දේශීයත්වයේ පටු සීමා විනිවිද දේශීයත්වයේ මහිමය දැකීම | සිළුමිණ

දේශීයත්වයේ පටු සීමා විනිවිද දේශීයත්වයේ මහිමය දැකීම

එකුන් විසි වන සියවස ප්‍රභාවත් කළ, සාහිත්‍ය කලා ක්ෂේත්‍රයෙහි ජගත් සම්භාවනාවට පාත්‍ර වූ දකුණු ආසියාතික සංස්කෘතික විබුධයන් දෙදෙනා අතුරෙන් කෙනෙකි ආනන්ද කුමාරස්වාමි; අනෙක් සංස්කෘතික ප්‍රාඥයා අසල්වැසි බෙංගාලයේ උපන් රබින්ද්‍රනාත් තාගෝර්ය. ආසන්න වශයෙන් එකම කාලයක ජීවත් වූ මේ දෙදෙනා ම දේශීයත්වයේ පටු සීමා විනිවිද විශ්ව මනසකින් දේශීයත්වයේ මහිමය ලොවට පෙන්වා දුන් සෞන්දර්යවේදීන් - චින්තකයන් වීම විශේෂත්වයකි.

ආනන්ද කුමාරස්වාමි යාපනයේ කීර්තිමත් ප්‍රභූ පරපුරක සාමාජිකයෙකි. උපතින් ලාංකික වූ මේ පරපුරේ බොහෝ සාමාජිකයන් හැදී වැඩුණේ විශ්ව සංස්කෘතියක සෙවනේය. ඒ පරපුරේ පුරාපුරුෂයන් පටු ජාති ආගම් සීමා ඉක්මවා පුළුල් මානවවාදී දැක්මකින් කටයුතු කිරීම විශේෂත්වකි. ආනන්ද කුමාරස්වාමිගේ පියා මුතු කුමාරස්වාමි නයිට් පදවියක් ලද ප්‍රථම ආසියාතිකයා වන අතර ඔහු පාලි දාඨාවංසය ද සුත්ත නිපාතය ද ඉංග්‍රීසියට පරිවර්තනය කෙළේය. බෞද්ධ පුනර්ජීවන සමයේ භික්ෂූන් වහන්සේ ඇසුරේ මුතු කුමාරස්වාමි ඇතුළු කොළඹ වාසය කළ යාපනයේ ඇතැම් ශාස්ත්‍රාභිලාෂීහු පාලි හා සංස්කෘත භාෂා උද්ග්‍රහණය කළහ.

ආනන්ද කුමාරස්වාමිගේ මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. එනයින් බලන කල ආනන්ද කුමාරස්වාමි ලෝකයේ උසස් සංස්කෘතීන් කිහිපයක සෙවන ලැබීමට භාග්‍යවන්ත විය. ආනන්ද කෙන්ටිශ් කුමාරස්වාමි උපත සිදු වූයේ 1877 වර්ෂයේ අගෝස්තු මස 22 දින කොළඹදීය.

තම දරුවාට මනා අධ්‍යාපනයක් ලබා දීමේ අටියෙන් කුමාරස්වාමි මාතාව කුමාරස්වාමි ළදරුවා සමඟ එංගලන්තය බලා පිටත් වූවාය. මුතු කුමාරස්වාමි ද මෙරටින් නැව් නැග එංගලන්තය බලා යාමට සිටි දිනයේ ම ඔහුගේ හදිසි අභාවය සිදු විය. මව සියලු බාධක මැඬ ගෙන තම දරුවාට මනා විද්‍යා අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණෙන් 1889දී ආනන්ද එංගලන්තයේ වයික්ක්ලිෆ් විද්‍යාලයට ඇතුළත් කළාය. පාසල් අධ්‍යාපනය නිමවා ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ආනන්ද කුමාරස්වාමි 1900 වර්ෂයේදී භූගර්භවිද්‍යාව සහ උද්භිදවිද්‍යාව යන විෂයයන් හදාරා ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් සහිතව විද්‍යාවේදී උපාධිය ලැබීය.

