රණ්ඩු තරමට ආදරෙත් අඩු නැති | සිළුමිණ

රණ්ඩු තරමට ආදරෙත් අඩු නැති

පාට පාට පොල් ටොෆි කන්න මල්ලි හරි ආසයි - දර්ශු

අයියා ඒ කාලේ මාව මෝඩයට අන්ඳනවා - කැළුම්

මවුපිය සෙනෙහස තරමටම විශ්වාසවන්ත සහ ආදරණීය බැඳීමක් වේ නම් ඒ, සහෝදර බැඳීම ය. මෙවර 'අයියා - මලෝ' විශේෂාංගය සරසන්නේ 'සංගීතේ' ටෙලි සිත්තම තුළින් ඔබේ ආලින්දයට එන නව පරපුරේ රංගන ශිල්පී කැළුම් දේවනාරායන හා ඔහුගේ සහෝදරයා වන දර්ශු දෙව් ය. පිළිසඳර අරඹන්නේ දර්ශු ගේ හඬින්

 

"මල්ලි ගොඩක් සංවේදී කෙනෙක්. හැමෝම ගැන හොයලා බලන ඉක්මනින් උණුවෙන හිතක් එයාට තියෙනවා. හැබැයි කුකුල් කේන්තිකාරයෙක්. පවුලේ දඟම කෙනා වගේම මුරණ්ඩුම කෙනත් මල්ලි තමයි. එයාට මොනව හරි කරන්න ඕනේ වුණොත් අපි කොච්චර එපා කිව්වත් වැඩක් නැහැ. එයා ඒක කරලමයි නවතින්නේ. හැබැයි ඉතින් ඒ කරන තරමක් ම කළේ දඟ වැඩ. අපි දෙන්නා අතර වයස් පරතරය අවුරුදු පහක්. ඒ කාලේ අපි රණ්ඩු වෙලා මොන දේ වුණත් අන්තිමට ගෙදරින් ගුටි කන්නෙ නම් මම." සොහොයුරාගේ කතාව කැළුම් අසා සිටියේ සිනාසෙමිනි. ඒ සිනහවෙන්ම ඔහු ද සහෝදර බැඳීමේ සොඳුරු මතක අවදි කළා.

"අපේ පවුලේ ඉන්නෙ අයියයි අක්කලා දෙන්නයි මමයි. අක්කලා දෙන්නා අපි දෙන්නට වඩා වැඩිමල්. පොඩි කාලේ ඉඳන් එකටම හිටියේ අයියයි මමයි. හැබැයි ඉතින් දෙන්නගෙ රණ්ඩු නම් නොතිබුණ දවසක් නෑ. කොච්චර රණ්ඩු වුණත් පවුලෙන් වැඩිපුරම ආදරණීය බැඳීමක් තිබුණෙත් අපි දෙන්නා අතරම තමයි. අදටත් රණ්ඩු වගේම ආදරෙත් අඩුවක් නැතුව අපි දෙන්නා ළඟ තියෙනවා. තාත්තා ඇරුණාම මගේ ජීවිතේ සමීපතමයා අයියා. ඇත්තටම එයා මගෙ දෙවැනි තාත්තා කිව්වොත් හරි" කැළුම් එසේ කියද්දී ඔහු ළමා වියේදී කළ නිමක් නැති දඟකාරකම්වලින් කිහිපයක් දර්ශු අප සමඟ කියන්න පටන් ගත්තා..ඒ අතීතය ගැන මුහුණේ ඇඳුණු ආදරණීය හිනාවකුත් එක්ක.

" ඒ කාලේ අපේ ගෙදරට එහා ගෙදර පොඩි ගෑනු ළමයි දෙන්නෙක් හිටියා. එතකොට මල්ලි මොන්ටිසෝරි යනවා. ඒ ගෑනු ළමයි දෙන්නම මල්ලිට වඩා ටිකක් බාලයි. මල්ලි නිතරම එහෙ යනවා. දවසක් මෙයා එහෙ ගිය වෙලාවක එක ගෑනු ළමයකුට කිස් එකක් දීලා. ඒ ළමයා බයවෙලා හොඳටම අඬලා. ඒ ළමයගේ අම්මා ඇවිත් හිනාවෙවී ඔය කතාව අපි එක්ක කිව්වා. " හංගන් හිටපු දෙයක් නොහිතපු වෙලාවක අයියා ගේ කටින් එළියට ආපු නිසා තරමක් ලැජ්ජාවෙන් දෝ කැළුම් ඒ කතාවට බාධා කළා.

