළ සිරුරු භූමදානය ඉතාම අවදානම් තත්ත්වයක පවතින බව ද ඇය පෙන්වා දෙයි.

කොරෝනා වයිරසය ආසාදිත මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරය ආශ්‍රිතව පැය 14 කට පසුව කළ පශ්චාත් මරණ පරීක්ෂණයක දී ද මෘත ශරීරයේ තිබී ඇතැයි ද ඇය පවසන්නීය.

මෙහි දී අපට තවත් කරුණක් අන්තර්ජාතික ලෙසින් ගෙන හැර දැක්විය හැකිය.

බෝවන රෝග පිළිබඳ අන්තර් ජාතික සමාජ වෙබ් අඩවියට (https://isid.org) ‘මිනිස් මෘතදේහවලින් රෝග බෝවීමේ අවදානම’ ශීර්ෂයෙන්, වෛද්‍ය පීටර් එන්. හොෆ්මාන් සහ වෛද්‍ය ටී.ඩී. හීලින් විසින් 2018 වසරේ වසංගත රෝග සම්බන්ධව ලිපියක් සපයමින් දක්වා තිබුණේ ‘‘මළසිරුරක පටක, රෝග බෝකිරීමේ අවදානමෙන් යුතුවිය හැකිය.” යන්නයි. එයින් ඉතා පැහැදිලි වන්නේ මළසිරුරු නිසා රෝග බෝවීමේ ඉඩකඩ පවතින බවයි. 2018 වසරේ ඔවුන් මේ අවදානම ලබා දෙන විට කොවිඩ්-19 රෝගය ලෝකයේ පැතිර තිබුණේ නැත. එහෙත් මෙවන් යුගයක ඔවුන්ගේ ඒ දැනුවත්කිරීම අත්‍යවශ්‍යම වන්නේය.

අප කටයුතු කළ යුතු වන්නේ හුදෙක් ආගම හෝ ජාතිය මුල් කරගෙන නොවේ. රටක ආරක්ෂාව මහජන ආරක්ෂාවට මුල් තැනක් ලබා දෙමිනි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා සිටියේ කොවිඩ් ආසාදිතව මිය යන්නන්ගේ සිරුරු භූමදානය කළ හැකිද යන්න පිළිබඳව තාක්ෂණ කමිටුවේ අවසන් තීරණය ලැබෙන තුරු සියලුම සිරුරු ආදාහනය කරන බවයි.

Comments