කෙටි කලක් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු ලෙස සේවය කළ ආනන්ද කුමාරස්වාමි 1903 වර්ෂයේ ලංකා ඛණිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට පත් කෙරිණ. විද්‍යාවේදී ප්‍රථම උපාධියක් ලද ආනන්ද කුමාරස්වාමිට ආසියාතික කලාවේ මහිමය ලොවට හෙළි කිරීමට මග පෑදූ ශික්ෂණයකට අවතීර්ණ වීමේ අවස්ථාව උදා වූයේද මේ තනතුරට අදාළ ක්ෂේත්‍ර ගවේෂණ කටයුතුවල නියැළී සිටියදීය.

ඛණිජ ගවේෂණ කටයුතු සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශවල ක්ෂේත්‍ර අධ්‍යයනයන්හි නියැළෙන අවස්ථාවලදී පැරණි ගෘහ නිර්මාණ ශිල්පය සහ ඒ ආශ්‍රිත සිතුවම්, මූර්ති, කැටයම් මෙන්ම විවිධ ජන කලා, පාරම්පරික ජීවන වෘත්ති හා චාරිත්‍ර වාරිත්‍ර ආදිය කුමාරස්වාමිගේ විශේෂ අවධානයට බඳුන් විය. ඒ පිළිබඳ කරුණු එක් රැස් කොට 1905, 1906 සහ 1907 යන වර්ෂවල රාජකීය අසියාතික සමිතියේ ලංකා ශාඛාවේ සඟරාවට රත්නපුර දිස්ත්‍රික්කයේ නවදුන් සහ කුරුවිට කෝරලයේ වී වගා කිරීමේ චාරිත්‍ර, සිංහල කලාවේ නොනැසී පවත්නා තැන්, කින්නර ජනයාගේ දාරුමය සිතුවම්, පෙති පිළිම, දුම්බර කළාල පැදුරු විවීම සහ වර්ණ ගැන්වීම යන විවිධ විෂයන් පිළිබඳ සාරගර්භ ලිපි සම්පාදනය කළේය.

එමෙන්ම ඔහුගේ සංස්කාරකත්වයෙන් පළ වුණු ලංකා ජාතික සංගමයේ ශාස්ත්‍රීය සඟරාවේද (Ceylon National Review) ලාංකික කලා ශිල්ප ගැන මෙන්ම ඒ කලා ශිල්ප රැක ගෙන ආ පාරම්පරික ශිල්ප ශ්‍රේණි මුහුණ පා තිබෙන දුර්දශාව පිළිබඳ ලිපි පළ කළේය. 1908 වර්ෂයේදී ඔහු Medieval Sinhalese (මධ්‍යකාලීන සිංහල කලා) නමැති විශිෂ්ට ග්‍රන්ථය රචනා කෙළේය. කලින් සඳහන් කළ ලිපිවල මෙන්ම මේ කෘතියේද විශේෂත්වය වන්නේ ආගමික හෝ වාර්ගික අගතියකින් තොරව ලාංකික අනන්‍යතාව ගවේෂණය කිරීමට ඔහු තුළ වූ අභිලාෂයයි.

1906 වර්ෂයේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාසූරී (D.Sc) උපාධිය ලත් ආනන්ද කුමාරස්වාමි ලංකාවේ දැරූ තනතුරෙන් ඉවත්ව ඉන්දියාවට ගොස් ඉන්දියානු සාහිත්‍ය කලා, භාෂා හා දර්ශනවාද පිළිබඳ පූර්ණකාලීන අධ්‍යයනයෙහි නිමග්න විය.

රබින්ද්‍රනාත් තාගෝර් විසින් ආරම්භ කරන ලද ශාන්ති නිකේතනයට ගොස් ඉන්දියානු භාෂා හා දර්ශනවාද පිළිබඳ මූලික අවබෝධයක් ලැබූ කුමාරස්වාමි ක්ෂේත්‍ර අධ්‍යයන කාර්යයෙහි නියැළිණ.

