කෝටි 412ක් ගිල්ල නීති විරෝධී බැටිකලෝ කැම්පස් | සිළුමිණ

කෝටි 412ක් ගිල්ල නීති විරෝධී බැටිකලෝ කැම්පස්

බැටිකලෝ විශ්වවිද්‍යාලයේ ඉදිරිපස දර්ශනයක්

- හීරා පදනමේ වැඩට හිස්බුල්ලා, ඇමැතිධුරත් යොදාගෙන
- ලංකා බැංකුවේ ගිණුම් 14ක් හිස්බුල්ලා අරඹලා
- ආයතනයේ නම අවස්ථා 4කදී වෙනස් කරලා
- අක්කර 35ක මහවැලි ඉඩම; තව අක්කර 45ක් පසුව අනුමත කරලා; තව 9ක් බලෙන් අල්ලගෙන

ඩකළපුවේ පූනානි ඉදිකර ඇති ෂරියා විශ්වවිද්‍යාලය ලෙසින් හඳුන්වන අධ්‍යාපන ආයතනය රජයට පවරා ගැනීම පිණිස මේ වන විට පසුබිම සකස් වෙමින් පවතී. ෂරියා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන නියමුවා ලෙසින් හැඳින්වෙන නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැවසුවේ එය රජයට පවරා ගැනීමට ඉඩ නොදෙන බවත් මේ වසරේ ජනවාරි මස 3 වැනිදා අධ්‍යයන කටයුතු වෙනුවෙන් විවෘත කරන බවයි.

කෙසේ හෝ ඔහුගේ පුරෝකථන මේ වන විට පුස්සක් බවට පත්ව ඇති අතර පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපන ආයතන නිසි පරිදි නියාමනයක් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස ෂරියා විශ්වවිද්‍යාලය බිහිවීම අපට හඳුන්වා දිය හැකිය.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ අවස්ථාව උදා වූයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ආරම්භයත් සමඟය. එහෙත් එයට මතු වූ බලවත් විරෝධතා නිසා අවසානයේ එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් විය. එතැනින් පසුව වුවද ශිෂ්‍ය අරගල මත පෞද්ගලික විශ්වවිද්‍යාල මාතෘකාව වරෙක යටපත් වී වරෙක ඉස්මතු වී කරළියට ආවේය. කෙසේ වුවත් මේ වන විට මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා රටේ අධ්‍යාපනය ඉහළ නැංවීමට ලබා දෙන හා ලබා දුන් දායකත්වයද ඉතා ඉහළ බව කිව යුතුය.

එහෙත් දැනට පවතින පෞද්ගලික විශ්වවිද්‍යාල හා අධ්‍යාපනික ආයතන සියල්ලටම වෙනස් ලෙසින් ෂරියා විශ්වවිද්‍යාලයේ කටයුතු ක්‍රියාත්මකව ඇති බව පෙනේ.

මේ ආයතනය සම්බන්ධව බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් විසින් පසුගිය රජයට වරින් වර පෙන්වා දෙමින් හඬ නැඟූවද ඒ සියල්ල බීරි අලින්ට වැයූ වීණා සේ පෙන්නුම් කෙළේ එය තවත් ශක්තිමත් කරමිනි. කෙසේ හෝ 2019 වසරේ පාස්කු ප්‍රහාරයත් සමඟම ෂරියා විශ්වවිද්‍යාලය යළි කරළියට ආ මාතෘකාවක් බවට පත් විය.

වර්තමාන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින්ද මේ පිළිබඳව දැඩි ලෙසින් කරුණු විදහා පෙන්වන්නට විය. විශේෂයෙන්ම ඔහු නියෝජනය කළ ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පෙන්වා දුන්නේ 2013 වසරේදී ජූනි මාසයේ මෙම ආයතනය ආරම්භ කර ඇත්තේ මලික් අබ්දුල්ලා යුනිවසිටි කොලේජ් නමින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් බවත් එය 2014 වසරේ බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ් ලෙස නම වෙනස් කර ඇති බවයි. එසේම 2015 වසරේදී බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ලෙස ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි කර ඇති බවත් 2016 වසරේදී බැටික්ලෝ කැම්පස් ඔෆ් ශ්‍රී ලංකා ලෙස යළි නම වෙනස් කර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇති බවද පෙන්වා දී තිබුණි.

