බුරන්නේම නැතිව ‘බුරවි’ පලා යයි | සිළුමිණ

බුරන්නේම නැතිව ‘බුරවි’ පලා යයි

- බුරවිට අවශ්‍ය උෂ්ණත්වය නොලැබුණු නිසා බුරවි සක්‍රිය වුණේ නෑ..
- 70,155 දෙනා පීඩාවට පත්වෙති... නිවාස 3,119ක් විනාශයි...
- සැප්තැම්බර් 13 සිළුමිණ මගින් අපි අනතුරු ඇඟෙව්වා...
- ‘බුරවි’ නම දැම්මේ මාලදිවයිනෙන්...
- ‘බුරවි’ ට මුහුණ දීමට රජය සිදු කළ පෙර සූදානම නිසා හානි අවම වුණා...

සර 20 කට පසු ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුව ලෙස හැඳින්විය හැකි ‘බුරවි’ සුළි කුණාටුව අපේ රටට ලොකු කරදරයක් නැතිව පුනරීන් හා මන්නාරම අසලින් පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ අරාබි මුහුදට ගමන් කළේ ය. දෙසැම්බර් 2 වැනිදා පස්වරු 10.30 – 11.30 අතර දී නැගෙනහිර තිරියාය හා කුච්චවේලි අතරින් රට ඇතුළට ආ මේ ‘බුරවි’ සුළි කුණාටුවේ සැර අඩුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ සුළි කුණාටුවට මහ මුහුද හරහා අවශ්‍ය උෂ්ණත්වය හා ජල වාෂ්ප ලැබෙන පරිදි වැඩි දුරක් ගමන් කිරීමට අවස්ථාවක් නොලැබීම නිසයි. 

ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ මහතා පවසන පරිදි සුළි කුණාටුවක් සුළි සුළඟක් බවට සක්‍රීය වීමට නම් ඒ සුළි කුණාටුව විශාල දුරක් දින කීපයක් රත්වූ මුහුද හරහා ගමන් කළ යුතුය. සාමාන්‍යයෙන් සුළි කුණාටුවක් සුළි සුළඟක් බවට හොඳින් සක්‍රීය වීමට එහි උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් 27 හා අධික ජල වාෂ්ප ප්‍රමාණයක් ඊට අන්තර්ගත විය යුතුය. නමුත් ‘බුරවි’ සුළි කුණාටුව මුහුද හරහා ගමන් කළේ සුළු දුරක් නිසා එය සුළි සුළඟක් වීමට අවශ්‍ය උෂ්ණත්වය හා ජල වාෂ්ප ප්‍රමාණය ඊට නොලැබිණි. ඒ අනුව අවශ්‍ය ‍ෙභෟතික තත්ත්ව සම්පූර්ණවීමට පෙර ‘බුරවි’ රට තුළට ගමන් කර ඇති බවත් අභයසිංහ මහතා පවසයි.

2000 සුළි සුළඟ ආරම්භ වී ඇත්තේ බෙංගාල බොක්කේ කෙළවරේ සිටයි. නමුත් බුරවි ඇරැඹුණේ බෙංගාල බොක්කේ මැද සිට. ඒ නිසා ‘බුරවි’ ට සුළි සුළඟක් ලෙස සක්‍රීය වීමට අවශ්‍ය උෂ්ණත්වය නොලැබුණ නිසා එහි තීව්‍රතාව හා බලය අඩු වුණා. 2000 සුළි සුළඟට අවශ්‍ය උෂ්ණත්වය ලැබුණු නිසා එහි තීව්‍රතාව වැඩි වුණා. සුළි සුළඟක තීව්‍රතාව මනින්නේ T කියන අගයෙන්. 2000 සුළි සුළඟ T5 ක අගයක් ගත්තත් ‘බුරවි’ හි T අගය 1.5 ක් බවයි දැනගන්නට තිබෙන්නේ. ඒ අනුව ‘බුරවි’ සුළි කුණාටුවට අපේ රටට ලොකු විනාශයක් කරන්න බැරි වුණා. එමෙන් ම රජය මේ සුළි කුණාටුව වෙනුවෙන් කළ පෙර සූදානමත් ඉතා හොඳින් තිබුණා. ඒ නිසා හානි අඩු වුණා” අභයසිංහ මහතා පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසන පරිදි මේ සුළි කුණාටුව පිළිබඳව පැය 36 කට පෙර සිටම එය බලපාන ප්‍රදේශය පිළිබඳව පෙර දැනුම්වත්වීම් සිදු කිරීම නිසා ජීවිත හානි ඉතා අවම වූ බව කියයි. ඒ සමඟම රජය ඊට මුහුණදීමට ඉතා පූර්ව සූදානම් ආපදා වැඩපිළිවෙළක් කලින්ම සකස් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරක්ෂක අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සූදානම් කටයුතු ඉතා හොඳින් ඉටු කළේ ය. ආරක්ෂක ලේකම්තුමා හා හමුදාපති ද මීට සහභාගි වූහ.

