ශ්‍රී ලංකාවේ සිදු වූ බිහිසුණුම ගුවන් අනතුරට දෙසැම්බර් 4 වැනිදාට වසර 46යි | සිළුමිණ

ශ්‍රී ලංකාවේ සිදු වූ බිහිසුණුම ගුවන් අනතුරට දෙසැම්බර් 4 වැනිදාට වසර 46යි

මෙරට ඉතිහාසයේ සිදු වූ ඛේදනීය හා බිහිසුණුම ගුවන් අනතුර වන සප්තකන්‍යා ගුවන් අනතුර සිදු වී දෙසැම්බර් මස 4 වැනි දින වසර 46 ක් සම්පූර්ණ වෙයි. මගීන් 191 දෙනෙකුට ජීවිත අහිමි වූ මෙම ගුවන් අනතුර 1974 දෙසැම්බර් මස 4 වැනි දින රාත්‍රියේ සිදු විය. වේලාව හරියටම කියනවානම් රාත්‍රී 10.10ටය. ඉන්දුනීසියාවේ සිට මක්කම බලා ගමන් ගන්නා වන්දනාකරුවන් රැගත් DC8 ගුවන් යානය මස්කෙළියට නුදුරු සප්තකන්‍යා කඳුවැටියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. එකල සිදුවූ අනතුර ගැන දන්නා හොඳින්ම දන්නා නෝටන්බ්‍රිජ් හා හැටන් ප්‍රදේශවාසීන් තිදෙනෙකු ලබා දුන් අදහස් ඇසුරින් මේ ලිපිය සකස් කෙළෙමු. ඔවුහු තම අත්දැකීම් මෙසේ විස්තර කළහ.

 

එයින් වැඩි වශයෙන්ම විස්තර අපට දැක්වූයේ නෝටන්බ්‍රිජ් - විදුලිපුර පදිංචි පර්සි ලයනල් රණසිංහය. ඔහු අද 82 වියේ පසුවෙයි. ‘අපට දැන ගන්න තියෙන විදිහට මෙම යානාව ලංකාවට ඇතුළු වී තලවාකැලේ හරියේ දී අඩි 32,000ක් පමණ උඩින් ඇවිත් කාසල්රී පාලම හරියේ දී අඩි 12,000 ක් පමණ පහළින් ගමන් කරලා තියෙන්නේ.

එවකට හැටන් අධිකරණයේ සාක්ෂි දුන් කාසල්රී වතු පාලකයන් දෙදෙනක් කියලා තියෙනවා, පහළින් ගමන් කළා වගේ මෙම ගුවන්යානාව දැක්කා කියලා. මගේ නිවස පිහිටා තියෙන්නේ ජාත්‍යන්තර ගුවන් මාර්ගයකට පහළින්. රටට ඇතුළුවන ගුවන්යානා නිවසට ඉදිරිපිට දිසාවෙන් යන්නේ. එදා ඔය ගුවන් යානාවත් රටට ඇතුළු වෙලා මස්කෙළි ඔයට උඩින් ගමන් කරලා තියෙනවා. යානයේ වම් තටුව කඳු වැටියේ තුන්වන කන්දේ ගලේ වැදිලා තියෙන්නේ. හතර වන කන්දෙත් වැදිලා තියෙනවා.

එවිට ගුවන් නියමුවා යානාව දකුණු දෙසට හැරවා යාමට උත්සාහ කරලා තියෙනවා. එවිට පස් වන කන්දේ ගලේ වැදිලා පුපුරලා ගිහින් තියෙනවා. මෙම ගුවන් යානාව හදලා තියෙන්නේ ඇලුමිනියම්වලට තවත් ලෝහ වර්ග 5ක් පමණ කලවම් කරලා සැහැල්ලු ලෝහයකින්. අපි එම ගුවන් යානාවේ කැඩී තිබුණු කෑල්ලක් කපන්න හැදුවා බෑ. ඒ තරමට ලෝහය ශක්තිමත්. එහෙම ශක්තිමත් ලෝහයකින් සාදපු ගුවන් යානාවක් තමා ගලේ වැදිලා කෑලි කෑලි වලට ගහින් තිබුණේ මිනිස්සුන් ඒ වගේ විනාශ වෙලා යන්න ඇති.

