බන්ධනාගාර ගැටුම් සමාජ නිර්මාණයක්ද? | සිළුමිණ

බන්ධනාගාර ගැටුම් සමාජ නිර්මාණයක්ද?

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමත් සමඟ යළිත් බන්ධනාගාර ගැටුම් පිළිබඳ කථිකාවක් සමාජය තුළ ගොඩනැගෙන්නට විය. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් පරස්පර අදහස් ඉදිරිපත් කරන්නට විය. මහර බන්ධනාගාරයේ ගැටුමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගතකරන ලදී. පසුගිය කාලය තුළ මෙරට බන්ධනාගාරවල අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇතිවිය. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ මත්ද්‍රව්‍ය වැටලීම්ද විශාල වශයෙන් සිදු කරන ලදී කෙසේ වෙතත් බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය ඇතුළු වීමත් සමඟ මත්ද්‍රව්‍ය හිඟයක් ඇතිවිය මේ තත්ත්වය මතට ඇබ්බැහිවූවන් දැඩි මානසික පීඩාකාරී ප්‍රකෝපකාරීත්වයෙන් පසු වීමට හේතුවී ඇති බවට වාර්තා වී ඇති අතර ඇතැමුන් සියදිවි නසා ගැනීමට තරම් දැඩි පීඩාකාරී මානසිකත්වයෙන් පසුවී ඇතිබව අසන්නට ලැබෙයි. සමාජ විශෝධනාගාරයක් ලෙස බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කර රැඳවුම් කරුවන් පුනරුත්ථාපනය කිරීමට වත්මන් රජය පියවරගෙන ඇත. නීති දැඩි කිරීමෙන් හෝ දඬුවම බරපතළ කිරීමෙන් හෝ පමණක් බන්ධනාගාරවල ගැටලු විසඳිය නොහැකි බවට විශේෂඥ මතයයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලන ව්‍යුහයක් ලෙසින් බන්ධනාගාර බිහි විය.

එසේ වුවත් බන්ධනාගාර පද්ධතිය වර්තමාන සමාජ සංකීර්ණත්වය හමුවේ අත්‍යවශ්‍ය ආයතනයක් බවට පත්ව ඇත. එමෙන්ම දිනෙන් දින බන්ධනාගාර ගතවන පිරිසද වැඩි වේ . එම නිසා ධාරිතාවට වඩා දෙගුණයකට ආසන්න සංඛ්‍යාවක් සිරමැදිරිවල රැඳවීමට සිදුවිය. තදබදය මෙන්ම වෙනත් සමාජ ගැටලු මේ හරහා මතුවිය. ඒ අනුව ගෙවී ගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල නිරන්තරයෙන් ගැටුම්කාරීත්වයන් මතුවිය. කෙසේ වෙතත් මෙයට හේතු ගණනාවක් බලපා ඇති බව නොයෙක් සමාජ සංවිධාන නියෝජිතයන් සමාජ මානව විද්‍යාඥයෝ පවසති. එවැනි පරිසරයක් බන්ධනාගාරවල ඇති කළ යුතු බව සමාජ මානව විද්‍යාඥයන්ගේ අදහසයි. වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව සිරකරුවන් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරන සමාජ විශෝධනාගාරයක් බන්ධනාගාරය බවට සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ප්‍රයත්නයක නියැළී සිටියි.

 

හිරගෙවල් සංකල්පයම වෙනස් විය යුතුයි මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස්නි තීඥ රමණි මුරුත්තෙට්ටුවේගම

මේ ගැටුම්කාරී ප්‍රචණ්ඩත්වයට බලපාන ප්‍රධාන කරුණක් වන්නේ බන්ධනාගාරවල ඇති අධික තදබදයයි. එය අවම කළ යුතුයි. එය ගැටලුවට විසඳුමක් වේ එමෙන්ම මත් ද්‍රව්‍යත් මේ ගැටුම්කාරීත්වයට බලපෑම් කරන සාධකයක්. යම් තැනැත්තෙක් මත්ද්‍රව්‍ය තමන් සන්තකයේ තබාගෙන සිටියොත් එය පෞද්ගලික පාවිච්චියකට ඔහු සන්තකයේ තබා සිටී නම් ඒ දෙස ජාවාරම් කරුවෙකුට වෙනස් ආකාරයට දැකිය යුතුයි. ජාවාරම්කරුවකු හා ඇබ්බැහිවූවකු පිළිබඳ ප්‍රශ්නය ආකාර දෙකක්. ඇබ්බැහි වූවන් පිළිබඳ ගැටලුව බන්ධනාගාර ගත කිරීමෙන්ම විසඳිය නොහැකියි. ඒ අය පුනරුත්ථාපනය කළ යුතුයි.

