අපි හැමදාම ගේම ඉල්ලු‍වේ ක්ෂේත්‍රය රැකගන්න | සිළුමිණ

අපි හැමදාම ගේම ඉල්ලු‍වේ ක්ෂේත්‍රය රැකගන්න

පෞද්ගලික දේවල් නිසා රංගන කටයුතුවලට පොලු‍ තියලා නැහැ...

 

හර්ෂ තෙන්නකෝන් වැඩි සද්ද බද්ද නැතිව ‍රංගන ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යන දක්ෂ රංගන ශිල්පියෙක්. මෙච්චර කල් හර්ෂගෙයි තනුක්ෂිගෙයි ජීවිතයම වෙලා තිබ්බේ නුවී පුංචි පුතා විතරයි. ඔන්න දැන් මේ පුංචි කැදැල්ලේ ආදරේ බෙදාගන්න තවත් පුංචි අමුත්තෙක් එකතු වෙලා. අලු‍ත් අමුත්තා පවුලට එකතු වුණ සතුටත් අරගෙන හර්ෂ අපේ කතා බහට එක් වුණා.

 

හර්ෂ - තනුක්ෂි කැදැල්ලට එකතු වුණු පුංචි අමුත්තා නිසා සතුට දෙගුණ තෙගුණ වෙලා ඇත්තේ ?

අපේ පවුලට තව පුතෙක් එකතු වුණා. ඒ ගැන සතුටුයි. මුලින්ම රටේ වසංගත තත්ත්වය ඇති වුණ කාලේ තමයි බිරියට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තේ. ඉතිං ලොකු අවධානමක් අරන් තමයි රෝහලට ආවේ ගියේ. දරුවෝ කියන්නේ සම්පතක්. තවත් දරුවෙක් ජීවිතයට එකතු වුණ සතුට දැනෙනවා මොන ගැටලු‍ තිබ්බත්.

 

දෙවැන්නත් පුතෙක් වෙනවටද කැමැත්තෙන් හිටියේ?

දෙවැනි පුතා ලැබෙන්න ඉද්දි තනුක්ෂිට කන්න බැරි වුණා. නිතර වමනේ ගියා. අපි හිතුවේම දුවෙක් ලැබෙයි කියලා. පරීක්ෂා කරද්දි දැන ගත්තා පුතෙක් බව. මම මුල්ම දරුවා දුවෙක් වෙනවට කැමැත්තෙන් හිටියේ. පුතා ලැබුණාට පස්සෙ හිතුණා පුත්තුම හොඳයි කියලා.

 

පුතාට දැන් නමක් තිබ්බද?

පුතා ලැබිලා තවම දවස් කිහිපයයි. මමයි බිරියයි පුතාට දාන්න නමක් හිතලා තියෙන්නේ. වෙලාවල් ගැන අපි ලොකුවට හිතන්නෙ නැහැ. ඒ නිසා මුලින් හිතපු නමම දාන්න පුළුවන් වෙයි.

 

ලොකු පුතා පුංචි මල්ලිව කොයි විදිහටද පිළිගත්තේ. ආදරේ බෙදන්නත් දැන් ලොකු මහන්සියක් ගන්න වෙනවා ඇති ?

ලොකු පුතා එකපාර ලොකු අයියා කෙනෙක් වුණා වගේ. එයාට තවම අවුරුදු දෙකයි මාස හයයි. අම්මා මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ගේනවා කියලා දැනගත්තම එයා පුදුම විදිහට අම්මට අවධානය දුන්නේ.

නිතරම අම්මගෙ බඩ ඉඹිනවා. අම්මගෙ කකුල් අතගානවා. අම්මට ඇඳුම් අඳින්න පවා එයා තමයි උදවු කළේ. හැබැයි මල්ලි ගෙනාවට පස්සෙ අම්මා මල්ලිට කිරි දෙනවනේ. එයාට අවධානය අඩුයි වගේ දැනෙද්දි දුක හිතෙනවා. ඉස්සර එයා නිදාගනිද්දි අම්මගෙ කිරි බොනවා. දැන් අඩ ගැහුවත් කිරි බොන්න යන්නේ නැහැ.මල්ලිට කිරි බොන්න දීලා බලන් ඉන්නවා. මල්ලිව ආදරේට කියලා හයියෙන් අල්ලද්දි අපි එපා කිව්වොත් ලොකු පුතාට දුකයි. එයාටත් වෙනසක් නැතිව අවධානය දෙන්න අපි උනන්දු වෙනවා.

 

ජීවිතේ දැන් සංකීර්ණ බව දැනෙනවා ඇති ?

