ආසියාවේ දෙවැනි වයස්ගතම කාන්තාවගේ පින පෑදේ | සිළුමිණ

ආසියාවේ දෙවැනි වයස්ගතම කාන්තාවගේ පින පෑදේ

වේලු පාප්පානි වෙනුවෙන් ඉදි කළ නව නිවෙස

පැරැන්නෝ එකිනෙකාට සුබ පැතුවේ මොල් ගහේ දලුලන තුරු කළු කපුටා සුදු වන තුරු එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා කියා ය. ඒ මිනිසකුට ලද හැකි ඉහළම ධනය නිරෝගීකමත් දීර්ඝායුෂත් බව ඔවුහු විශ්වාස කළ නිසාය. නමුදු වත්මන් සමාජය තුළ එතරම් දිගු ජිවිත කාලයක් උරුම වන්නේ ස්වල්ප දෙනකුට පමණි. ලොව පුරා වයස් භේදයකින් තොරව බෝ නොවන රෝගවලින් මිය යන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන පසුබිමක කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය තුළ බොහෝ දෙනකුගේ සිත තුළ ඇත්තේ දිගු කලක් ජීවත් වීමේ සිහිනයක් නොව මේ මොහොතේ මේ වයිසරයට ගොදුරක් නොවී දිවි රැක ගැනීමේ බලාපොරොත්තුවයි. එවැනි තත්ත්වයක් තුළ සියවසකටත් වඩා පැරණි ජීවිතයක් හිමි වේ නම් එය සැබෑම වාසනාවකි. මේ වන විට ජීවතුන් අතර සිටින ආසියාවේ දෙවැනි වයස්ගත පුද්ගලයා ලෙස සැලකෙන කාන්තාව ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ බව ඇතැම් විට ඇතැම් අය නොදන්නවා විය හැකිය.

ඇය නමින් වේලු පාප්පානි ය. මේ වන විට ජීවන ගමනේ 117 වැනි සැතපුම පසුකරමින් සිටින ඇය ජීවත් වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 801 නෑහින්න ග්‍රාමසේවා වසමේ ක්ලෝඩන් වත්තේ ‘හෙදරලිය’ කොටසේ ය. 1903 වසරේ මැයි මස 03 වැනිදා හැටන් ප්‍රදේශයේදී උපත ලැබුවා යැයි පැවසෙන වේලු පාප්පානිගේ අද (6දා) වන විට වයස අවුරුදු 117ක් මාස 7ක් සහ දින 3කි. මේ වසරේ මුල් මාසයේදී වාර්තා වූ පරිදි මේ වන විට ලොව වියපත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ජපන් ජාතික කාන්තාවකි. ‘කානේ ටනාකා’ නම් ඇය උපත ලබා ඇත්තේ 1903 වසරේ ජනවාරි මස 2 වැනිදාය. ලංකාවේ වේලු පාප්පානි වයසින් ඇයට වඩා දෙවැනි වන්නේ මාස හතරකට පමණි. ජපානයේ කානේ ටනාකා ආසියාවේ පළමු වයස්ගත පුද්ගලයා ලෙස ප්‍රසිද්ධ වෙමින් සිය සමීපතමයන්ගේ ආදරය සහ පිළිගැනීම විඳිමින් සුවපහසු සාත්තු නිවාසයක ජීවත් වුවද ලංකාවේ වේලු පාප්පානිගේ ඉරණම් කතාව නම් ලියැවී තිබුණේ ඊට වඩා වෙනස් ආකාරයකටය. 

දෙමළ ජාතික පියකුට හා සිංහල ජාතික මවකට දාව හැටන් ප්‍රදේශයේදී උපත ලැබුවා යැයි කියන පප්පානි පසුව බුලත්සිංහල ගීකියන කන්ද වත්තට පැමිණ ඇත්තේ සිංහල තරුණයකු සමඟ විවාපත් වීමෙනි. තමාගේම කියා කවුරුත්ම නැති පාප්පානි වසර කිහිපයක සිට ජීවත් වන්නේ ක්ලෝඩන් වත්තේ ‘හෙදරලිය’ ලැයිමේ ය. එය නිවෙසක් නොව ගරා වැටෙමින් තිබෙන අඩි 9×9 ප්‍රමාණයේ කුඩා ලැයිම් කාමරයකට සමාන වූවකි. මනා ඇස් පෙනීමෙන් සහ කන් ඇසීමෙන් යුතුව තවමත් ඉතා නිරෝගී සුවයෙන් පසුවන වේලු පාප්පානිට උවටැන් කරමින් ඇය රැකබලා ගන්නේ ඇයට කිසිදු ලේ බැඳීමක් නැති දෙදෙනකු වීමද මේ කතාවේ ඇති තවත් විශේෂත්වයකි. ආසියාවේ දෙවැනි වයස්ගතම කාන්තාව වන වේලු පාප්පානි රැකබලා ගන්නා එස්. මාලා ලෙච්චමී (68) ඒ කතාව වදන්වලට පෙරළුවේ මෙලෙසිනි.

