අක්ෂි සැත්කම්වල පෙරළියක් කළ අපූරු දොස්තර | සිළුමිණ

අක්ෂි සැත්කම්වල පෙරළියක් කළ අපූරු දොස්තර

 මාස හතරකදී  1,500කගේ නෙත් පාදයි

 2016 සිට සිවු වසරක් පුරා  ගොඩගැසී තිබූ සියලු අක්ෂි  සැත්කම් කර අවසන්

 අලුයම 3 - 4 වනතුරු මාතර රෝහලේ  අඛණ්ඩව අක්ෂි සැත්කම්

අඳුරු දෑසකට ආලෝකයක් ලබාදීමේ වටිනාකමත් ඒ ලබාදුන් ආලෝකයත් නිසාම සුනාමි ඛේදවාචකයෙන් ලොවක් වටිනා දරු පවුලකගේ දිවි ආරක්ෂා වීම මහා හාස්කමක් බඳු ය. එමෙන්ම වසර හතරක් පුරා ගොඩගැසී තිබූ අක්ෂි සැත්කම් දහස් ගණනක් මාස කිහිපයක් තුළ සිදුකොට දහස් ගණනකගේ නෙත් පෑදීමද ප්‍රාතිහාර්යයක් වැනි ය.

මාතර මහ රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියංග බණ්ඩාර ඉද්දවෙළ යනු එවැනි පෙළහර පාන ජීවකයෙකි. තම දැනුම, පළපුරුද්ද, අසීමිත කැපවීම පමණක් නොව උපයාගත් ධනය ද රෝගීන්ගේ යහපත වෙනුවෙන් කැප කරමින් වසර ගණනක් අඳුරේ සිටි දහස් ගණනකගේ දෑසට ආලෝකයක් දකින්නට අවස්ථාව සලසාදීම නිසා අද ඔහු බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව ඇත.

සීතල බදුලු පුරවරයේ උපත ලබා ඌව මහා විද්‍යාලයෙන් සහ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රියංග බණ්ඩාර ඉද්දවෙළ, ජීව විද්‍යාව විෂය ධාරාවෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වන්නේ 1984 වසරේදීය. ඒ යුගය රටේ සහ විශ්වවිද්‍යාල පද්ධතියේ හැලහැප්පීම් රැසක් සිදුවෙමින් තරුණ ජීවිත රැසක් රටට අහිමිවූ කාලපරිච්ඡේදයකි. එහෙත් එය අභියෝගයක් කර නොගත් ප්‍රියංග බණ්ඩාර 1992 වර්ෂයේදී වසර නවයක විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට 1993 වසරේදී වෛද්‍යවරයකු ලෙස සීමාවාසීක පුහුණුව සඳහා එක් වූයේ මහනුවර මහ රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය ඒකකයටය. එහිදී සී. ආර්. සීමන් හා ඒ. බී. අබේසිංහ නම් ප්‍රකට අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා යටතේ පුහුණුව ලබන ඔහු විශේෂයෙන් විශේෂඥ වෛද්‍ය සී. ආර්. සීමන් යටතේ ආධුනික වෛද්‍යවරයකු ලෙස සිය ඉදිරි ගමනේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කර ගත්තේය.

අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු ලෙස අත්දැකීම් ලබමින් තම වෛද්‍ය දිවිය සාරවත් කරගන්නා වෛද්‍ය ප්‍රියංග බණ්ඩාර ඉද්දවෙළ විශේෂඥ උපාධිය නිම කරන්නේ මහනුවර හා කොළඹ නයනාරෝග්‍ය ශාලාවන්හිදීය. වෛද්‍ය ප්‍රියංගගේ බිරිය වන දේවිකා ඉද්දවෙළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරපෝෂවේදය පිළිබඳ මහාචාර්යවරියක ලෙස සේවය කරන අතර 1995දී ඔවුන්ගේ විවාහය සිදු වන්නේ සරසවි ප්‍රේමය ඵල දරමිනි. මේ වන විට ඔවුන් දෙපළගේ වැඩිමහල් දියණිය ශෂිනි ඉද්දවෙළ මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන අතර පුතු මෙල්බර්න් සරසවියේ ආර්ථික විද්‍යා උපාධිය හදාරමින් සිටී.