මේ පිළිබඳව රජයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කෘතඥතාව පළ කර ඇත.

අලුත්ම තොරතුරු අනුව ‘බුරවි’ නිසා අපේ රටේ දිස්ත්‍රික්ක 6 කට ප්‍රධාන ලෙස බලපෑම් එල්ල වී තිබේ. ත්‍රිකුණාමලය, යාපනය, මුලතිව්, වවුනියාව, මන්නාරම හා කිලිනොච්චි ඒ අතර වේ. බුරාවී සුළි කුණාටුව නිසා දෙදෙනෙක් මරුමුවට පත් වී පුද්ගලයන් 70155 පමණ පීඩාවට පත්වී ඇත. එයින් විනාශ වූ නිවාස ගණන 3119 ක් පමණි. හය දෙනකුට සුළු තුවාල සිදුවී ඇති අතර කිලිනොච්චියට මධ්‍යම ප්‍රමාණයේ ගංවතුරක් ඇතිවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ සුළි කුණාටුව නිසා වැඩිම වැස්ස ඇතිවූයේ කිලිනොච්චියටයි. ඒ ප්‍රමාණය මිලි මීටර් 296කි. චාවාකච්චේරියට මිලිමීටර් 260ක් ලැබුණු අතර මුලතිව් වලට මිලිමීටර් 224 ක වැස්සක් ලැබුණි. මුලතිව් හා කෝකිලායි මුල්ලියාවලෙයි ඇතුළු ප්‍රදේශවල නිවාස කිහිපයකට සුළු හානි සිදුවී ඇත. ධීවර යාත්‍රාවලට හා මුහුද අසල තිබූ නිවාසවලට ද තරමක හානි සිදුවිය.

මේ සුළි කුණාටුවේ තත්ත්වය අනුව හානි අඩු වුණත් අපේ රටට පසුගිය වසර 120 ඇතුළත සුළි සුළං සුළි කුණාටු 14 ක් ඇතිවී තිබේ.

ඒ අනුව 1906, 1907, 1908, 1912, 1913, 1919, 1922, 1931, 1964, 1966, 1967, 1978, 1992 දී හා වසර 2000 දී මේ සුළි සුළං ඇතිවී තිබේ,

මේ සුළි සුළඟ අතරින් 1978 සුළි සුළඟ 1992 සුළි සුළඟ හා 2000 සුළි සුළඟ ඉතා දරුණු වූ බව අපට මතකය. 

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ මහතා පවසන පරිදි මෙරට පසුගිය සියවසේදී ඇතිවී ඇති සුළි සුළං සුළි කුණාටුවල ද සියයට 99 ක් ම වාගේ ඇතිවී ඇත්තේ නොවැම්බර් දෙසැම්බර් මාසවලය. මේ පිළිබඳව මීට මාස දෙකකට පෙර සැප්තැම්බර් 13 සිළුමිණ පුවත්පත මගින් පෙන්වා දුන් අතර එම ලිපිය මගින් නොවැම්බර් දෙසැම්බර් මාසවල සුළි සුළඟක් ඒමට ඉඩ ඇති බවට ද අනතුරු අඟවා ති‍බිණි.

මේ අනුව අපේ රටට වැඩිපුර සුළි සුළං ඒමේ අවදානමක් ඇත්තේ වසරේ නොවැම්බර් දෙසැම්බර් මාසවලදීය‍. ඒ පිළිබඳව සිළුමිණ පුවත්පත මගින් කිහිප වරක්ම දැනුම්වත් කිරීම සිදු කළ බව කේ.ආර්. අභයසිංහ මහතා පවසයි.