“වේලු අම්මව අපිට හමුවෙලා දැන් අවුරුදු තිහකට වැඩියි. මමයි මගේ මහත්තයා තංගයියයි එක්කයි වේලු අම්මා ඉන්නේ. එයාගේ මහත්තයා මිය ගිහින් දැන් අවුරුදු 15ක් විතර වෙනවා.

වේලු අම්මට දුවෙකුයි පුතෙකුයි හිටියට එයාලා දැන් ඉන්නවද මැරිලද කියන්නවත් කවුරුත් දන්නෙ නැහැ. මගේ පුතා පුංචි කාලේ බලා ගත්තේ වේලු අම්මා. ඒ නිසා අපිත් දැන් එයාව අපේ අම්මා වගේ ආදරෙන් බලා ගන්නවා. මගේ මහත්තයා කුලී කම්කරුවෙක්. මම වත්තේ කිරි කපනවා. කුලී වැඩ කරනවා. එහෙම හොයාගන්න සල්ලිවලින් තමයි අපි වේලු අම්මවත් ජීවත් කරන්නේ. අපි ජීවත් වුණු පැල්පත වැස්සට තෙමෙනවා. බිත්ති කොයිවෙලේ කඩා වැටෙයිද කියන්න බැරි තරම් අබලන්. වේලු අම්මටවත් යන්න වැසිකිළියක් නැහැ. වේලු අම්මාට තවම කියන්න තරම් ලෙඩක් නැහැ. තනියම ඇවිදින්න තමයි තාමත් හදන්නේ. ලස්සනට අඳින්න ආසයි. දෙන දෙයක් කනවා මිසක් අපිට කරදරයක් විදිහට හැසිරෙන්නේ නැහැ. එහෙම තියෙද්දි තමයි වේලු අම්මගේ වාසනාවට අපිට අලුතින් ගෙයක් ලැබුණේ. ”

ඇය පවසන්නේ සොම්නසිනි. ඒ සතුටු කතාවේ අගමුල ගැන අප ඇයගෙන් විමසුවෙමු.

“පහුගිය මැයි මාසේ තුන් වැනිදා වේලු අම්මගේ උපන්දින උත්සවය පවත්වන්නයි හිටියේ. ඒත් කොරෝනා වසංගතය නිසා ඒක කරන්න බැරිවුණා. ගිය අවුරුද්දේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම්තුමිය මැදිහත් වෙලා සමෘද්ධි සංවර්ධන නිලධාරි මහත්ම මහත්මීන් එකතු වෙලා වේලු අම්මගේ උපන්දිනේ සමරලා තෑගිබෝගත් දුන්නා. පත්තරවල, ටී.වීවල වේලු අම්මගේ විස්තර ගියාම අපිට ගෙයක් හදලා දෙනවා කියලා කිහිප දෙනෙක්ම කිව්වට ඒවා මුකුත් වුණේ නැහැ. නමුත් පහුගිය ඔක්තෝබර් මාසේ ලෝක වැඩිහිටි දිනය දවසේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න තෑගිබෝග අරන් අපේ වේලු අම්මව බලන්න ආවා. ඒ වෙලාවේ එතුමා පොරොන්දු වුණා අපේ ගේ හදලා දෙනවා කියලා. ඒ කිව්වා වගේම මාස දෙකක් යන්නත් කලින් එතුමා ඒ වෙච්ච පොරොන්දුවටත් වැඩිය දෙයක් වේලු අම්මා වෙනුවෙන් කළා. අපිට අලුත් ගෙයක් හදලා දුන්නා. ඒ ගැන වේලු අම්මා වගේම අපිත් ගොඩක් සතුටින් ඉන්නේ. වේලු අම්මගේ ඉදිරි ජීවිතේ හිටියට වඩා සැප පහසුව ගෙවන්න ඉඩ සලසා දීම වෙනුවෙන් සංජීව මහත්තයාට අපි ස්තුතිවන්ත වෙනවා”

දියණියක සේ වේලු අම්මාට සෙනෙහස පාන මාලා ලෙච්චමී කීවේ සතුටු කඳුළු සලමිනි. වසර ගණනාවක් ඔවුන් වේලු අම්මා සමඟ ජීවත් වූ පැල්පත වෙනුවට අද එහි ඉදිවී ඇත්තේ හුරුබුහුටි නව නිවෙසකි. ඒ මහඟු පුණ්‍යකර්මය සිදු කළ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ගෙන් අප ඒ පිළිබඳ විමසුවෙමු.