අපි පහුවදා හමුදාවෙන් හදපු පාරකින් තමා කන්දට නැග්ගේ. පැය දෙකක් තුනක් වගේ අනතුර සිදුවුණු ස්ථානයේ හිටියා. අනතුරින් මියගිය අයගේ ඥාතීන් ඇවිල්ලා සිරුරු කොටස් කන්දේ හාරන්න පුළුවන් තැන්වල හාරලා සුදු රෙදි වල ඔතලා වළ දැම්මා. මගේ මතක හැටියට සිරුරු එකක් හෝ දෙකක් ගෙනිච්චා. අපි කන්දට යන කොට රත්නපුරේ පැත්තේ අය ඇවිත් මියගිය අයගේ සල්ලි රත්තරන් බඩු එහෙම අහුලාගෙන ගිහිල්ලා තිබුණා. අනතුරු සිදුවුන කන්දේ අනිත් පැත්ත රත්නපුරයට ළගයි.

මෙම අනතුර සිදු වන අවස්ථාවේ ගුවන් යානාව පදවලා තියෙන්නේ සහාය නියමුවා විසින් බවට හැටන් අධිකරයේ පැවැත් වූ නඩුවේ දී එම සමාගම පවසලා තියෙනවා .ප්‍රධාන නියමුවා තමයි ලැම්බේ කියන්නේ ඔහු දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාව වෙනුවෙන් ලංකාවේ ගුවන්යානා නියමුවෙක් ලෙස කටයුතු කළ අයෙක්. ඔහු ලංකාවේ සෑම තැනක්ම දන්නේ කෙනෙක්. බොම්ස්මාර් තමයි සහාය නියමුවා වශයෙන් කටයුතු කරලා තියෙන්නේ.

නඩුවේදී කළු පෙට්ටියෙන් ලැබුණු තොරතුරුවලින් තහවුරු වෙලා තියෙනවා අනතුර සිදුවුණු වෙලාවේ කඳුවැටිය හා අවට ප්‍රදේශය දැඩි මීදුමෙන් වැහිලා තිබිලා තිබුණු බවට. එම අවස්ථාවේ යානාවට දකුණු පසින් ලක්ෂපාන විදුලි බලාගාරයේ හා ඒ ගොඩනැගිලිවල විදුලි එළිය දැල්වෙලා තියෙනවා. සමහර විට රත්මලාන ගුවන් තොටුපළ ද යන සැකය මත ගුවන් යානය පහත් කළා ද කියන එකත් ගැටලුවක්. ගල්වල වැදී කැපුණු ස්ථාන අවුරුදු ගණනාවක් යනකල් දැක ගැනීමට පුළුවන් වුණා.

අනතුර සිදු වූ දින ගුවන් යානාව ගොස් ටික වෙලාවකට පස්සේ රෑ ගුවන් විදුලියෙන් කිව්වා සිරිපාද අඩිවියේ ගුවන් යානාවක් අනතුරට පත් වෙලා කියලා. ඒ කාලේ රේඩියෝ විතරයි. ටී වී නෑ. ටික වෙලාවක් යනකොට පළාතෙම අහස දුමින් වැහිලා ගියා. ඒ සමඟම කුඩා ගුවන්යානා දෙකක් හා හෙලිකොප්ටරයක් අහසේ කැරකුණා.

දැනට නෝටන්බ්‍රිජ් පොලීසියේ තියෙන ටයරය ඔය ස්ථානයේ තැබුවේ මම. මම හිතුවේ නෑ ටයරය මෙතරම් ජයප්‍රියවෙයි කියලා. එහි සැඟවුණු කථාවත් මම කියන්නම්.

