එෆ්.සී.අයි.ඩී නඩු ඇහුවද? නඩු ගිල්ලද? | සිළුමිණ

එෆ්.සී.අයි.ඩී නඩු ඇහුවද? නඩු ගිල්ලද?

-  බොරු නඩු නිසා සිදුවූ මානසික පීඩාවන්ට වගකිව යුත්තෝ කවරහුද?
- නඩු පැවරීම් සම්බන්ධයෙන් කොමිසන් සභාවලට උපදෙස් දුන්නේ කවුරුද?
- පොදු දේපොළ අවභාවිතය ගැන ඔප්පු කිරීමට කිසිම සාක්ෂියක් නැහැ...

සුගිය යහපාලන ආණ්ඩු සමයේ දක්නට ලැබුණ ප්‍රධාන කරුණක් වූයේ දිගින් දිගටම සිදුකරනු ලැබූ දේශපාලන පළිගැනීම්ය. ඔවුන් මැතිවරණ වේදිකාවේ සටන් පාඨය වූයේ ද රාජ්‍ය දේපළ අවභාවිත කරන ලද පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා වැරදිකරුවන්ට දඩුවම් දෙන බවයි. 2015 මැතිවරණයේදී ඡන්ද බලය ලබා ගැනීමේ අරමුණින් එවකට පැවැති රජය රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යැවිය. යහපාලන රජය මැතිවරණ සමයේ දුන් පොරොන්දුවලින් ඉටුකරනු ලැබුයේ ඊට පෙර පැවැති රජයේ කීර්තිමත් නිලධාරින්ට විරුද්ධව බොරු නඩු පැවරීම පමණි. ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදි ජනතාවට මහත් වූ මෙහෙවරක් කරන ලද මැති ඇමැති රාජ්‍ය නිලධාරීන් බොහෝමයකට විරුද්ධව නඩු පවරන ලදී.

මෙවන් සුවිශේෂි නඩුවක් වූයේ 2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැඟුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991 වැය කරමින් දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු ලබාදීමෙන් එම මුදල සාවද්‍ය සාපරාධි පරිහරණය කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට විරුද්ධ නඩු පැවරිමය.

නඩුව පසුගිය 23වැනිදා කැද වූ අවස්ථාවේදී එකි චෝදනාව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවට නිගමනය විය. විත්තියේ සාක්ෂි කැදවීමෙන් තොරව විත්තිකරු මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් මහාධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනු කරන ලදී. එහිදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය යටතේ ගොනු කර තිබුණ එම ඉල්ලීම සලකා බලා නීතිපතිවරයාගේ නිගමනය අධිකරණයට ලබා දීමෙන් අනතුරුව මේ නඩුවෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරින් තිදෙනා දිවිනැගුම ව්‍යපෘතියේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.

2015 ජනාධිපතිවරණය මුලික කරගෙන හිටපු ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිවරණයට තරඟ කරන අවස්ථාවේදී එතුමාට වාසිදායක ලෙස රාජ්‍ය මුදල් අවභාවිත කර එම මුදල් ජනතාවට ලබා දුන් බවට සාවද්‍ය චෝදනා ඉදිරිපත් කර තිබුණි.

සෙවිලි තහඩු හා ලිත් මුද්‍රණය කර බෙදා දීම වැනි චෝදනා යටතේ තවත් නඩු දෙකක් පවරා තිබිණි. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට අමතරව එවකට රාජ්‍ය සේවයේ නියුතුව සිටි කාර්යක්ෂම නිලධාරින් තුන් දෙනෙකුටත් විරුද්ධව මේ නඩුව ගොනුකර තිබිණි. පැවැති යහපාලන රජය එෆ් .සි.අයි.ඩි නැමැති නීති විරෝධි ආයතනයක් පවත්වා ගනිමින් එම ආයතනයේ ප්‍රධාන නිලධාරින් හරහා මේ ද්වේෂ සහගත පළිගැනීම් සඳහා නඩු පැවරීම් කරන ලද බව පෙනෙයි. පොදු දේපළ පනත යටතේ මේ නඩු පැවරීමට නියෝග දී තිබුණ බව ඉතා පැහැදිලියි.

මෙහිදී අදාළ රාජ්‍ය නිලධාරින් පැහැදිලිව සාක්ෂි ලබාදී තිබුණි. නඩුවට අදාළ සමාද්ධිලාභීන්ට මේ නිවාස ආධාර මුදල් ලබාදීම සිදු කොට ඇත්තේ දිවිනැඟුම අරමුදල හරහා බවට ඉතා පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කර තිබුණි. එය පොදු දේපළක් නොවන බවත්, සමෘද්ධිලාභීන් විසින් ගොඩනගා ගත් එම අරමුදලින් ප්‍රතිලාභීන්ට මුදල් ලබා දී ඇති බවට කරුණු ඉදිරිපත් විය. ඒ අනුව එය රාජ්‍ය මුදල් නොවන බව තහවුරු වන අතර වෙනත් රාජ්‍ය මුදල් අවභාවිතයක් නොවූ බව පැහැදිලිය.