රෝගය ව්‍යාප්ත වීමෙන් බන්ධනාගාර පද්ධතියට සිදුවන හානිය අවම කර ගැනීම ප්‍රධාන ගැටලුවක්. සමස්ත බන්ධනාගාරවල වරින් වර ඇතිවන ගැටලු සලකා බැලීමේදී අපි පළමුවෙන් කල්පනා කළ යුතුයි අත් අඩංගුවට ගන්නා සියලු දෙනාම රිමාන්ඩ් බාරයට ගත යුතුයි ද කියන කාරණාව. එමෙන්ම රිමාන්ඩ් භාරයට ගත්තද ඇප මත මුදාහැරීමට ක්‍රමවේදයක් තිබේද යන්න සහ ඒවගේම තුන්වැනි කාරණාව වරදකරුවන් අතර සමාව දිය හැකි කණ්ඩායම් සඳහා අවධානය යොමු කිරීමත් වැදගත් වනවා.

 

පුනරුත්ථාපන ක්‍රියාදාමයක්බ න්ධනාගාරවල නැහැ නීතිඥ උදුල් ප්‍රේමරත්න

බන්ධනාගාර තුළ ගැටුම් සියලු ආණ්ඩු යටතේ සිදුවුණා. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය මාෆියාවක් ඇති කළා. ඒ සිදුවීමට වසර 8ක් ගත වුණත් මිය ගිය අය වෙනුවෙන් සාධාරණයක් ඉටුවෙලා නැහැ.

මෙවර සිදුවීමේදි පොලිසිය සඳහන් කරනවා මානසික රෝගින්ට දෙනු ලබන පෙති විශාල ලෙස ඇතුළට ගියේ කොහොමද එයයි සෙවිය යුතුවන්නේ කියලා. එළියෙන් ඇතුළට යන යන්ත්‍රණයක් තියෙනවා ඒවා නැති කරන්නයි ඕන. අවසානයේ ජන ජීවිතයට බලපාන සිදුවීමක් වුණහම නිලධාරින්ට කුඩුකාරයන්ට හෝ පාතාලයට බැරකරන එකයි සිදුවුණේ. පුනරුත්ථාපන ක්‍රියාදාමයක් මේ බන්ධනාගාරවල නැහැ අවම පහසුකම් නැහැ දැඩි තදබදයකින් මේ අය ඉන්නේ.

 

සිරකරුවන්ස මාජගත කිරීමේ නිසි ක්‍රමවේදයක්අ වශ්‍යයි මහාචාර්ය, නීතීඥ ප්‍රතිභා මහානාම

බන්ධනාගාර සංකල්පය අද ලෝකයේ නැතිව ගිහිල්ලා එය අද හඳුන්වන්නේ 'වැරදි නිවැරදි කරගන්න උත්සාහ කරන ස්ථානය' නමිනුයි බන්ධනාගාර හඳුන්වන්නේ. බන්ධනාගාර ගැටුමට තුඩු දුන්නායැයි කියන මූලික කරුණක් ලෙස සඳහන් වන්නේ මානසික රෝගීන් සඳහා ලබා දෙන පෙතිවර්ග වැඩිප්‍රමාණයක් ලබා ගැනීමයි. එය තවම සැකයක් පමණයි. කොහොමත් බන්ධනාගාරවලට නීති විරෝධී දේ ඇතුළු වන ආකාරය සොයා බැලීම සඳහා ස්කෑනින් මැෂින් එකක්වත් නැහැ.

බන්ධනාගාර නිලධාරීන්ට රැඳවුම්කරුවන් පාලනය කරගන්න මනෝවිද්‍යාත්මකව පාලනය කළ හැකි ක්‍රමවේදයක්ද ඇති කළ යුතුයි. මෙවර ගැටුමේදී ආණ්ඩුවක් හැටියට උපරිම දේ කරලා තියන බව පේනවා. බන්ධනාගාරයේ පුහුණු නිලධාරීන් පද්ධතියක් ඇති කළ යුතුයි. සිරකරුවන් නැවත් සමාජයට අනුයුක්ත කළ හැකි යන්ත්‍රණයක් සකස් කළ යුතුයි. දසදහස් ගණනක් අපි සිරගෙවල් වල තියාගෙන ඉදලා වැඩක් නැහැ පුනරුත්ථාපනයයි අවශ්‍ය වෙන්නේ. මේ අයට යහපත් දේ අවබෝධ කර දීම මීට වඩා මානුෂිකව කළ යුතු වෙනවා.

