‘යහපාලන’ ආණ්ඩුවේ ගිවිසුම් නිසා කන්තලේ ගොවි පවුල් 600ක් අනාථයි | සිළුමිණ

‘යහපාලන’ ආණ්ඩුවේ ගිවිසුම් නිසා කන්තලේ ගොවි පවුල් 600ක් අනාථයි

කන්තලේ සීනි කම්හල් භූමියේ බඩ ඉරිගු වැවීමේ සමාරම්භක උත්සවයට මැතිඇමතිවරු එක්ව සිටි අයුරු

න්තලේ සීනී කම්හල නැවත ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිගේ ආරාධනයෙන් කන්තලේට පැමිණි දිවයිනේ ප්‍රමුඛතම බඩ ඉරිගු නිෂ්පාදකයාට කන්තලේ සීනී කම්හල හැර යෑමට සිදුව ඇත්තේ, යහ පාලන රජය සමයේ නොරටුන් සමඟ ඇතිකර ගත් ගිවිසුම් සෞභාගයේ ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට හිතන තරම් පහසු කාර්යයක් නොවන බව මොනවට පෙන්නුම් කරවමිනි. 

සෑම මැතිවරණයකදීම ත්‍රිකුණාමලයේ ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුව කන්තලේ සීනි කම්හලයි.

නව ආයෝජකයා වසර විසිහතක් පුරා මහ කැලයක් බවට පත්ව තිබු සීනී කම්හල් භූමියට අයත් ඉඩම් ගොවියන්ට බරක් නොදී තම වියදමින්ම එළිපෙහෙළි කොට එහි බඩ ඉරිගු වැවීමට කටයුතු සැලසුම් කිරීම ගොවියන්ගේ ප්‍රසාදයට හේතු විය.

රජයේ ප්‍රබල අමාත්‍යවරු කිහිප දෙනෙකුගේම ආශිර්වාදයෙන් ඇරඹි එම ව්‍යාපෘතියට හරස් කැපීමට අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනකු කටයුතු කරන්නේ, කන්තලේ සීනී කම්හල නැවත ආරම්භ කිරීමේ සිහිනය දකිමින් සිටින ගොවීන් නැවත වරක් අන්ත අසරණ කරවමිනි.

වසා දැමුණු කන්තලේ සීනී කම්හල නැවත ආරම්භ කිරීම මැතිවරණ වේදිකාවේ දේශපාලඥයන් කියන කතා තරම් පහසු නැත. කලින් පැවති සීනී කම්හල මේ වන විට භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවතීම ඊට හේතුවයි.එහි තිබෙන සම්පත් උපයෝගි කර ගනිමින් නව කර්මාන්ත ශාලාවක් ඇරඹීම විකල්පයයි. එහි මූලික පියවර ලෙස හැමදෙනාම දකින්නේ, වසර විසිහතක් පුරා කැලයට බිලිවූ සීනී කම්හල් භූමිය එළිපෙහෙළි කර නව කම්හලක් ආරම්භ කරන තෙක් එහි උක් හෝ වෙනත් වගාවකට ගොවීන් යොමු කිරීමයි.

නව රජයට කන්තලේ සීනී කම්හල නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාව දැඩිව ඇති වී තිබුණි. එහෙත් ,ඊට හොඳ ආයෝජකයකු සොයා ගැනීමට නොහැකි වීම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබියදී, දිවයිනේ ප්‍රකට බඩ ඉරිගු වවන්නකු වන එවර්ග්‍රීන් සමාගමේ හිමිකරු කේ.එස්.ටී.පෙරේරාට සීනී කම්හලේ කටයුතු ආරම්භ කෙරන තෙක්, එම භූමියේ බඩ ඉරිඟු වැවීමට ආරාධනය කර ඇත්තේ, රජයේ ප්‍රබල භූමිකාවකට පණ පොවන්නෙකි. අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ඒ බව ඉකුත් ඔක්තෝබර් 02 දින කන්තලේ සීනී සමාගමට අයත් භූමියේ අක්කර 2000 ක බඩ ඉරිඟු වැවීමේ සමාරම්භක උත්සවය අමතමින් කළ කතාවේදී පැහැදිලිව ප්‍රකාශ කර තිබුණි. එම උත්සවයට රාජ්‍ය අමාත්‍ය චානක වක්කුඹුර මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරලද එක්ව සිටියහ.