" ඔහොම කිව්වට අයියත් කරපු දඟ වැඩ ගොඩයි. එයා සාමාන්‍ය පෙළ ඉවර වෙනකොට මම පහ වසරේ. දවසක් අපි දෙන්නා බෑන්ක් එකක සෙල්ලමක් කළා. අයියා තමයි බැංකු නිලධාරියා, මම කස්ටමර්. මම යන්නෙ ලෝන් එකක් ගන්න. ඒත් එතනදි වෙන්නෙ අයියා මාව මෝඩයා කරලා මගෙන් සල්ලි ගන්න එක. මේ ළඟදිත් මට ඒ සෙල්ලම මතක් වුණා. ඒ කාලේ මෙයා මාව මෝඩයකුත් කළා නේද කියලා. "

" තව දවසක් අපි සෙල්ලම් කරද්දි අයියා වැටිලා අත කැඩුණා. එදා අයියාට ටිකක් අමාරු වුණා. බයත් එක්ක මට එදා දැනුණු දුක අදටත් කියාගන්න තේරෙන්නෙ නැහැ. අයියා නිසා මටත් පොඩි පොඩි අකරතැබ්බත් වෙලා තියෙනවා."

ඒ මොනවගේ දේවල්ද අපිට ඒ මතකය අවුස්සන්න හිතුණා..

" පොඩි කාලේ අපි දෙන්නා ඇඳුම් ශෙයා කරගෙන අඳිනවා. අයියා එයාගේ ඇඳුම් මට දෙන්න ටිකක් හොරයි. ඉතින් මම කරන්නේ අයියා කොහෙ හරි යනකම් ඉඳලා කාමරේට ගිහින් මට ඕන ඇඳුම අරගෙන ඇඳගෙන යනවා. සමහර දවස්වලට මම ගෙදර එද්දි පොඩි අක්කා ගේට්ටුවට වෙන ටී ෂර්ට් එකක් දාලා තියෙනවා. මම ඒක ඇඳගෙන ගෙට එනවා. " ඒ රස මතක දැන් දෙදෙනාගේම මුවඟට ගෙන එන්නේ සුන්දර සිනහවක්.

"අයියා ඕ ලෙවල් පාස් වෙද්දි මම පොඩියිනේ. ඒත් මම සල්ලි එකතු කරලා ඉස්කෝලෙ බුක්ෂොප් එකෙන් අයියට කොළ පාට කීටැග් එකක් අරන් දුන්නා. ඒක තාමත් එයා ගාව තියෙනවා." කැළුම්ගේ හඬ තරමක් හැඟීම්බරය. ඒ අතර තුරේ දර්ශු ද එවැනිම සිදුවීමක් ගැන මතකය අවදි කළා.

" දවසක් මල්ලිට හතිය හොඳටම වැඩිවෙලා කතා කරන්නවත් බැරිව දවස් දෙකක් හොස්පිට්ල් හිටියා. ඒ වෙලාවේ ගෙදර හැමෝම හොඳටම බය වෙලා අඬ අඬා හිටියේ. ඒක මට කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ. ඒ වගේම එයාගෙ 22 වැනි උපන්දිනේට ඩ්‍රාමා එකෙ කට්ටියත් එකතු කරගෙන සප්‍රයිස් පාටි එකක් දුන්නා. ගෙදර වත්තේ ගහක බැඳලා පිටි, බිත්තරවලින් නෑව්වා. එදා රෑ මල්ලිට උණත් හැදුණා. විනෝදෙට කරපු වැඩක් වුණත් මල්ලි අසනීප වුණ නිසා ටිකක් දුකයි "

" මල්ලි පාට පාට පොල් ටොෆි කන්න හරි ආසයි. ඒ නිසා සතියට දවසක් අනිවාර්යෙන් ගෙදර හදනවාමයි. මුලදි අපිටත් දුන්නා. දැන් එයා ම හදාගෙන එයා ම තනියම කනවා" ඒ කතාව නම් අයියාගෙන් මල්ලිට එල්ල වුණු ආදරණීය නෝක්කාඩුවක්.. ඒ අතර සොහොයුරාගේ රංගන හැකියාව ගැනත් ඔහුට තිබුණේ නිහතමානී සතුටක්.

"මම හිතනවා මල්ලිගේ රංගන ජීවිතයේ ආරම්භය සාර්ථකයි කියලා. එයා ඒ චරිතයට උපරිම සාධාරණයක් කරනවා. එයාගේ ගමනට අපි හැමෝගේම උපරිම සහයෝගය ලැබෙනවා" කැළුම් පවසන්නේ ඔහුගේ ජීවිතේ ලොකුම ශක්තිය සොහොයුරා බවයි. ඒ හැඟීම වදන්වලට පෙරුළුණේ මෙලෙසයි..

"මගේ වැරැද්දක් අඩුපාඩුවක් දැක්කොත් අයියා ඒක පෙන්නලා දෙනවා. අයියට ජීවිතේ ගැන සමාජය ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා අයියා ළඟ ඉන්න එක මට ලොකු ශක්තියක්"

Comments