අනතුර සිදු වුණු කඳු පන්තිය පාමුල ඩෙබර්ටන් වත්තේ හිමිකාරිත්වය තිබුණේ තිලක් ඩී. සොයිසා කියන මහත්තයාට. එවකට නෝටන් බ්‍රිජ් පොලීසියේ ස්ථානාධිපති වශයෙන් වැඩ කළේ ආටිගල කියලා මහත්තයෙක්. තිලක් ඩී සොයිසා මහත්තයා සමඟ නිතර නිතර ටෙලිපෝනයෙන් ඕ අයි සී මහත්තයා කථා කරනවා. මමත් සමහර අවස්ථාවල ඕ අයි සී මහත්තයා ළඟ හිටියා. අනතුර වෙලා ටික දවසකින් තිලක් මහත්තයා ඕ. අයි. සී. මහත්තයාට කීවා නාඩාර්ලා කණ්ඩායමක් යානාවේ යකඩ ලොරි වල පටවා ගෙන එනවා කියලා. ආටිගල මහත්තයා එම ලොරි පොලීසිය ඉදිරිපිට දී නවත්වලා එහි සිටි ප්‍රධාන වෙළෙන්දාට කීවා ‘ස්තුතියි මේවා අපිට ගෙනත් දුන්නාට. අපි මේවා රත්මලානට යවන්නේ ඕනෑ කියලා. ඒ අනුව පොලීසිය ළඟඒ යකඩ කොටස් බා ගත්තා. වෙළෙඳුන් යන්න ගියා. පසුව දිනක රත්මලානට මෙම කොටස් ගෙන යන්න සූදානම් වූ අවස්ථාවක මම නෝටන් බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට තියෙන ටයරය එදා ඒ අබලි ද්‍රව්‍යය වලින් ඉවත් කර ගත්තා.

අදාළ ගුවන් සමාගමෙන් හා ඕ අයි සී මහත්තයා ඇහැව්වා මොකද බර්ටි කරන්න යන්නේ කියලා. මම ළඟ තිබුණු කඩයකින් තීන්ත හා පින්සලක් ගෙන එය ටයරයේ අද තිබෙන අකුර ටික ලිව්වා. එදා මට තීන්ත ටිකටයි පින්සලටයි ගියේ රුපියල් පහක් වගේ මුදලක්. පසුව මම වෙල්ඩින් බාස් කෙනෙකුට කියලා කූඩුවක් හදලා ටයරය තිබ්බා. අද වෙනකොට විවිධ පිරිස් එකතු වෙලා යකඩවලින් ගෙයක් හදලා තියෙනවා. වසරක් පාසා තරුණයන් එකතු වෙලා මම එදා ලිව්ව අකුරු උඩින් නැවත ඒ අකුරු ලියනවා. එය මට සතුටක්.

හැටන් , කොත්තැල්ලෙන පදිංචි කොඩිතුවක්කු ආරච්චිලාගේ ආරියපාලගේ අද වයස අවුරුදු 67කි. ‘‘කන්ද පාමුල මගේම වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියා. බේකරියේ වැඩ ඉවර කරලා නිදා ගන්න යනකොට විශාල ශබ්දයක් ඇසුණා. අපිට හිතුණා ගුවන් අනතුරක් වෙන්න ඇති කියලා. ඒ කාලේ අපට විදුලිය නෑ. දොර ඇරලා බලන කොට කන්ද පැත්තේ ගින්දර දැක්කා. එවකට මෙහේ හිටියා දවස පත්තරේට සම්බන්ධ ඒ. ජී. ධර්මරත්න කියලා මහත්තයෙක්. ඔහු සමඟ රාත්‍රීයේම පන්දම් දල්වාගෙන ගියා ඩෙබටන් වත්තේ හිමිකරු වූ තිලක් ඩී. සොයිසා මහත්තයා හම්බ වෙන්න. අපි ඔහුට විස්තරේ කිව්වා. ඔහු අදාළ අය දැනුවත් කළා. පසුවදා දවස පත්තරේත් මේ අනතුර ගැන තිබුණා.