පසුගිය වසර 120 තුළ අපේ රටට බලපෑ සුළි සුළං 14 අතරින් 1978 නොවැම්බර් 23 මඩකලපුව හරහා රටට ඇතුළු වූ සුළි සුළඟ සුවිශේෂී එකක් වේ. මඩකලපුව අක්කරපත්තු නින්දවුර් කල්මුණේ කල්කුඩා යන ප්‍රදේශවලට අහිතකර ලෙස බලපෑ මෙම සුළි සුළඟ නිසා නිවාස දෙලක්ෂ පනස් දාහක් පමණ විනාශ වී තිබිණි. ඊට අමතරව පාසල් 240 ක් පොල් අක්කර 28000 ක් විනාශවූ බව එකල පුවත්පත් වාර්තා කර ඇත.

සුළි සුළ‍ඟේ උපරිම වේගය පැයට කිලෝමීටර් 205 ක් පමණ විය. 1000 කට ආසන්න පිරිසක් ඒ සුළි සුළඟ නිසා මිය ගිය අතර ලක්ෂ 10 ක් පමණ දෙනා අවතැන් වූහ.

එකල පැවැති රජය මේ ජනතාවට රුපියල් කෝටි 60 ක් සහන කටයුතු සඳහා වැය කර තිබිණි.

1992 නොවැම්බර් 12 වැනි දින පස්වරු 2.30 ට පමණ පොතුවිල් අසලදී අපේ රටට ඇතුළු වූ 1992 සුළි සුළඟ මගින් බස්නාහිර පළාතට ද දරුණු ආපදා ඇති කිරීම විශේෂත්වයකි. මේ පිළිබඳව ගුවන් විදුලි සංස්ථාව මගින් පෙර දැනුම්වත් කිරීම සිදු කළ නිසා ආපදා තරමක් අවම විය. මරණ 3 ක් හා නිවාස රැසක් විනාශවීම් වාර්තා වී තිබිණි. කොළඹ, රත්නපුර, මඩකලපුව, නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල නිවාස, මහා මාර්ග දුම්රිය මාර්ග හා විදුලි බල හා විදුලි සංදේශ යටිතල පහසුකම්වලට බරපතල හානි සිදුවිය.

මේ ‘බුරවි’ සුළි කුණාටුවට පෙර අපේ රටට ආ දරුණු තම සුළි සුළඟ පැමිණ ඇත්තේ මීට වසර 20 කට පෙර 2000 දෙසැම්බර් 26 වැනිදාය.

එදින පස්වරු 4 ට පමණ ත්‍රිකුණාමලය වෙරළ තීරයෙන් රට ඇතුළට ආ මේ සුළි සුළඟ දෙසැම්බර් 27 අලුයම 5 ට පමණ පුත්තලම මන්නාරම වෙරළ තිරයෙන් අරාබි මුහුද දෙසට ගමන් කර තිබේ.

ඒ සුළි සුළඟ නිසා නිවාස 83000 ක් පමණ විනාශ විය. ඉන් 57273 ක් සම්පූර්ණ ලෙසම විනාශ වී තිබීය. පුද්ගලයන් ලක්ෂ 5 ක් අවතැන් වූ අතර මරණ 11 ක් සිදුවී තිබිණ. පුද්ගලයන් 57 ක් තුවාල ලබා සිටියහ. දුරකතන මාර්ග විදුලිබල සැපයුම් මාර්ග හා පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන රැසක් විනාශ විය. පොල් කෙසෙල් අක්කර 20810 ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්වූ බව වාර්තාකර තිබිණි.

පැයට සැතපුම් 120 ක වේගයෙන් ගමන් කර ඇති මේ සුළි සුළඟ නිසා ත්‍රිකුණාමලය අනුරාධපුරය පොළොන්නරුව යාපනය මන්නාරම හා වවුනියාව කිලිනොච්චි මුලතිව් දිස්ත්‍රික්කවලට බරපතළ හානි සිදුවූ බවට වාර්තා කර තිබිණි.