මෙලෙස අවස්ථා කිහිපයකදී ආයතනික නාමය වෙනස් කිරීමේ යටි අරමුණක් තිබුණු බව ඉතා පැහැදිලිය.

මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දුන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලබා දී ඇති ලිපිගොනුවලට අනුව එහි නීති පීඨය යටතේ පවතින්නේ ෂරියා අධ්‍යයන දෙපාර්තමේන්තුව (Department of Sharia) පමණක් බවයි.

මේ අදහස් එළි දකිද්දී හිස්බුල්ලා පැවසුවේ මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා සෞදි අරාබියේ අලි අබ්දුල්ලා අල් ජිෆාලි නමැති පදනම මගින් සහන ණයක් ලබා ගත් බවයි.

ඔහු පැවසුවේ අදියර හයකින් ලබා ගෙන ඇති රුපියල් මිලියන 3,600 ක එම ණය මුදල ගෙවීම ආරම්භ කළ යුතු වන්නේ, වසර 15 කට පසුව බවයි.

එහි සම්පූර්ණ වියදම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට වාර්තා කර ඇති බවත් ඔහු පසුගිය වසරේදී පවසා තිබුණි.

දිනෙන් දින උඩයමින් මත ගැටෙමින් තිබුණු ෂරියා විශ්වවිද්‍යාලය ගැන විශේෂ අධීක්ෂණයක් සිදු කරන්නට රජය කටයතු කළ අතර විගණකාධිපතිවරයා යටතේ විශේෂ විගණන විමර්ශනයක් සිදු කරන ලදී.

එම නිර්දේශ ද මේ වන විට ලැබී ඇත. ඒ නිර්දේශ දෙස බැලීමේදී බහුතර පිරිසකගේ කිල්ලෝටවල ඇති හුනුද එළියට පැමිණ තිබේ. ඒ අනුව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් හෝ සම්මත පටිපාටියෙන් බැහැරවීමෙන් හෝ කටයුතු කර ඇති ලංකා බැංකුවේ හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන්ගේ කෙරුවාවල් කිහිපයක්ද එළියට ආවේය.

ෂරියා විශ්වවිද්‍යාලයේ ආරම්භක කටයුතුද කිසිදු විනිවිද භාවයක තිබී නැත. නැඟෙනහිර පළාතේ ක්‍රියාත්මක සමාජ සේවා හා රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘හිරා පදනම‘ විසින් මඩකළපුව විශ්වවිද්‍යාල විද්‍යායතනය නමින් වෘත්තීය පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට අයැදුම්පතක් ඉදිරිපත් කර ඇත්තේ 2012 වසරේදීය. එම අයැදුම් පත්‍රය වෘත්තීය අධ්‍යාපනය කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ අවම සුදුසුකම් පවා සපුරා නැති බව පෙන්වා දෙමිනි.

එසේ වුවද හිරා පදනමේ සභාපතිවරයා වන හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් ඔහුගේ දේශපාලන බලය උපයෝගී කර ගනිමින් 2013 මැයි මස 2 වැනිදා එවකට තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා හරහා එය අනුමත කරවාගෙන ඇත. ඒ හිරා පදනම සමඟ වසර 3ක අවබෝධතා ගිවිසුමකට එළඹෙමිනි. එමෙන්ම ඒ ගිවිසුමට තාක්ෂණික විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාද සම්බන්ධ කරගෙන ඇත. ඒ අනුව එය ත්‍රෛපාක්ෂික ගිවිසුමකි. එක් සිසුවකුගෙන් රුපියල් 215,000ක් මුදලක් අය කර එහි පාඨමාලා පැවැත්වීමට සැලසුම් කර තිබුණි. එසේ වුවද අමාත්‍යාංශයේ අනුමැතිය ඒ වෙනුවෙන් ලැබී නොතිබුණි. 2014 වසරේ මැයි 13 වැනිදා මෙහි පරිපාලන කටයුතු සියල්ල විවෘත කර ඇත.