 

සිරගෙවල්වලදී තවත් ප්‍රචණ්ඩ වෙනවා මනෝ විද්‍යාත්මක උපදේශක ආචාර්ය ප්‍රේමසිරි නාගසිංහ කොළඔ විශ්වවිද්‍යාලය.

බන්ධනාගාරවල නිරන්තර ඇතිවන ප්‍රචණ්ඩකාරීත්වයන් එක් හේතුවකින් ඇතිවූවක් නොවෙයි. අපරාධයන්ට අපචාරී ක්‍රියාවන්ට යොමු වූ එවැනි නියැදියක් තෝරාගෙන ක්ෂේත්‍ර අධ්‍යයනයක් කළහොත් ඒ අයගේ ළමා කාලය සහ පවුල් පසුබිම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් තියෙන්නට පුළුවන්. ළමාකල හොඳ පවුල් පරිසරයක් නොතිබුණේ නම් ඒ දරුවන්ට නිවැරැදි ආකාරයට පෞරුෂත්වයක් ගොඩනැගෙන්නේ නැහැ. එහිදී ඔවුන්ගේ ආකල්ප සහ චර්යාවට අනිවාර්ය බලපෑමක් කරනවා. එය පාසල් අධ්‍යාපනයෙදී යම් ආකාරයකට නිවැරදි නොවන්නේ නම් මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ අය සමඟ එකතු වන සම වයස් කණ්ඩායම්වල චර්යා රටාවන්ද ඒ ආකාරයෙන් වූ විට මේ දරුවන් වෙනස් වෙන්නේ නැහැ.

එසේ නම් ඒ සමාජානුයෝජනය වීමේ ක්‍රියාවලියට සමාන්තරව යන නිසා එම ක්‍රියාවලියේදී සමවයස් මිතුරු කණ්ඩායම් එවැනිම පවුල් පසුබිමක වීම ඒ අයට අහිතකර ආකාරයට බලපෑම් කළ හැකියි. එමෙන්ම මේ අයගේ ආර්ථික සමාජ අත්දැකීම් ඍණාත්මක තත්ත්වයක තිබෙනවා.

මනෝවිද්‍යාමකව සලකා බැලීමේදී ජාන සාධක සලකා බැලුවත් මේ ජාන සාධකවලින් මෙවැනි තත්ත්වයන් මතු විමට යම් නැඹුරුවක් තියෙන්නට පුළුවන්. එම මනෝ විද්‍යාත්මක ජාන සාධක කෙසේ වෙතත් අපි වඩා සැලකිලිමත් විය යුතු වන්නේ සමාජ විද්‍යාත්මක සාධකයන් සඳහායි. යම් ප්‍රමාණයක් ජාන සාධක බලපෑවද ඒ අයගේ පරිසරය මතිනුත් එය ප්‍රවර්ධනය විය හැකියි. එවැනි ප්‍රචණ්ඩකාරි හෝ සමාජ විරෝධි ක්‍රියාවන්ට යොමුවීම වැනි චර්යාත්මක පුරුදු නිර්මාණය විය හැකියි. විශේෂයෙන් සිරගත වන අය සිරමැදිරිවලදි කණ්ඩායම්වලටද එකතු වීමේදී ඇතැම් විට එවැනිම ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් සමඟ එකතු වීමෙන්ද අනුකරණය කිරීමත් සිදුවෙන්න පුළුවන්. එහි පාරිසරික සමාජ බලපෑම නිසා ඔහු වෙනත් අපචාරයන්ට හුරුවූ පුද්ගලයෙක් වීමට හැකියි.

මෙවැනි අයට පුනරුත්ථාපන වැඩ පිළිවෙළක් අවශ්‍යයි . මනෝවිද්‍යාත්මක උපදේශන තුළින් මේ අය වෙනස් කළ යුතුයි. මේ අයට උපදේශනවල වෙනම ක්‍රමවේදයන් තියනවා. සායනිකව කණ්ඩායම් හෝ පෞද්ගලික මට්ටමින් උපදේශන සේවා ලබා දිය යුතුයි.

