වසර පහකට පසු පිල්ලෙයාන්ට ඇප | සිළුමිණ

වසර පහකට පසු පිල්ලෙයාන්ට ඇප

- වසර 15දී කොටි සංවිධානයට බැඳුණා 
- කරුණා සමඟ ප්‍රභාකරන්ට විරුද්ධව සටන් මෙහෙයවූවා

සර ගණනාවකට පසුව පිල්ලෙයාන්ගේ නම යළිත් කරළියට පැමිණ තිබේ. 2009 වසරට පෙර නැඟෙනහිර කොටි සංවිධානයේ ක්‍රියාකාරීත්වයන්, විශේෂයෙන්ම කරුණා අම්මාන්ගේ සමීප ක්‍රියාකාරිකයකු ලෙසින් පිල්ලෙයාන්ගේ නම ප්‍රසිද්ධව තිබුණි. පසුව ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ එල්ටීටීඊ සංවිධානය දෙකඩ කර නැඟෙනහිර වෙනම සංවිධානය වීමට සහාය වූ අයකු ලෙසිනි. ඉන් පසුව ඔහුගේ නම වඩාත්ම කතාබහට ලක් වූයේ 2008 වසරේදීය. ඒ නැඟෙනහිර මහ ඇමැතිවරයා ලෙස පත්වීම හේතුවෙනි.

එයින් පසුව ඔහුගේ නම කරළියේ පැන නැඟුණේ 2013 වසරේදීය. ඒ 2005 වසරේදී මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම පිටුපස සිටියේ ඔහු බව කියමිනි. ඒ කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් එයින් වසර දෙකකට පසුව එනම් 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නේ එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වශයෙනි.

එදා අත්අඩංගුවට ගත් පිල්ලෙයාන් ඇප ලබා නිදහස් වූයේ පසුගිය 24 වැනිදාය. එනම් වසර 5කට පසුවය. එම ඝාතනයේ ඔහු වැරැදිකරුද නිවැරැදිකරුද යන්න ගැන විචාරයට අපට හැකියාව නැතත් පිල්ලෙයාන් ඇප මත නිදහස ලැබීම දක්වා වූ කරුණු සම්බන්ධව කෙටි හෝ සටහනක් තැබීම වටනේය.

1975 වසරේ අගෝස්තු මස 18 වැනිදා කල්කුඩාහිදී උපත ලද ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මූලික අධ්‍යාපනය ලැබුවේ කල්කුඩා පෙතාලේහි විපුලානන්ද විද්‍යාලයෙනි. 6 වන ශ්‍රේණියේදී වාලච්චේන හින්දු විද්‍යාලයට ඇතුළු වන ඔහු අපොස සාමාන්‍ය පෙළ දක්වා එහි අධ්‍යාපනය ලබන්නේය. ඔහුගේ අධ්‍යාපනය එතැනින් කෙළවර විය. තොප්පිගල ඇතුළු බළකොටු රැක ගැනීම වෙනුවෙන් කරුණා අම්මාන් විසින් ළමා සොල්දාදුවන් එකතු කර ගැනීම නිසා 1990 වසරේදී එනම් වයස අවුරුදු 15දී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් කොටි සංවිධානයට බඳවා ගන්නා ලදී. ඔහුගේ නායකයා වූ කරුණා අම්මාන් ඔහුට ලබා දුන්නේ ‘පිල්ලෙයාන්‘ අනුවර්ත නාමයයි.

සංවිධානයේ නැඟෙනහිර බොහෝ අංශවල ක්‍රියාකාරිකයකු වන්නට පිල්ලෙයාන්ට වැඩිකාලයක් ගත වුයේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් කංචිකුඩිච්චිආරු ඇතුළු කඳවුරු රැසකම ප්‍රධාන මෙහෙයවන්නකු බවට ඔහු පත් විය. ප්‍රභාකරන් හා කරුණා අම්මාන් අතර විරසකය ආරම්භ වූ අවස්ථාවේදී කරුණා අම්මාන් සමඟ එක්ව වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කළ පිල්ලෙයාන් පසුව මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිධුරය දැරූ යුද්ධය නිමා නොවූ අවදියේම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට අවතීර්ණ විය. ඒ කෙසේ වුවත් නැඟෙනහිර මහ ඇමැති ධුරය දරන්නට පෙර ඔහුට විරුද්ධව ඝාතන කිහිපයක් ගැන චෝදනා නැඟී ආවද ඒ බහුතරයක් යට ගියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයද එසේ යට ගිය එක් ඝාතනයකි.

එම ඝාතනය ගැන විමර්ශනය කරන්නට මහානාම තිලකරත්න කොමිසම පත් කළ නමුත් එයින් ඝාතනය සම්බන්ධව වැදගත් තොරතුරු හෙළි වීමක් පෙනෙන්නට නොතිබුණි. මේ සම්බන්ධව ජෝසප් පරරාජසිංහම්ගේ පුත්‍රයා හා තමිල් අරිසු කච්චි පක්ෂය විසින් අවස්ථා ගණනාවකදී හඬ අවදි කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ඝාතනය ගැන සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලදී.