නමුත් අවසානයේ බී වාර්තාවේ කරුණු පමණක් සැලකිල්ලට ගෙන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී. රාජ්‍ය දේපළ යොදාගෙන නොමැතිබව පැහැදිලිව සඳහන් වුවද, ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරිම වැරදි ක්‍රියාවක් බව අභියාචනාධිකරණ විසින්ද සඳහන් කර තිබිණි. ඉන්පසුව හිටපු ඇමැතිවරයාගේ නීතිඥවරුන් විසින් මෝසමක් ඉදිරිපත් කළත් එම අවස්ථාවේදීත් ඇප ලබාදීම ප්‍රතික්ෂේප විය. අනතුරුව මහාධිකරණයට ප්‍රතිශෝධන ඇප ඉල්ලුම් පත්‍රයක් ගොනුවිය. එහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයන්ට මහාධිකරණයෙන් ඇප නියම විය.

ඉන් පසුව මේ නඩුව මහාධිකරණයේ ගොනු විය. මහාධිකරණයේදි සියලු සාක්ෂිකරුවන්ගෙන් හෙළිදරව් කෙරුණේ මේ මුදල් නිවාස ආධාර සඳහා ලබා දුන්නේ සමෘද්ධිලාභින්ට බවයි. මේ සියල්ල පදනමකින් තොර චෝදනා බවට කරුණු ඉදිරිපත් විය. මෙය පොදු දේපළ පනතට අයත් බවට තහවුරු කිරීමට පැමිණිල්ලට කිසිදු ආකාරයකින් නොහැකි විය. මේ මුදල් නිසි කළමනාකරණය කරමින් අදාළ රාජ්‍ය නිලධාරින් විසින් රාජකාරි සීමාව තුළ සිටිමින් කරනු ලැබූවක් මිස ඔවුන්ගේ පුද්ගලික අභිමතානුසාරි බලයක් නොවූ බවට තහවුරු විය.

මේ මුදල් දිවිනැඟුම සම්බන්ධයෙන් ඇති මණ්ඩලයේ පූර්ණ අනුමැතියෙන් කරන ලද්දක් මිස හිටපු ඇමැති බැසිල් රාපක්ෂයන්ගේ නියෝගයක් මත කිසිදු මුදලක් අවභාවිත නොවූ බවට සාක්ෂි වලින් හෙළිදරව් විය. පැමිණිල්ල අවසන් වූ පසුව විත්තියෙන් ඉල්ලීමක් කරනු ලැබිණී. එනම් අපරාධ නඩු සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ විත්තිය නොකැඳවා මේ අය නිදහස් කිරීම පිිළිබඳව සලකා බලන ලෙසය.

රටේ නීතියට අනුව පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවිමෙන් අනතුරුව මහාධිකරණ විනිශ්චයකාරවරුන්ට අභිමතානු සාරි බලය අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය අනුව විත්තිය කැඳවීම හෝ නොකැඳවීම තිරණය කළ හැකිය. මෙවැනි අවස්ථාවකදි මහධිකරණ විනිසුරුතුමාන්ට හිමිවන පුර්ණ බලය අනුව විත්තිවාචකය කැඳවීමක් නොකර සම්පුර්ණ නිදොස් කොට නිදහස් කිරීමට හැකිවෙයි.

මෙම නියෝගය ලබාදීම පසුගිය සතියේ සිදුවිය. මෙම නිලධාරින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවත් සිදුවූ අපකීර්තිය, මානසික පීඩනයට, සිදුවු අපකීර්තියට වග කිව යුත්තේ කවුරුන්ද? හිතුමතේ මිනිසුන්ට නඩුපවරමින් කාලයක් ගතවනතුරු නඩු අසමින් ඉන් අනතුරුව නිදොස් කර නිදහස් වීමෙන් සතුටු විය නොහැකියි. මානසික පීඩාවට, වැය වූ මුදල්වලට යම් වන්දි මුදලක් ලැබිය යුතුයි.

මෙවැනි අවස්ථා නිසා රාජ්‍ය යාන්ත්‍රණයද අකර්මණ්‍ය‍ය වෙයි. නඩු පැවරීම් සම්බන්ධයෙන් කොමිසන් සභාවලට උපදෙස් ලබාදුන් පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාකළ යුතුයි.

ත්‍රි පුද්ගල විනිශ්චය සභා පිහිටුවන්නට සුදානම් කරමින් වෙනම නඩු පවරන්න උත්සහා කරන ආයතනයක් පිහිටුුවා ගෙන පළිගැනීම පසුගිය ආණ්ඩුව විසින් කරන ලදි. මෙවැනි ආයතනවලට අති විශාල මුදලක් වැය වුවද අද එ්වා අකර්මණ්‍ය වී ඇත. මේ ආකාරයට රාජ්‍ය මුදල් වැය කරමින් මෙවැනි ආයතන පිහිටුවමින් එෆ්.සී.අයි.ඩි පවත්වා ගනිමින් කොතරම් මුදලක් වැය කළාද? රාජ්‍ය මුදල් නාස්ති කරමින් ඔවුන් කළේ රාජ්‍ය දේපළ අවභාවිතයකි. මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි.

Comments