රටම කලඹමින් හැල්මේ දුවන කොරෝනා | Page 2 | සිළුමිණ

රටම කලඹමින් හැල්මේ දුවන කොරෝනා

කුත් සතිය ආරම්භ වූයේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හුදෙකලා කර තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් පහක් හුදෙකලා තත්ත්වයෙන් නිදහස් කරමිනි. එහෙත් කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පු වීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත,මාලිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් බල ප්‍රදේශත් කොම්පඤ්ඤ වීදියට අයත් වෑකන්ද සහ බොරැල්ලට අයත් වනාතමුල්ල යන ග්‍රාම සේවා වසම් තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතී. සතිය ආරම්භයේදී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 23,484ක් වූ අතර ඉන් 17,002ක් සුවය ලබා තිබිණ. ඒ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි සංඛ්‍යාව 6,366ක් විය. මෙරට දෙවැනි කොවිඩ් රැල්ලේ ව්‍යාප්තිය සිදුවූ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඉකුත් 30 වැනිදා වන විට 19,946ක් වූ අතර ඒ වන විට මෙරටින් වාර්තා ගත කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් විය.

මහර බන්ධනාගාරයේ පසුගිය ඉරිදා ඇති වූ වෙඩිතැබීමේ සිද්ධියෙන් බරපතළ තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුළත් කළ රැඳවියන් 61දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය. මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් එම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවී තිබිණ.

30 වැනිදා පස්වරුව වන විට තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වීමත් සමඟ මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ ගියේය. ගලහ ප්‍රදේශයේ පදිංචි සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ අටුලුගම ප්‍රදේශයේ පදිංචි සිටි 81 හැවිරිදි කාන්තාවක් එසේ මිය ගොස් තිබිණ.

දෙසැම්බර් මස 1 වැනිදා උදෑසන වන විට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 23,987ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර මෙරට දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූ දිවුලපිටිය ප්‍රදේශයෙන් එදින තවත් ආසාදිතයන් 35 දෙනකු වාර්තා වූයේ පසුගිය 28 වැනිදා එම ප්‍රදේශයේ පුද්ගලයන් 202 දෙනකු අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුවය. දිවුලපිටිය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන්, වෙළෙඳසැල් හිමිකරුවන්, ඇඟලුම් සේවකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබේ. කොවිඩ් 19 දෙවන රැල්ල ආරම්භය සටහන් වූ පසුගිය ඔක්තෝබර් 3 වැනි දා සිට දිවුලපිටිය ප්‍රදේශයෙන් එකවර වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව එය විය.

කොවිඩ් හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ බහාලීම සඳහා මිනීපෙට්ටි ලබාදීම ඇතැම් පීරිස් ප්‍රතික්ෂේප කරන බවත් එවැනි මළ සිරුරු පහක් ඒ වන විටත් රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල එක් රැස්ව ඇති බවත් වාර්තා විය. එම තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමෙන් අනතුරුව එවැනි මළ සිරුරු වහාම සෞඛ්‍ය හා නීති උපදෙස්වලට අනුකූලව රජයේ වියදමින් ආදාහනය කිරීමටත් ඒ සඳහා වැයවන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදීමටත් උපදෙස් ලබා දුන්නේය.

කොවිඩ් ආසාදිතයන් කඩිනමින් හඳුනාගැනීම සඳහා යොදා ගැනෙන 'ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ' පුද්ගලික අංශයේ ආයතන සඳහා සිදුකිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමද පසුගිය 1 වැනිදා සිදු විය. ඒ අනුව, පුද්ගලික අංශයේ ආයතනවල ඉල්ලීම පරිදි, පෞද්ගලික අංශයේ රෝහල්වලට ද 'ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ ' එම මාර්ගෝපදේශ යටතේ සිදු කිරීමට අවසර හිමි වේ.

හුදෙකලා තත්ත්වයට පත්කර තිබෙන බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ 600 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහජනක සහ පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකළ අතර 350 දෙනෙකුගේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 40 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගනු ලැබුවේද පසුගිය 1 වැනිදාය. එදිනම මහනුවර බෝගම්බර ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 12 දක්වා ඉහළ ගියේය. ඒ හේතුවෙන් මහනුවර මහනගර සභාවට අයත් බෝගම්බර කලාප කාර්යාලය තාවකාලිකව වසා දැමිණි. බගවන්තලාව බොගවාන ලින්ස්ටඩ් වතුයායේ එකම පවුලේ පස්දෙනකු ඇතුළු හය දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් සියලු දෙනාම බම්බලපිටියේ සිට වතුකරයට පැමිණි මුල් ආසාදිතයකුගේ ආශ්‍රිතයන් බව හෙළි විය. මේ වන විට මහනුවර නගරයේ පාසල් 15ක් සහ අකුරන ප්‍රදේශයේ පාසල් 5ක් සතියක් යන තුරු වසාදැමීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

මේ අතර ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ එම කොට්ඨාසයෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගියේය.