“මම විශේෂඥ උපාධිය සම්පූර්ණ කළාට පසු 2001 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ රාජකීය ඇඩිලේඩ් වෛද්‍ය විද්‍යාලයේදී වැඩිදුර පුහුණුව ලබා 2003 වසරේදී මෙරටට පැමිණ පොළොන්නරුව මහ රෝහලේ ප්‍රථම අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය ආරම්භ කළා. එහි ගත කළ කාලය ජීවිතයේ කිසිම දිනක අමතක වෙන්නේ නෑ. දවසක් මම ආදිවාසී ජන කොටසට අයත් රෝගියකුගේ ශල්‍යකර්මයක් සිදුකොට ඔහුව සුව කළා. පසුදින මම රෝහලට ගියාම අර රෝගියා මට කොළයක් හා පෑනක් අරගෙන මේක ලියාගන්න කියා මන්ත්‍රයක් කියන්න පටන්ගත්තා. මම මේ මොකක්ද? කියා ඇසුවාම ඔහු කීවේ මේ අපේ පරම්පරාවේ අලි මන්ත්‍රය, මේක අද වෙනකම් කාටවත් පරම්පරාවෙන් පිට දීල නෑ. මම සර්ට මේක දෙනවා කියලයි. මම ඒ ගැන වැඩිය උනන්දු නොවී රෝගියා සනසන්න එහෙන් මෙහෙන් ලියාගත්තා. එතනින් එය ඉවර වුණා. දවසක් මම ඇතුළු විශාල පිරිසක් ප්‍රධාන පාරේදී තනි අලියෙකුට අහු වුණාම එදා අර මන්ත්‍රය හරියටම ලියාගත්ත නම් කියලා මට හිතුණා. ඒ තරම් බයක් එදා මට දැනුණා. නමුත් එහේ ජනතාව අලි කරදර එක්ක ජීවත් වෙනවා දැකලා මමත් ඒ ජීවිතයට හුරු වුණා. දවසකට එක අලියෙක් හරි පාරේදි හමු නොවුණොත් ඒක අඩුවක් වගේ හිතට දැනෙන්න පටන් ගත්තා. ඒ තරමට මම ඒ ගමට බැඳී සිටියා”

එවැනි කතා රැසක් විශේෂඥ වෛද්‍ය ප්‍රියංග ඉද්දවෙළගේ මතක අතර වේ.

පොළොන්නරුවේ සේවයෙන් පසු වෛද්‍ය ප්‍රියංග සේවයට එක්වන්නේ මාතලේ මහ රෝහලේ පළමු අක්ෂි ශල්‍ය වෙද්‍යවරයා ලෙසය. පසුව අනුරාධපුරය, නුවරඑළිය, රත්නපුර ශික්ෂණ රෝහල්වලද සේවය කර ඇති ඔහුගේ ජීවිතයේ අමතක නොවන මතක රැසකි.

“2004 දෙසැම්බර් 26 පැමිණි සුනාමියෙන් මමත් මගේ පවුලේ අයත් බේරුණේ හාස්කමකින් වගේ. උපතේ සිටම පෙනීම නැති වයස අවුරුදු හැටපහක වැඩිහිටියෙක් දෙසැම්බර් 21 දින මා හමුවන්න ආවා. ඔහු ජ්‍යොතිෂවේදියෙක්. “සර් මට ජනවාරි 5 වැනිදා සම්මානයක් ලැබෙනවා. ඒක ගන්න යන්න කලින් ඇස් ඔපරේෂන් එක කරලා මට පෙනීම ලබාදෙන්න” කියලා ඔහු මට කිව්වා. පෞද්ගලික රෝහලක සැත්කම කරමු කියලත් ඔහු කිව්වා. ඒ ඉල්ලීම නිසාම මම ඔහුට කිව්වා සැත්කම 24 දා කරමු 23 දා එන්න කීවා. මම බලාගෙන හිටියත් ඔහු ආවේ නැහැ. 24 වැනිදා එයාගේ පුතා ඇවිත් කිව්වා 25 වැනිදා ඔපරේෂන් එක කරමු කියලා. මම කිව්වා එදාට නම් කොහෙත්ම කරන්න බෑ. මම ගෙදර අයත් එක්ක 25දා නිලාවේලි යනවා. නමුත් ඔහු දිගින් දිගටම බැගෑපත් වුණ නිසා මම මගේ නෝනට මේ ගැන කිව්වා. එයා මට කිව්වා අපි ලබන සතියේ ගමන යමු. ඇස් පෙනීම ලබාදෙන්න කරන උත්සාහයක් නිසා ඕක කරන්න කියලා. ඒ නිසා මම අපේ ගමන කල් දාගෙන 25 වැනිදා සැත්කම කරලා 26 වැනිදා උදේ ගියා රෝගියා බලන්න. ඔහු මට වැන්දා. එතකොට මට වයස තිස් පහක් විතර ඇති. මම කිව්වා ඔබතුමා වැඩිහිටියෙක්නෙ, මට වඳින්න එපා කියලා. “මට දැන් එළිය පේනවා. ගස්වල කොළ පේනවා” කියලා ඔහු හරිම සතුටින් කිව්වා. මම ඇහුවා 23 ආවෙ නැත්තේ ඇයි කියලා. “මම මගේ කේන්දරේ බැලුවා. ඒකෙ තිබුණා 24 වැනිදා සැත්කම කළොත් ලෙඩා හෝ වෙදා මැරෙනවා. ඒ නිසයි ආවේ නැත්තේ” කියලා ඔහු කිව්වා. මම වාහනයට ගිහින් රේඩියෝව දැම්මා විතරයි මෙන්න දිගටම සුනාමි ආපු එක ගැන කියනවා. මම අපි යන්න හිටිය හෝටලයට කතාකළාම දැනගත්තේ ඒ පැත්තම විනාශ වෙලා කියලා. එදා ගියා නම් අපේ පවුලම ඉවරයි.”