‘ඉලංකෙයි තමිල් අරිසු කච්චි‘ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් 2005 වර්ෂයේ දෙසැම්බර් මස 25 වැනිදා වෙඩි තබා ඝාතනය කරන ලද්දේ මඩකළපුවේ ශාන්ත මරියා දෙව්මැදුරේ නත්තල් දේව මෙහෙයකට සහභාගී වෙමින් සිටියදීය.

මඩකළපුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් මූලික විමර්ශන කටයුතු සිදුව තිබුණද අවසානයේ පොලිස්පති නියමයෙන් රහස් පොලිසිය විමර්ශන බාර ගැනීමෙන් අනතුරුව 2015 වසරේ ඔක්තෝබර් 4 වැනිදා මඩකළපුවේදී එඩ්වින් සිල්වා ක්‍රිෂ්ණානන්ද රාජා නොහොත් ප්‍රදීප් මාස්ටර් හා රෙංගසාමි කංගනායගම් නොහොත් කජන් මාමා නැමැති දෙදෙනා මේ සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ඝාතනයෙන් වසර 10කට පසුව වීම විශේෂිත සිදුවීමකි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සතියකට පසුව එනම් ඔක්තෝබර් 11 වැනිදා වාලච්චේන, ජෙතාලේ, මාරිඅම්මන් කෝවිල්හි පදිංචි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුවන් තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයක් රහස් පොලිසියේ රඳවා ගැනීමට පොලිසියට අවසර හිමි විය. එහිදී අපරාධ පරීක්ෂණ කණ්ඩායම විසින් එක් එක් පුද්ගලයාගෙන් වෙන වෙනම ලබාගත් සාක්ෂි හා ඒවායේ තිබූ පරස්පරතා හා සත්‍ය යැයි පැහැදිලිවම නොපෙනෙන කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව එල්ටීටීඊ සන්නද්ධ කණ්ඩායම ක්‍රියාත්මක වූ 2005 වසරේදී සිදු කළ මේ ඝාතනය සැලසුම් සහගතව සිදු කළ බවට අනාවරණය කර ගන්නා ලදී.

ඒ අනුව ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් පිල්ලෙයාන් කටයුතු කර ඇති බවත් අපරාධය සැලසුම් කර අනෙක් සාමාජිකයන් මෙහෙයවා ඇත්තේ ඔහු බවත් අනාවරණය කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එම කරුණු ගොනු කෙළේය.

පරරාජසිංහම් ඝාතනය ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සැලසුම් කර සිදු කර ඇති බවට පෞද්ගලික ඔත්තුකරුවන් හා සිද්ධියෙන් තුවාල ලැබූ තුවාලකරුවන්ගේ ප්‍රකාශ අනුව හෙළි කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු විදේශගතව ඇති බවද එවකට අධිකරණයට කරුණු ගොනු කරන ලදී. එමෙන්ම එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය අපේක්ෂා කරන බවද අධිකරණයට කරුණු ගොනු කර තිබිණි.

පරරාජසිංහම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම හා එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකුව සිට අපරාධ මෙහෙයවීම සම්බන්ධව පිල්ලෙයාන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

එමෙන්ම ඝාතනයට භාවිත කළ ගිනි අවිය හා ඝාතකයන් පලා ගිය වාහනය හා අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවට අධිකරණයට කරුණු වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් තවදුරටත් ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව පවසා සැකකරුවන් දිගින් දිගටම රඳවා තබා ගැනීමට අධිකරණයේ අවසර පැතූ අතර කරුණු සලකා බැලූ අධිකරණය ඒ සඳහා අවස්ථා ගණනාවකදී අවසර ලබා දෙන ලදී.

අත්අඩංගුවේ පසු වූ ප්‍රදීප් මාස්ටර් කජන් මාමා යන දෙදෙනාගෙන් ලත් තොරතුරු අනුව පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිද්ධියට හමුදා බුද්ධි අංශයේ සැරයන්වරයකුද අත්අඩංගුවට ගන්නා ලදී. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලද බුද්ධි අංශ සැරයන්වරයා, පිල්ලෙයාන් සමඟ සමීපව කටයුතු කරමින් සිට පසුව යුද හමුදා බුද්ධි අංශයට එක් වූ අයකු බව විමර්ශනවලදී හෙළි විය.

මුස්‌ලිම් ජාතිකයකු වන මෙම හමුදා සැරයන්වරයා, ගිරිතලේ සන්නද්ධ බුද්ධි බළකා (MIC) කඳවුරේ සේවය කළ අයෙකි.