හිරා පදනම විසින් මඩකළපුව විශ්වවිද්‍යාලය නමින් පවත්වාගෙන යෑමට කටයුතු කරන්නේ නැඟෙනහිර (මඩකළපුව - වන්දාරමුල්ල) විශ්වවිද්‍යාලයට සම්බන්ධතාවක් ඇති ආයතනයක් බවට ඒත්තු ගන්වමින් බවද හෙළිව තිබේ. විශේෂයෙන්ම එහි වෙබ් අඩවියේ මෙන්ම සිසුන් බඳවා ගැනීමට පුවත්පත්වල පළ කරන ලද දැන්වීම්වල රාජ්‍ය ලාංඡනය පවා යොදා ඇති බවට මේ වන විට හෙළිව තිබේ.

විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවට අනුව මහවැලි අධිකාරියට අයත් අක්කර 35ක භූමි ප්‍රමාණයක් මේ ආයතනය වෙනුවෙන් දිර්ඝකාලීන බද්දට ලබා දී ඇති අතර තවත් අක්කර 9ක භූමි භාගයක් අනවසරයෙන් අවභාවිත කර ඇති බවද හෙළිව තිබේ.

එමෙන්ම 2017 වසරේදී තවත් අක්කර 45ක භූමි භාගයක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් මේ වෙනුවෙන් ලබා දී ඇති අතර එය ලබාදීමට මුල් වූ තැනැත්තන් කවුරුන්ද යන්න හා ඒවා අවභාවිත කෙළේ කෙසේද යන්න මේ වන විට විමර්ශනය කෙරෙමින් පවතී.

නිසි අනුමැතියකින් තොරව ලබාගෙන ඇති භූමිවල ඉදිකිරීම් සඳහා වාකරේ ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබා දී ඇත්තේද හිස්බුල්ලාගේ හිතවත් දේශපාලඥයන් බවට හෙළිව ඇත.

කෙසේ හෝ 2016 වසරේ මැයි මස 16 වැනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ බැටික්ලෝ කැම්පස් ලිමිටඩ් යනුවෙන් මෙය අනුමත කරවාගෙන ඇත්තේ අනවසර භූමි පවා අත්පත් කරගෙන තිබියදීය.

ඉදිකිරීමට මුදල් ණය පදනමක් යටතේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්වත්ව ලැබුණු බව හිස්බුල්ලා පවසා ඇතත් එහි විනිවිද භාවය පිළිබදව ගැටලු රැසක් මතුව තිබේ. විශේෂයෙන්ම හිරා පදනම නමින් හා බැටික්ලෝ කැම්පස් නමින් ලංකා බැංකුවේ ගිණුම් 14ක් පවත්වාගෙක ගොස් ඇති බවට මේ වන විට වාර්තා වී තිබේ. එම ගිණුම්වලට 2016 වසරේ සිට 2019 වසර දක්වා රුපියල් 41,29,85,832.00 (කෝටි 412ක්) ලැබී ඇත.

එහෙත් ඒ කිසිවක් නිසි පරිදි නියාමනය වූ බවක් හා ලංකා බැංකුවේද නිසි මූල්‍ය නියාමනයක් සිදුවූ බවක් නොපෙනේ. 

ආයතනය ඉදිකරන තෙක් කාත්තන්කුඩිය නගරසභා පුස්තකාලයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාම පිණිස ලබාගත් ගොඩනැගිල්ල වෙනුවෙන් 2014 වසරේ මැයි මාසයේ සිට මසකට රුපියල් 197,500.00ක් ලෙසින් මාස 45කට රුපියල් 84, 75, 000ක රජයේ මුදල් අවභාවිත වී ඇත.