“ලෝක වැඩිහිටි දිනයේ දවසේ මම වේලු අම්මා බලන්න ගිය අවස්ථාවේ ඇය ජීවත් වූ ලැයිම් කාමරය දුටුවාම මට හිතුණා ඇය වෙනුවෙන් යමක් කළ යුතු බව. ඇය තමයි මේ වන විට ආසියාවේ දෙවැනි වයස්ගතම කාන්තාව. ඇය රටේ වගේම ලෝකයේම අවධානයට ලක් විය යුතු තැනැත්තියක්. ඇයත් ආසියාවේ පළමු වයස්ගත කාන්තාවත් අතර වයස් පරතරය මාස කිහිපයක් පමණයි. තවත් කාලයක් නිරෝගීව ජීවත් වීමට වේලු අම්මාට හැකි පමණින් පහසුකම් සැලැස්වීමේ අරමුණින් තමයි මම තීරණය කළේ මගේ පළවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් ඇය ජීවත් වන පැල්පත අලුත්වැඩියා කරන්නට. ඒ අනුව තමයි මගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මේ නිවෙස ඉදි කළේ. ඒ සඳහා මට කිහිප දෙනෙක්ම සහයෝගය දැක්වුවා. මාස දෙකකටත් අඩු කාලයක් තුළ නිවෙස ඉදිකරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම මම හිතනවා ඒ නිසා වේලු අම්මත් ඇයව රැක බලාගන්න අයත් සතුටින් කියලා.”

එම සද් කාර්යයට දායක වීමේ සතුට තමා භුක්ති විඳින්නේ හුදෙක් තවත් දේශපාලඥයකුගේ දේශපාලන ව්‍යාපෘතියක් ලෙස නොවන බවද සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා පැවසුවේය. මේ, ඒ ගැන ඔහුගේ අදහසයි.

“දේශපාලඥයෝ විදිහට මෙහෙම ගෙවල් හදන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. නමුත් ගොඩක් වෙලාවට ඒවා සිදු වෙන්නේ දේශපාලන ව්‍යාපෘති විදිහටයි. තමන්ට ඡන්දය දීපු ඡන්දදායකයෙක් වෙනුවෙන් හෝ අනාගතයේදී ඡන්දය බලාපොරොත්තු වෙන ඡන්දදායකයකුට තමයි ඒ විදිහට ගෙවල් හදලා දෙන්නෙ.

නමුත් වේලු අම්මා කියන්නේ මට ඡන්දය දීපු කෙනෙක් නෙවෙයි වගේම මම එතුමියගෙන් ඡන්දය බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මට අවශ්‍ය වුණේ රටේ ලෝකයේම බුහුමනට ලක්විය යුතු ආසියාවේ දෙවැනි වයස්ගතම කාන්තාව වශයෙන් වේලු අම්මට මට දිය හැකි ගෞරවය, සත්කාරය ලබාදෙන්නයි. දවසක ඇය ගැන ලෝකයම කතා කරයි.”

ඔහු පැවසුවේ නිහතමානී සතුටක් විඳින අතරේය. වේලු පාප්පානි මාතාවට නව නිවෙස පරිත්‍යාග කිරීමේ අවස්ථාවට දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ටෙනිල් විශ්ව ශාන්ත, උප සභාපති ජගත් කීර්ති පෙරේරා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෛද්‍ය නිශ්ශංක, මනෝජ් සමරවීර, සුසිල් වෙල්ගම, තුසිත වීරසූරිය, සමෘද්ධි සංවර්ධන නිලධාරී නිලංකා කුලතුංග සහ නන්දන කන්ට්‍රක්ෂන් අධිපති නන්දන යන අයද සහභාගි වූහ. මේ වන විට මෙරට වයස අවුරුදු 60ට වැඩි පිරිස ප්‍රතිශතයක් ලෙස මුළු ජනගහනයෙන් සියයට 12.4 කි. 2050 වන විට එය සියයට 30ක් බවට පත්වනු ඇතියි පුරෝකථනය කර ඇත. මෙවැනි තත්ත්වයක් තුළ වියපත් ජනතාවගේ කායික,මානසික සෞඛ්‍ය සුරකමින් ඔවුන්ට සැපවත් සැදෑ සමයක් හිමිකර දීමට කැප වීම කාගෙත් යුතුකමය.

Comments