වෛද්‍ය ප්‍රියංග සැහැල්ලු සුසුමක් හෙළමින් කීවේය.

“මම මාතර මහ රෝහලට එනවිට පොරොත්තු ලේඛනයේ රෝගීන් 3000-4000ක් පමණ හිටියා. සමහරුන් අන්ධභාවයටත් ළංවෙමින් හිටියා. මසකට හැත්තෑවක් අසූවක් කළ සුද ඉවත් කිරීමේ සැත්කම් තුන්හාර සියය දක්වා වැඩි කළා. අන්තිම මාසයේ කළ සැත්කම් 500න් 400ක්ම මගේ අතින් කළේ. එයින් 350ක් පමණ ප්‍රධාන සැත්කම්. ඒ නිසාම පසුගිය වසරවල තිබූ පොරොත්තු ලේඛනය අවසන් කර දැන් ඉතිරිව තිබෙන්නේ මේ වසරේ ටික විතරයි. සමහර සැත්කම් රෝගීන්ගේ තත්වය අනුව පසුදිනම සිදුකළ අවස්ථාත් තිබෙනවා”

සැත්කම් රැසක් සිදුකරද්දී වෛද්‍ය ප්‍රියංගට අඩුපාඩු රැසක් දකින්නට ලැබුණු අතර රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මල්කාන්ති මැදිවක සමඟ සාකච්ඡා කර ඇතැම් අඩුපාඩු සකසා ගත්තද රෝගීන් සායනවලට පැමිණ තම අවස්ථාව එන තෙක් පඩි පේළියේ, කොරිඩෝවේ හෝ අගුපිලක සිටිනු දැකීම වෛද්‍ය ප්‍රියංගේ සිතේ ඇති කළේ දැඩි වේදනාවකි.

“රෝහලට එන රෝගීන්ට තම වාරය එනතෙක් හා පරීක්ෂණවලින් පසු විවේකයක් ගන්න පුළුවන් තැනක් හදන්න මම තීරණය කළා. මහ රෝහලේ පොලිස් මුරපොළේ නිරාවරණය වී තිබු උඩු මහල ඒ සඳහා සංවර්ධනය කරන්න රෝහල් අධ්‍යක්ෂවරියගේ අවසරය ගෙන කොන්ත්‍රාත්කරුවෙකු සෙව්වත් ඔහු ඒ සඳහා විශාල මුදලක් ඉල්ලුවා. පසුව අපි ඒ ‍වැඩේ කරන්න තීරණය කළා. ඒ ගැන දැනගෙන ව්‍යාපාරික තිලක් ජයසේකර මහතා බාස් කුලී ගෙවුවා. සති දෙකක් එක දිගට වැඩකර අපි වැඩේ නිම කළා. ලක්ෂ දහ අටක් ඉල්ලපු වැඩේ අපි ලක්ෂ දහයකින් කළා. මාතර සමූපකාර සමිතියේ චමින්ද ගුණසේකර මහතා රූපවාහිනී යන්ත්‍රයක් ගෙනැත් දුන්නා. පිරිසක් පුටු ගන්න උදවු කළා. මගේ අම්මා ජී. ඉද්දවෙළ හා මගේ බිරිය වතුර පෙරණයක් අරන් දුන්නා. රෝගීන්ට පණිවුඩ දෙන්න ශබ්දවාහිනී උපකරණ සවි කළා. වැඩ ටික කෙරීගෙන යනවිට ඒ ගැන සතුටු වෙලා මාතර බෝධි ආරක්ෂක සභාවෙන් අක්ෂි රෝගීන් පරීක්ෂා කරන උපකරණයක් අරන් දුන්නා. ලබන සතියේ මගේ වියදමින් බඩු අරන් අක්ෂි ඒකකය පිළිසකර කිරීමේ ශ්‍රමදානයක් පවත්වනවා. මගේ වෛද්‍ය කණ්ඩායම හා හෙද කණ්ඩායම තමයි මට තියෙන ලොකුම ශක්තිය. ඒක නිසාම දැන් මාතර මහ රෝහලේ අක්ෂි ඒකකය ගොඩාක් ඉදිරියට ඇවිත් තියෙනවා.”

තම උත්සාහයේ ප්‍රතිඵලය තුටු සිතින් විඳිමින් විශේෂඥ වෛද්‍ය ප්‍රියංග ඉද්දවෙළ එසේ පැවසුවේය.

 සටහන හා ඡායාරූප  ජයසිරි පේදුරුආරච්චි, ගන්දර සමූහ

Comments