වසර 2000 දෙසැම්බර් 26 වැනි දින සවස 4.00 ට පමණ ත්‍රිකුණාමලය වෙරළ තීරයෙන් රට තුළට ඇතුළු වූ වාසුළියක් අලුයම 5.00 වන තෙක් රට කලඹා පුත්තලම, මන්නාරම, වෙරළ තීරයෙන් ඉන්දියාව දෙසට ගමන් කළේය. පුරා පැය 13 ක් තිස්සේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගමන් කළ මේ වාසුළිය නිසා පවුල් 50,000 කට පමණ උන්හිටි තැන් අහිමි විය. ජීවිත 7 ක් විනාශ විය‍. 

වර්ෂ 1978 න් පසු ශ්‍රී ලංකාවට හටගත් දරුණුම සුළි සුළඟ වන මෙය ඝර්ම කලාපීය වාසුළියක් හෙවත් B4 වර්ගයේ වාසුළියක් ලෙස හැඳින්විණි.

(B4 යනු වසර 2000 තුළ බෙංගාල බොක්කේ හටගත් 4 වන කුණාටුව බැවින් එයට කාලගුණ විද්‍යාවට අනුව දෙනු ලබන නාමයයි.)

මෙම B4 වාසුළිය ශ්‍රී ලංකාව තුළ ගමන් කළ වේගය පැයට කිලෝමීටර් 180 ක් විය. මේ සුළි සුළඟ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණු අතර වැඩිම වර්ෂාපතනය වූ මිලි මීටර් 276.9 වවුනියාවෙන් වාර්තා විය.

මේ සුළි සුළංවලට නම් දැමීම සිදුවන්නේ ජගත් මට්ටමේ කාලගුණය සම්බන්ධ විද්‍යුත් කමිටුවක් මගිනි. මෙවර පසුගිය 2 වැනිදා අපේ රටට හා සුළි කුණාටුවට ‘බුරවි’ නම වැටී ඇත්තේ මාලදිවයින කළ නම් කිරීමක් අනුවය. මාලදිවයින් භාෂාවෙන් ‘බුරවි’ යනු නැංගුරමට කියන නමක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යාඥ කේ‍.ආර්. අභයසිංහ මහතා පවසන පරිදි අපේ සාර්ක් කලාපයේ රටවල් 13 ක් එක්වී මේ කලාපයේ ඇතිවන සුළි සුළං සුළි කුණාටු සඳහා සුදුසු නම් යෝජනා කරනු ලැබේ.

ඒ අනුව එම රටවල්වලට වසරකට නම් 20 ක් යෝජනා කිරීමට පුළුවන. මේ නම් සියල්ල යොමු කරන්නේ මේ කලාපයේ පිහිටි ප්‍රධාන කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වන ඉන්දියාවේ පිහිටි කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වෙතය. ඒ අනුව පසුගිය වකවානුවේදී අපගේ රටින් ඉදිරිපත් කළ ‘අභය’ යන නමින් ද එම කාලගුණ සුළි සුළඟක් නම් කර තිබිණි. එය කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ ඉදිරිපත් කළ නමකි.

ඇමෙරිකාව, යුරෝපය හා මැද පෙරදිග රටවල් ආසන්නයේ ගමන් කරන අත්ලාන්තික් හා පැසිෆික් සාගර ආශ්‍රිතව ගමන්කරන සුළි සුළංවලට පසුගිය මුල් වකවානුවල වැඩිපුර යොදා තිබුණේ කාන්තා පාර්ශ්වයේ නම් පමණි. ඒ මේ සුළි සුළංවල ගමන් මාර්ගය හා තීව්‍රතාව විටින් විට වෙනස් වීමත් කාන්තා පාර්ශ්වයේ ගතිගුණත් වරින් වර වෙනස්වීමත් අතර සමානකම් අනුව බවටද මත පළවී තිබිණි.

නමුත් පසුව ලොව සමහර කාන්තා සංවිධාන මේ නම් කිරීමට විරුද්ධ වීම නිසා දැන් ලොව ප්‍රධාන පෙළේ සුළි සුළංවලට කාන්තාවන්ගේ නම් යොදන්නේ විටින් විටය.‍

කෙසේ ‍වුවත් සුළි සුළංවල තීව්‍රතාව හා ගමන් මග වරින් වර වෙනස්කම්වලට භාජනය වීම ලොව පුරා සිදුවී ඇති භෞතික ක්‍රියාවලියක් බව කිව යුතුයි.

Comments