කොහොම හරි අනතුර වුණු ආරංචියට විශාල සෙනඟක් ආවා මේ ස්ථානය බලන්න. පොලිසියෙන් හා හමුදාවෙන් විශාල පිරිසක් යොදවා තිබුණා. යානාවේ කොටස් සමහරු ගෙනිච්චා. පොලීසිය හා හමුදාව ඒවා ගෙනි යන්න දුන්නේ නෑ. යානයේ කළු පෙට්ටිය තිබුණා කියන්නේ ගල් දෙබොක්කාවක. ගලට පහළින් මුරුතැන් වත්තේ මියගිය අයගේ ශරීර කොටස් මිහිදන් කළා. අද එම ස්ථානයේ සිහිවටනයක් ඉදිකර තියෙනවා.

හැටන් ,කොත්තැල්ලෙන පදිංචි ගම්ලත් රලලාගේ පොඩි සිඤ්ඤෝට අද වයස අවුරුදු 79කි. ඔහුටද අනතුර හොඳින් මතකය. ‘මම ලක්ෂපාන බලාගාරයේ වැඩ කළේ. මම සාමාන්‍යයෙන් වැඩ ඇරිලා ඇවිත් රෑ පිරිත් අහලා එහෙම 10.30 ට විතර නිදා ගන්නේ. රෑ 10.15 විතර ලොකු සද්දයක් ඇහුණා පොළවත් එක්ක හෙල්ලුණා. .මම හිටියේ අනතුර සිදු වූ කන්දට ගොඩක් දුරින්. පහුවදා මම උදේ පාන්දර කන්ද පාමුලට ආවා. හමුදාවෙන් පොලීසියෙන් පිරිලා හිටියා.ඒ වෙනකොට මියගිය අයගේ සිරුරු කොටස් වගේම ගුවන් යානයේ කොටස් හැම තැනම විසිවෙලා තිබුණා. එතන හිටපු මහත්වරු කීවා කළු පෙට්ටිය හොයා ගන්න උදවු කරන්න කියලා. මම එදින රස්සාවට පවා නොයා කළු පෙට්ටිය සෙවීමට උදවු වුණා. මම ජීවිත අවදානම පවා නොතකා එය සෙවීමට උත්සාහ කළා. පස්සේ පොඩි පටියක් වගේ දෙයක් හම්බ වුණා. මම ඒක ඒ මහත්වරුන්ට දුන්නා. ඒ වෙලාවේම ඒ අය කොළඹට කථා කරලා විස්තරයක් කීවා. ඊට පස්සේ තමයි බලන්න ආපු අයට තරමක් දුරට හරි කන්දේ යන්න අවස්ථාව උදා වුණේ.

පසසේ දවස් තුනකට පස්සේ කන්දට නැංගේ. ඒ වෙනකොට මැරුණු අයගේ මිල මුදල්, ආභරණ සේරම අරන් ගිහින්. යකඩත් නාඩාර්ලා එකතු කරනවා. ඇත්තටම මම ජීවිතයේ දැක්ක කනගාටුම සිද්ධියක් මේ අනතුර. මම බුදු දහම අනුව ජීවත් වන කෙනෙක් අපිට අනුන්ගේ දේවල් ගන්න ආසාවක් නෑ. මම ලංකාවේ හැම තැනම සේවය කරපු විදුලි බල මණ්ඩලයේ පළමු ශ්‍රේණියේ සේවකයෙක්. ‘

මෙරට සිදුවුණු ඒ බිහිසුණුම අනතුරට දැන් වසර 46කි. කාර්ය මණ්ඩලයේ 9 දෙනකු සමඟ යානයේ ගමන් ගත් මඟීන් 182ත් මේ අනතුරින් මියගියේ ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් සිදුවුණු බිහිසුණුම අනතුර ගැන මතකයක් තබමිනි.

ඩබ්ලිව්. රෝහණ, බුලත්කොහුපිටිය සමූහ 

Comments