කලාව පිළිබඳ ගැඹුරුතර අධ්‍යයනයක නියැළෙන පර්යේෂකයා තත් කලා සම්ප්‍රදාය හා බැඳී තිබෙන භාෂා හා දාර්ශනික චින්තාවන් පිළිබඳ මනා අවබෝධයක් ලැබ සිටිය යුතු බව තරයේ විශ්වාස කළ කුමාරස්වාමි පෙරදිග භාෂා බොහෝ ප්‍රමාණයක හා දර්ශනවාද පිළිබඳ පෘථුල අවබෝධයක් ලබා සිටි බව ඔහුගේ ශාස්ත්‍රීය අධ්‍යයනවලින් හෙළි වෙයි.

මෙලෙස පූර්ණ කැපවීමකින් යුතුව සිදු කළ අධ්‍යයනයෙන් පසු එතෙක් ඉන්දියානු කලාව පිළිබඳ තහවුරුව පැවති යුරෝ කේන්ද්‍රීය සාවද්‍ය මතවාද සහේතුකව ඛණ්ඩනය කිරීමට ඔහු සමත් විය. ක්ෂේත්‍ර අධ්‍යයනයෙහි නිමග්නව සිටි කාලයේදී කුමාරස්වාමි විසින් දුර්ලභ ගණයේ කලා කෘති රැසක් එක් රැස් කර ගත් අතර ඒවා ප්‍රදර්ශනය සඳහා ස්ථානයක් ඉන්දියාවෙන් සොයා ගැනීමට උත්සාහ කළද ඒ උත්සාහය ව්‍යර්ථ විය.

අවසානයේ 1917 වර්ෂයේදී ඇමරිකාවේ බොස්ටන් නුවර ලලිත කලා කෞතුකාගාරයේ ඒ දුර්ලභ පුරා වස්තු ප්‍රදර්ශනය සඳහා වෙනම පරිශ්‍රයක් ලබා ගැනීමට කුමාරස්වාමි සමත් විය. එපමණක් නොව ඉන්දියානු කෞතුක වස්තු පිළිබඳ අංශයේ ප්‍රධානියා ලෙස කුමාරස්වාමි මහතාගේ සේවය ලබා ගැනීමටද කෞතුකාගාර බලධාරීහු ක්‍රියා කළහ. බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ සේවය කළ කාලයේ ආසියාතික කලාව සම්බන්ධයෙන් කුමාරස්වාමි විසින් පළ කරන ලද ලිපි සහ ග්‍රන්ථ සම්භාරය අද දක්වාම තත් විෂය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික කෘති ලෙස සම්භාවනාවට පාත්‍ර වෙමින් පවතී.

ආනන්ද කුමාරස්වාමි එංගලන්තයේ අධ්‍යාපනය ලැබ බොහෝ කලක් ඇමරිකාවේ ජීවත් වුවද බටහිර ශිෂ්ටාචාරය පෙරදිග මිනිසුන්ගේ ජීවන ක්‍රමය කෙරෙහි ඇති කළ අනර්ථකාරී බලපෑම සහේතුකවත් නිර්දය ලෙසත් විචාරයට ලක් කෙළේය.

ධනවාදය මෙරට පාරම්පරික ශිල්ප ශ්‍රේණිවල ජීවන පැවැත්ම සුනු විසුනු කර දැමූ අයුරු ඔහු පෙන්වා දුන්නේය; ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ලාංකිකයා හර පද්ධතියක් නැති නිකමකු බවට පත් කර ඇති සැටි ඔහු පෙන්වා දුන්නේය. කුමාරස්වාමිගේ චින්තනය පියදාස සිරිසේනගේ ජාතිමාමකත්වය හා සසඳමින් මාර්ටින් වික්‍රමසිංහ පැවසූ අදහසකින් මේ තීරුව අවසන් කිරීම යෝග්‍යය. “සිරිසේන මහතා බටහිර හැම දේටම කර්කශ ලෙස පහර දුන්නේ පණ්ඩිතයකු ලෙස නොව ජාතික හැඟීමෙන් පිස්සු වැටුණකු ලෙසිනි. කුමාරස්වාමි මහතා අප රටෙහිත් ඉන්දියාවෙහිත් පැතිරෙන්නට වූ බටහිර සමය නිර්දය ලෙස විවේචනය කෙළේ විද්‍යාත්මක අධ්‍යාපනය විසින් හික්මවූ උගත් විචාරකයකු ලෙසිනි.”

Comments