 

ගැටුම් ඇති වුණේ අද ඊයේ නෙමෙයි

වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුවේ කමිටු සාමාජික පිලිප් දිසානායක

සිරකරුවනුත් මනුෂ්‍යයෝ‘ය කියල මතයක් තියෙනවා. නමුත් කිසිදු රජයක් සිරකරුවන් මනුෂ්‍යයෝ ලෙස සලකපු බවක් අපි දැකලා නැහැ. අපි දන්නවා බන්ධනාගාර කියන්නෙ අධික තදබදයක් තියෙන ස්ථානයක්. ලංකාවේ සිරමැදිරිවලට ඇතුළු කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා සැලකිය යුතු පිරිසක් වැඩිවෙලා තියනවා. වසංගත තත්ත්වය හමුවේ ඒ අයගේ එකම ඉල්ලීම වෙලා තිබුණේ ඒ අයව වසංගතයෙන් බේරගන්න කියන එකයි. එය සාමාන්‍ය මනුෂ්‍යයන් ගේ අයිතියක්.

ඒ ඉල්ලීම සාධාරණයි. එසේ නොමැති නම් රිමාන්ඩ් සැකකරුවන් හෝ වෙනත් ස්ථානවලට මාරු කර හරින ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන වගකිවයුතුයි. රාජ්‍ය ආරක්ෂාව යටතේ ඒ අය ඉන්නේ ඒ අයට එහි රැකවරණය තිබිය යුතුයි. එසේ රැකවරණය සපයන්න බැරිනම් අදාළ අංශ විසින් විකල්ප ක්‍රියාමාර්ග ගත යුතුයි. එසේ කිසිදු දෙයක් සිදුවෙලා නැහැ. මේ තත්ත්වයන් බන්ධනාගාර තුළ ඇති වුණේ අද ඊයේ නොවෙයි මෙය සියලු ආණ්ඩු යටතේ සිදුවුණා. ආණ්ඩුව යටතේ ඉන්න කෙනෙක්ට ගැටලුවක් ඇතිවූ විට ඒ ප්‍රශ්නයට වගකිව යුත්තේ භාරකරුයි. එනම් රාජ්‍ය යන්ත්‍රණය මෙහිදි වගකිව යුතුයි. ඒ අනුව මේ ආණ්ඩුවවත් ජනතාවාදීව සිතා බලා සිරකරුවන් මනුෂ්‍යයෝ කියන තැන ඉදලා ක්‍රියාකරයි කියලා අපි විස්වාස කරනවා.

 

අඩු පහසුකම් මත පීඩනය වැඩියි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා

මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් එකළොහක් මියගිහින් තියනවා. රැඳවුම්කරුවන් සම්බන්ධයෙන් කිසිදු රජයක් මානුෂික ප්‍රතිපත්තියක් අනුගමනය කර නැහැ. ආසන්නම සිදුවීම වුණේ පසුගියදා ඇතිවුණු කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිරකරුවන් අතර ඇතිවූ භීතිකාවක්.

මාරාන්තික වයිරසයක් නිසා සිරකරුවනුත් ඊට බියක් දක්වනවා. මේ රෝගයේදී අනුගමනය කළයුතු පියවර බන්ධනාගාරය පරිසර සාධක සමඟ ඒ ක්‍රවේදයන් අනුගමනය කිරීම අපහසුයි. ඒ අයට සනීපාරක්ෂාව අතින් අඩු පහසුකම් තියෙන්නේ. සිය ගණනකට එක් වැසිකිළියක් පමණයි. බන්ධනාගාරවල වසර ගණනක් මේ පිරිසට රැ‍ෙඳන්න වෙලා තියෙන්නේ සම්ප්‍රදායික දුර්වලතාවන් නිසයි. රිමාන්ඩ් සිරකරුවන් ලෙස විශාල පිරිස් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදි රටක දඬුවම ලැබිය යුතුවන්නේ පනවා ඇති නීතියට අනුවයි. නීතියේ පාලනයයි ක්‍රියාත්මක වන්නේ. සිරකරුවන්ට අදාළ දඬුවම්වලට නීතියත් තියනවා.

මේ නිසා අපි ඉල්ලිමක් කරන්නේ මේ රජය යටතේ හෝ මේ පිළිබදව සොයා බලා මේ ඝාතන ක්‍රියාවලියට නීතිය පසිඳලන්න කියලා. රැඳවුම්කරුවන් සම්බන්ධයෙන් පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ගැඹුරින් ක්‍රියාත්මක කළ යුතුයි. ජනප්‍රියවාදී ලෙස සිරකරුවන්ගේ ප්‍රශ්නය දෙස නොබැලිය යුතුයි.