අත්අඩංගුවට ගත් යුද හමුදා සැරයන්වරයාද රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවා ප්‍රශ්න කරන ලදී.

ඒ අනුව පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිද්ධියට පිල්ලෙයාන් ඇතුළු සිවු දෙනෙක්‌ අත්අඩංගුවේ පසු වූ අතර පසුව මදුසංඛ නොහොත් විනෝද් යන අයද අත්අඩංගුවට ගන්නා ලද්දේ මුස්ලිම් ජාතික හමුදා සැරයන්වරයාගේ ප්‍රකාශ මතය.

මේ අතර ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එහි විත්තිකරුවකු ලෙස නම් කර තිබූ පසුව රජයේ සාක්ෂිකරුවකු ලෙස නම් කරන ලද සම්පත් ප්‍රතිවිරාජ් නැමැත්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ සාක්කි දෙමින් විශේෂ අනාවරණයක් කරන ලදී. අදාළ සාක්ෂිකරු මෙරට ඉහළම ප්‍රභූවරයකුගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකු ලෙස කටයුතු කළ අයෙකි.

සම්පත් ප්‍රතිවිරාජ් අධිකරණය හමුවේ කියා සිටියේ එල්ටීටීඊ සන්නද්ධ කටයුතු නැඟෙනහිර පළාතේ සක්‍රීයව නොපැවති 2005 වසරේදී නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේවර්ධනගේ උපදෙස් මත තමා ඇතුළු පිරිස් කරුණාගේ කණ්ඩායම සමඟ ප්‍රභාකරන්ගේ සන්නද්ධ කොටි සංවිධානයට එරෙහිව නැඟෙනහිර පළාතේ මෙහෙයුම්වලට සහභාගි වූ බවයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට ලක් කළේ තමන් ඇතුළු පිරිසක් බව කරුණා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වන සින්දුජන් නැමැත්තා තමා සමඟ කියා සිටි බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් හොඳින්ම දන්නේ කරුණාගේ සමීපතමයකු වන කරුණාගේ නැඟෙනහිර නායකයකු වන ඉනියාබාරති නැමැත්තා බවට සින්දුජන් පැවසුවේ යැයිද සම්පත් ප්‍රතිවිරාජ් සඳහන් කළේය.

ඊට අමතරව ඔහු කියා සිටියේ රවිරාජ් ඝාතනය පිළිබඳව 2008 වසරේදී තමා පොලිසියට කට උත්තරයක් ලබා දුන් නමුත් සත්‍ය කරුණු කිසිවක් එහිදී ප්‍රකාශ නොකළ බවයි.

එසේ සත්‍ය කරුණු ප්‍රකාශ නොකළේ ජීවිත තර්ජනයක් එල්ල වෙතැයි බියෙන් යැයිද ඔහු පැවසීය. 

මේ අතර පිල්ලෙයාන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට අදාළ හේතුව පවසා තිබුණු බවද හෙළි විය. එම ඝාතනය කෙළේ රාජන් සත්‍යමූර්තිට පාර්ලිමේන්තුවට යෑමට අවස්ථාවක් දීමට බවයි. ඔහු පාර්ලිමේන්තුවේ සිටීම තමන් ඇතුළු පිරිසට වඩා අවශ්‍යතාවක් තිබුණු බවද ඔහු පවසා තිබෙන බව දැන ගන්නට ඇත.

කෙසේ නමුත් පරරාජසිංහම් ඝාතනයේ අරමුණ දැනගත් ප්‍රභාකරන්ගේ කොටි සංවිධාන කල්ලිය විසින් රාජන් සත්‍යමූර්ති ඝාතනය කරන ලදී. විශේෂයෙන්ම ජෝශප් පරරාජසිංහම් කොටි සංවිධානයේ රූකඩයක් බවද පිල්ලෙයාන් පවසා තිබේ. ඉන්පසු පාර්ලිමේන්තුවට තේරී පත්වූ තවත් එල්ටීටීඊ රූකඩයක් වන බී. අරියේන්ද්‍රන් නැමැත්තා වෙනත් සන්නද්ධ දෙමළ කණ්ඩායම් ලවා ඝාතනය කරන්නට යම් පිරිසක් කටයුතු කළ බවට ද පිල්ලෙයාන් කරුණු පවසා තිබෙන බවට වාර්තා වේ.

ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සඳහා T -56 අවි දෙකක් භාවිතා කර ඇති බවත් ඉන් එක ඝාතකයකු ඊට පසු සිදුකරන ලද මෙහෙයුමකදී මිය ගොස් ඇතැයිද පිල්ලෙයාන් පවසා තිබේ.

කෙසේ හෝ ජෝසප් පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් දැන් ඇප මත මුදාහැර තිබේ. ඔහු සමඟ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෙසු සිවුදෙනාද එලෙස ඇප මත නිදහස ලැබූහ.

Comments