කන්තලේ සීනී කම්හල නැවත ආරම්භ කරන තෙක් එහි බඩ ඉරිගු වවන ලෙසත්, අනතුරුව එහි උක් වගා කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසුණු පසු එම අවස්ථාවද අදාළ සමාගම වෙත ලබා දෙන බවට රජයේ ප්‍රබලයකුගෙන් ලද වාචික පොරොන්දුව පමණක් පිළිගත් එවර්ග්‍රීන් සමාගම එහි බඩ ඉරිගු වැවීමේ කටයුත්තට පණ පොවන්නේ, කෝටි හතරකට වඩා මුදලක් ඒ සඳහා වැය කරමිනි.

“රජයේ ප්‍රබල ඇමතිවරු දෙන්නෙකුත් සහභාගි වෙලා පටන් ගත්තු බඩ ඉරිගු ව්‍යාපෘතිය මේ වන විට නතර වෙලා. මේක කන්තලේ ගොවීන්ට කරපු මහම මහ අපරාධයක්..“ එසේ කියන්නේ, බටුකච්චිය ගොවි සංවිධානයේ සභාපති ඩී.කේ.සෙනෙවිරත්නයි.

බැසිල් රාජපක්ෂයන් නව ආයෝජකයාගෙන් ඉල්ලා ඇත්තේ වගා බීම සැකසීම හා ඊට අදාළ කටයුතු සඳහා සියලු වියහියදම් එවර්ග්‍රීන් සමාගමට දරන ලෙසත් අස්වැන්න නෙළන අවස්ථාවේදී එම වියදම් ගොවීන්ගෙන් සාධාරණ ලෙස පියවා ගැනීමට කටයුතු කරන ලෙසත්ය.

“ඇත්තටම මෙහෙම ආයෝජකයෙක් මීට කලින් කන්තලේට ආවේ නැහැ. ආපු අය ඔක්කොම කෙළ හෙළ හෙළා හිටියේ මේකෙ තියෙන යකඩ ගොඩට. හැබැයි, මේ ආයෝජකයා අපිට බිම නොමිලේම බිම හදලා දීලා හාලා බඩ ඉරිගු වවන්න පුළුවන් තත්ත්වයට ඉඩම් ටික හදලා තියෙනවා. මේ ටිකට අඩුම තරමින් කෝටි හතරක් පහක් වියදම් වෙලා තියෙනවා. එසේ කියන්නේ නැගෙනහිර ගොවි සංවිධානයේ කමිටු සාමාජික ඩී. කේ. ඒකනායකයි. 

ගොවීන්ට බඩ ඉරිගු වගා කිරීමට අදාළ අවශ්‍ය මූලික පිරිවැය වෙනුවෙන් බැංකු ණයක් ලබාදීමට ආයෝජකයා සොයා බැලුවද බොහෝ ගොවීන්ගේ නම් ඒ වන විටත් මහ බැංකු අසාදු ලේඛනයට ඇතුළත් වීම හේතුවෙන් බාධා පැමිණ තිබේ. අනතුරුව බැංකුව ප්‍රකාශ කර ඇත්තේ අදාළ ණය මුදල එවර්ග්‍රීන් සමාගම විසින් බැංකුවෙන් ලබා ගෙන ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසත්ය. කෙසේ වෙතත් එම ණය මුදල එවර්ග්‍රීන් සමාගම වෙත නිකුත් කිරීම සඳහා ඉල්ලා ඇති නිර්ණායකය වී ඇත්තේ බඩ ඉරිගු වගාව සඳහා රජය විසින් සීනි කම්හලට අයත් අක්කර 2000 ක ඉඩම් ප්‍රමාණයක් එවර්ග්‍රීන් සමාගම වෙත ලබා දී ඇති බවට ලිඛිත ලියවිල්ලකි.මේ සියලු අර්බුදවලට පදනම වී ඇත්තේ බැංකුව විසින් ඉල්ලා ඇති මෙම ලියවිල්ලයි. විධිමත් ජල කළමනාකරණයක් ඇති කොට වර්ෂය පුරා උක් වගාව සිදු කරන තෙක් හා සීනි කම්හල නැවත ආරම්භ කරන තෙක් ඉදිරි වෙළෙඳ ගිවිසුම් යටතේ ගොවි ජනතාව සමඟ සීනි කම්හලට අයත් අක්කර 2000 ක බඩ ඉරිගු වගා කිරීම සඳහා එවර්ග්‍රීන් සමාගමට බලය පැවරෙන එම කැබිනට් පත්‍රිකාවට අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනා විරෝධය පෑම මෙම අර්බුදයේ ආරම්භයයි. අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනාගේ අදහස වී ඇත්තේ මෙම භූමි භාගය මේ වන විටත් වෙනත් සමාගමට බදු දී ඇති අතර එම සමාගම ඊට අනුබද්ධ බ්‍රිතාන්‍ය සමාගමත් එක්ක එළඹ ඇති එකඟතා මත මෙවැනි සහතිකයක් ලබාදීම නීත්‍යානුකූල නොවන බවයි.