අදාළ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් දෙසීයකට අසුන් ගත හැකි දේශනා ශාලා 3ක්, අසූවකට අසුන් ගත හැකි දේශනා ශාලා 14ක් හා නවීන පහසුකම් සහිත විද්‍යාගාර 8ක්, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට නවාතැන් ගත හැකි කාමර 150ක් හා සිසුන් 1000කට නේවාසික පහසුකම් සහිතව ඉදිකර ඇත.

එසේම 2019 වසරේ සිසු සිසුවියන් 3670ක් බඳවා ගන්නට හා 2020 වසරේ සිසු සිසුවියන් 5,380 බඳවා ගැනීමට අපේක්ෂා කර තිබූ අතර 2025 වසර වන විට සිසුන් 10,000ක ඉලක්කයක් කරා යන්නට මේ ආයතනය කටයුතු කර ඇති බව මීට පෙර හෙළිවිය.

කෙසේ හෝ මේ වන විට හෙළිව ඇත්තේ 'හිරා පදනම' සමාජ සේවා හා රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස පෙන්වමින් කටයුතු කළද එය මෙරට රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස නෛතිකව නිසි පරිදි ලියාපදිංචි කර නොමැති ආයතනයක් බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඒ බව අනාවරණය විය.

එමෙන්ම තවමත් එළියට නොපැමිණි තවත් කරුණු දෙකක් අපට ගෙනහැර පෑමට හැකිය. ඉන් එකක් ෂරියා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුමේ ඉහළින් රහසිගත මුරකපොලු ස්ථාපිත කර තිබීමයි. පිටතින් යන අයට කිසිසේත්ම නොපෙනෙන හා ඇතුළතින් එන අයට එක්වරම නොපෙනෙන ලෙසින් ස්ථාපිත එම මුරකපොලු හරහා බොහෝ ඈත නිරීක්ෂණය කළ හැකිය. හමුදා කඳවුරක නිරීක්ෂණ කුටි සේ ඉඳිකර ඇති එම මුරකුටි ගැන මෙතෙක් අවධානයක් යොමුව නැත. ඒවා ඉදි කළේ මන්ද යන්නට පැහැදිලි පිළිතුරක් නැත.

එසේම නැඟෙනහිර වෙරළ කලාපයේ හිස්බුල්ලා විසින් අරාබියක ලක්ෂණ පෙන්නුම් කිරීම පිණිස අරාබි සලකුණු ඉදි කරන්නට රාජ්‍ය මුදල් හා මෙරටට විදෙස් ආයතන හරහා ගෙන්වා ගත් මුදල් වැය කර ඇත. එයද ඉතා සූක්ෂ්මව සිදුකර ඇත්තේ බැටික්ලෝ කැම්පස් යන්න රජයට සම්බන්ධ හා විදෙස් ආධාර මත ස්ථාපිත ආයතනයක් බවට පෙන්නුම් කිරීමටය. ඉදිරියේදී බැටික්ලෝ කැම්පස්හි ශාඛා ආයතනයක් කාත්තන්කුඩියේ ස්ථාපිත කිරීම එහි අරමුණ වී තිබුණු බවට මේ වන විට අපට දැනගන්නට ලැබී ඇත.

හැංගි හැංගි වෙස් බැන්දත් නටන්නට වන්නේ එළිපිටම වන අතර සැමදා වංචාවෙන් කටයුතු කළ නොහැකි බව මෙහිදී පසක් කර තිබේ.

‘හිරා පදනම‘ ‘ෂරියා විශ්වවිද්‍යාලය‘ මේ සියල්ලේ බළලුන් මල්ලෙන් එළියට පැන තිබේ. දැන් වහවහාම කළ යුත්තේ ශ්‍රී ලාංකික සියලු සිසුන් වෙනුවෙන් මේ ආයතනයද රාගම වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගත්තා සේ පවරා ගෙන අධ්‍යයන කටයුතු වෙනුවෙන් නොපමාව ආරම්භ කිරීමය.

සේයාරූ - විමල් කරුණාතිලක

Comments