 

ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයෙත් ඉන්නවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නියෝජ්‍ය පොලිස්පති - අජිත් රෝහණ

බන්ධනාගාර තුළට විස මත්ද්‍රව්‍ය රැගෙන යාම පාලනය කරමින් ආරක්ෂක අංශ විසින් දිගටම මෙහෙයුම් දියත් කළා.ඉන් පසු බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය වල බලවත් හිඟයක් ද ඇති වූ බවට වාර්තා වී තියෙනවා. ඒ නිසා මත් ද්‍රව්‍ය සඳහා ආදේශකයක් ලෙස මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ මේ ආකාරයට ලබා ගැනීමක් සිදුවූයේද යන්න පිළිබඳව රහස් පොලිසියේ අවධානය යොමු කර තියෙනවා. මේ ඖෂධය පාවිච්චි කිරීමෙන් අනතුරුව බොහොමයක් රැඳවියන් මානසික විකෘතිභාවයෙන් එමෙන්ම බන්ධනාගාර කැරැල්ලට පසුබිම් වූ ප්‍රධානතම හේතුවක් ලෙසට මේ බන්ධනාගාර රෝහලේ මානසික රෝගින්ට ලබාදෙන ඖෂධ පෙති 21,000ක් අසාමාන්‍ය ලෙස ගබඩා කර තිබීම ගැන ආරක්ෂක අංශවල සැකමුසු අවධානය යොමු වී තියනෙවා.

එම රෝහලේ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් ද රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර තියෙනවා. මානසික ආතතියෙන් පෙළෙන රෝගීන් වෙනුවෙන් නියමිත මාත්‍රාවකට අනුව ලබාදෙන මෙම ඖෂධ පෙති මත්ද්‍රව්‍ය සඳහාද ඇබ්බැහිවූවන් මත්ද්‍රව්‍ය වෙනුවට ආදේශකයක් ලෙස භාවිත කරන බවට තොරතුරු ලැබීමත් සමඟ මේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

මර්දනය වෙනුවට සුබසාධනයක් ගෙන ඒවි

'රයිට්ස් නව්' ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමුහිකය විධායක නිලධාරී නීතිඥ ප්‍රබෝධ රත්නායක

බොහෝ බන්ධනාගාරවල දෙපිරිසක් ඉන්නවා. ඒ රක්ෂිත බන්ධනාගත කරන ලද පිරිස් සහ උසාවියෙන් දඬුවම් නියම කරන ලද පිරිසයි. මේ දෙපිරිසම බන්ධනාගාරවල ඉන්නවා . බන්ධනාගාරවලට පහසුකම් සඳහා ලෝකයේ අවම නිර්ණායකයන් හඳුන්වා දී තියෙනවා. මේ මොහොතේ ඇතිවෙලා තියන කොවිඩ් 19 තත්ත්වයත් සමඟ ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයක් බන්ධනාගාරවල ඇතිවෙලා තියෙනවා. බන්ධනාගාරගත වූවන් ප්‍රතිශෝධනය කර නැවත සමාජ ගත කිරීම කළ යුතුයි.

ඒ ක්‍රමවේදයක් අද තියෙනවා ද කියන කාරණාව ගැටලුවක්. වර්තමාන ආණ්ඩුව බලයට පත් වී ඇත්තේ නීතියේ බලය පිහිටුවීම සඳහා යි. ඇත්තටම මේ රජය බලයට පත්වූ පසු සිරගෙවල්වලට මත් ද්‍රව්‍ය සැපැයීම අවම වෙලා තියනවා. එය හොඳ සාධනීය ලක්ෂණයක්. අගමැතිවරයාගේ ඉතිහාසය පුරාම එතුමාට අත්දැකීම් තියනවා. කම්කරු අයිතීන් වෙනුවෙන් හඬනැඟීමෙන් එතුමා බන්ධනාගාර ගතවෙලා තියනවා.

එතුමා ඉතිහාසය පුරාම අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළ ඉතා සංවේදි නායකයෙක්. එතුමා ඒ වෙනුවෙන් පෙනී සිටින ලද ජනතා නියෝජිතයෙක්. මර්දනය නොවෙයි සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරැකෙන ක්‍රමවේදයක් එතුමා යටතේ ඇති කරයි කියල අපට විශ්වාසයක් තියෙනවා.

Comments