දෙසැම්බර් 2 වැනිදා වන විට මිනුවන්ගොඩ- පෑලියගොඩ කොවිඩ් පොකුර 20,710ක් ලෙස වාර්තා වූයේ මෙරට සමස්ත ආසාදිතයන් ගණන 24,255 ක් දක්වා ඉහළ නංවමිනි. 

කළුතර දිස්ත්‍රික්කයෙන් පසුගිය 2 වැනිදා වන විට හඳුනා ගෙන තිබූ ආසාදිතයන් 130 දෙනා අතුරින් 96 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ හුදෙකලා තත්ත්වයේ පවතින අටුලුගම ප්‍රදේශයෙනි. අටුලුගම ප්‍රදේශයේ 425 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට යොමු කිරීමෙන් ඉන් 96 දෙනෙකුම ආසාදිතයන් බව තහවුරු වී තිබිණ. මේ අතර අටුලුගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයකු රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ පැමිණි අවස්ථාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයා සෞඛ්‍ය අංශ වෙත කෙළ ගසමින් රෝහල්ගත කිරීම ප්‍රතික්ශේප කළ බව වාර්තා විය. වැලිපැන්න පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ වැලිපැන්න පොලිස් ස්ථානයේ සහ මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත පොලිස් නිලධාරින් 56 දෙනකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබිණි.

පසුගිය 2 වැනිදා කොළොන්නාව තැපැල් කාර්යාලයේ සේවකයන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟ කොළොන්නාව තැපැල් කාර්යාලය සහ ඒ අවට උප තැපැල් කාර්යාල 6ක් වසා දැමිණ.

මේ අතර කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සිවිල් වැසියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

කෝවිඩ් තුරන් කිරීම ඉලක්ක කරගත් විද්‍යාත්මක ප්‍රවේශයකින් නව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම, අයවැයෙන් සෞඛ්‍යට වෙන්කරන ප්‍රතිපාදන වැඩි කිරීම, සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කෝවිඩ් අනතුරු දීමනාවක් ලබාදීම,කෝවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා කැප වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් පහසුකම් ලබාදීම ඇතුළු ඉල්ලීම කිහිපයක් මුල් කරගනිමින් එදින දහවල් මාතලේ දිස්ත්‍රික් මහා රෝහල් පරිශ්‍රය ඉදිරිපිට පැයක පමණ කාලයක් විරෝධතාවක් පැවැත් වූහ. එම විරෝධතාවට සෞඛ්‍ය ශ්‍රේණි භේදයකින් තොරව වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලයද සහභාගිවීම විශේෂත්වයකි.

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට පසුගිය 3 වැනිදා දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු කොවිඩ් ආසාදිතයන් ගණන 10,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 4 වන දින සිට කොළඹින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 10,140කි.

මෙරට බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියන් 28,541 දෙනාගෙන් අතරින් 11,500 දෙනෙකුගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති බව අධිකරණ අමාත්‍ය අලී සබ්රි ඉකුත් 3 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ අතර කොවිඩ් 19 වයිසරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ 5ක් එදින වාර්තා විය.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගියේය. කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත. ඉන් දෙදෙනකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර එක අයෙක් නිවසේදී මරණයට පත්ව ඇති බව වාර්තා විය.

පසුගිය 2 වැනිදා සෞඛ්‍ය සේවකයන් පිරිසකට අටුලුගමදී කෙළ ගැසූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 17වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පසුගිය 4 වැනිදාය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීති යටතේ සහ රාජ්‍ය නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීම යන කරුණු යටතේ සැකකරුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පියවර ගත් බවය.

අටලුගම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහයෝගය දක්වා ඔවුන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට කටයුතු නොකරන්නේ නම් කාලයක් හුදෙකලා කිරීමකට ලක්විය හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ඉකුත් 4 වැනිදාය. අත්තනෝමතික ලෙස ජීවත්වන පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් සමස්ත කළුතර දිස්ත්‍රික්කයටම තර්ජනයක් ඇති කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවද යුද හමුදාපතිවරයා එහිදී පැවසීය.

කොවිඩ් -19 වයිසරස ආසාදිත රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් 4 වැනිදා උදෑසන 6.15 ට පමණ වැලිකන්ද ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත.

මඩකලපුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, අසේලපුර 104වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී එම අනතුර සිදුව තිබෙන අතර සිද්ධියෙන් බස් රථ දෙකෙහි රියදුරන් බරපතළ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

යුද හමුදා බස් රථය කොළඹ, හොරණ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයන් රැගෙන වැලිකන්ද පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යමින් තිබියදී අනතුර සිදුවී ඇත. අනතුරින් යුද හමුදා බස් රථයේ සිටි කොවිඩ් රෝගීන්ට හෝ පෞද්ගලික බස් රථයේ සිටි මගීන්ට තුවාල සිදු වී නොමැති බවද වාර්තා විය.

ඡායාරූප - සරත් එරමිනිගම්මන(දඹුල්ල)

Comments