තනියම ඉන්න කාලෙ ජීවිතේ ලොකු වගකීමක් තිබ්බේ නැහැ. හිතෙන හිතෙන තැන්වල යන්න, කැමැති දේවල් කරන්න පුළුවන්කම තිබ්බා. මමයි බිරියයි සංචාරෙට කැමැතියි. විවාහ වුණාට පස්සෙත් ඒ දේවල් ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් බබාලා ලැබුණට පස්සෙ ඒ රටාව වෙනස් වුණා. ජීවන රටාව වෙනස් නොවුණට ගන්න තීරණ යම් තාක්දුරට වෙනස් වුණා. ඉස්සරට වඩා ජීවිතයේ සංකීර්ණ බව දැනෙනවා.

 

ඒ කියන්නෙ හිතෙන දේවල් කරන් හිටපු හර්ෂණගේ ජීවිතේ දැන් උඩු යටිකුරු වෙලා ?

ජීවිතේ සෑහෙන වෙනස් වුණා. මගේ පරණ ගති එළියට එද්දි දැන් වුණත් බිරිය මා එක්ක වාද කරනවා. මම හැමතිස්සෙම අපේ අය වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්. නමුත් බිරිය කියන්නෙ දැන් එහෙම වෙන්න එපා මං කරන දේවල් දිහා පුතාලා බලන් ඉන්නවා කියලා. මම හරි ආදරණීය මනුස්සයෙක්. ආදරේ කරන්න වගේම ඒකෙ අනෙක් පැත්තත් මට හොඳට පුළුවන්. නමුත් දැන් සෑහෙන පාලනයකින් ඉන්නේ.

 

මේ දවස්වල රංගනයෙන් ඇයි ඔබ පේන්න නැත්තේ ?

ලංකාවෙ මුලින්ම කොරෝනා රෝගය වාර්තා වුණාට පස්සෙ ඉඳන් මේ මෑතක් වෙනකල් මම රඟපෑවේ නැහැ. දීර්ඝ වැඩ බාර ගත්තෙත් නැහැ.

කොටස් අඩු ප්‍රමාණයක නාට්‍යයක් බාර ගත්තා. ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාගේ 'පරඬැල්' කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මේ දවස්වල අනුරාධපුරයේ කෙරෙනවා. මම සම්බන්ධ වුණු නාට්‍ය විකාශය වෙන්නත් තියෙනවා.

 

ඔය වගේ තෝරගැනීම් කරලා පැවැත්ම හදාගන්න පුළුවන්ද ?

ආර්ථීක පැත්තෙන් එය හානිකරයි. පහුගිය ටිකේ මෙගා බාර නොගත්තේ මට ගෙදර සෑහෙන වැඩ කොටසක් කරන්න තිබුණු නිසා. ඒ දවස්වල බාර ගෙන තිබුණු නාට්‍යකින් පවා මං ඉවත් වුණා රූගත කිරීම් වලට යන්න විදිහක් නැතිව. පවුල වෙනුවෙන් කළ යුතු දේවල් හැමදේටම වඩා වටිනවා.

වැඩ මග හරිද්දි හර්ෂණගේ ලොකුකම කියලත් හිතෙන්න පුළුවන් ?

වෙන්න ඇති. මම වැඩවලට ගියත් වැඩ කරන විදිහක් තියෙනවා. මම වැඩක් කරද්දි ඒ වැඩේ ඉන්නේ. කාගෙවත් සල්ලි නාස්ති කරලා පිස්සු නටනවට මම කැමැති නැහැ. මම වෙලාවට වැඩකරන මනුස්සයෙක්. රෑ එක දෙක වෙනකල් වචනයක් නොකියා වැඩේ කරනවා. පෞද්ගලික දේවල් නිසා රංගන කටයුතුවලට පොලු‍ තියලා නැහැ. කොරෝනා නිසා මම ගොඩක් හිර වුණා. කාවවත් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්කම තිබ්බෙත් නැහැ. ඒ නිසයි වැඩ අතහරින්න වුණේ. ඒකේ අදහස මම දිගටම මගහරිනවා කියන එක නෙමෙයි. ඒක තේරුම් ගන්න බැරි අය මාත් එක්ක තරහා වුණත් කරන්න දෙයක් නැහැ.

කලාකරුවෝ මේ මොහොතේ වැඩ කරන්නේ අවධානමක් අරන්. ඔබ දකින විදිහට ක්ෂේත්‍රයේ වැඩ කෙරෙන්නෙ ආරක්ෂිතවද?

සමහර තැන්වල වැඩ කෙරෙන විදිහ ආරක්ෂිතයි. සමහර තැන්වල නැහැ. ඊළඟ මොහොතේ අපිව මේ වයිරසයට ගොදුරු වෙයිද කියන්න බැහැ. ක්ෂේත්‍රය පරෙස්සම් කරගන්න නම් අපි පරෙස්සම් වෙන්නම ඕනේ. අපි හැමදාම ගේම ඉල්ලු‍වේ මේ ක්ෂේත්‍රය රැකගන්න. ආර්ථික ප්‍රශ්න නිසා අපිට මේ වෙලාවේ වැඩ නොකර ඉන්න බැහැ.

Comments