‘යහපාලන‘ රජයේ හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන ගේ මූලිකත්වයෙන් ‘යහපාලන‘ රජයේ පළමු ආයෝජනය ලෙස එම්.ජී.සුගර් නැමැති සමාගමට සීනි කම්හල නැවත ආරම්භ කිරීමට 2015 වසරේදී ගිවිසුම් අත්සන් කෙරුණද එම සමාගමට සීනි කම්හල නැවත ආරම්භ කිරීමේ කිසිදු වුවමනාවක් නොතිබු බව පෙනුණි. ඔවුන්ගේ අරමුණ සීනි කම්හල සතුව තිබු යකඩ තොගය විකිණීම බව ගොවීන්ගේ අදහසයි.

කෙසේ වෙතත් නව රජය බලයට පත්වූයේ රජයේ දේපළ විදේශිය සමාගම් වලට නොපවරන පොරොන්දුව ජනතාව හමුවේ තබමිනි. ඒ අනුව වත්මන් රජය කළ යුතුව ඇත්තේ එම්. ජී. සුගර් සමාගම විසින් පසුගිය ආණ්ඩුව සමයේ බ්‍රිතාන්‍ය සමාගමකට පැවරූ සීනි කම්හල් ගිවිසුම අවලංගු කර දැමීම වුවද, එය එසේ සිදුව නැති බව ඉකුත් 09දා අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සහභාගි වූ මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශ වලින් සනාථ වේ.එම්. ජී.සුගර් සමාගම සමඟ එළඹ ඇති ගිවිසුමට අනුව එය එසේ කළ නොහැකි බවක් පෙනේ. කෙසේ නමුත් කන්තලේ ප්‍රාදේශීය ලේකම් එම්. එන්. උපේක්ෂා කුමාරි කියා සිටින්නේ කන්තලේ සීනි කම්හලට අයත් ඉඩම් ප්‍රමාණය මැනුම් කොට ගොවීන් අතර ග්‍රාම නිලධාරි හා කෘෂිකර්ම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වගා කටයුතු සඳහා ලබා දෙන ලෙස ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් හා ඉඩම් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමාට උපදෙස් ලබාදී ඇති බවයි.

ප්‍රාදේශීය ලේකම්වරිය එසේ සීනි කම්හලට අයත් ඉඩම් වගා කටයුතු සඳහා නිකුත් කරන බව ප්‍රකාශ කළද එය යථාර්ථයක් නොවන බව පෙනේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියා සිටියේ “මේ වන විට ආයෝජකයා විතරක් නෙවෙයි ගොවියොත් අසරණ වෙලා. ආයෝජකයා වගේම දහසක් බලාපොරොත්තු තියාගෙන මේ වැඩේට බැස්ස ගොවියන් අසරණ නොකළ යුතුයි“කියාය.

මේ සම්බන්ධයෙන් අප එවර්ග්‍රීන් සමාගමේ හිමිකරු වන කේ.එස්.ටී.පෙරේරාගෙන් තොරතුරු විමසා සිටියද පිළිතුරක් නොලැබිණි.

 මංගලනාත් ලියනආරච්චි - ත්‍රිකුණාමලය

Comments