රාජ්‍ය සේවයට කැළලක් කළ මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල ඉංජිනේරුවරයාගේ කාන්තා හිංසනය | සිළුමිණ

රාජ්‍ය සේවයට කැළලක් කළ මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල ඉංජිනේරුවරයාගේ කාන්තා හිංසනය

“කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ” ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25දාට යෙදී තිබේ. එවැනි දිනයක් එළිපත්තේ තිබියදී රාජ්‍ය සේවයේ නියුතු නිලධාරිනියකට, විධායක නිලධාරියකු විසින් පහර දෙන අන්දම දැක්වෙන වීඩියෝවක් පසුගිය 24 වැනිදා සියලු මාධ්‍යවල පළ විය.

වීඩියෝවේ දැක්වෙන පරිදි සිද්ධිය සැකැවින් මෙසේය.

කිසියම් රාජ්‍ය ආයතනයක විධායක නිලධාරියකු සහ එම ආයතනයේම සේවය කරන කාන්තාව අතර දෙබසක් තිරයේ දිස්වේ.

“යනව සර් යනවා. අනිවාර්යෙන්ම යනවා. සර්ත් එක්ක පුදුම මානසික කරදරේකින් මං ඉන්නේ”

“ එහෙනම් ඉතින් යනවා.”

“යනවා, මං සියල්ලම රෙකෝඩ් කරගෙන යවනවා සර්.”

“රෙකෝඩ් කරනව ද? ඔයා කරන හොර වැඩ ජරා වැඩ මාත් කියන්නම්.”

“මගේ හොර වැඩ ජරා වැඩ පෙන්නන්න සර්.”

“මෙතනින් යනවද යන්න”

“මොනාද සර්, ගහන්න සර් ගහන්න ...මට ගහන්න ... මට ගහනවා”

“මේකි රෙකෝඩ් කරනවා”

“ගහන්න එපා පිස්සුද සර්ට... ගැහැනුන්ට ගහන්න එපා සර්”

“මට මෙහෙම කරනවා කියල මම කියනවා සර්. නම්බර් එකක් ඉල්ලල මට මෙච්චර වද දෙන්නෙ ඇයි? මේ මනුස්සයා මට ගැහුව්වා . ඇයි මට ගැහුව්වේ. අපු වෙලේ ඉඳන් නම්බර් එකක් ඉල්ලලා... ඉන්ඩ මං යනව සර් මානව හිමිකම්. මේ විදියට ගහන්නේ මොන මිනිහෙක්ද බලන්න. විනාඩි පහක් ගියාද නම්බර් ඒක දෙන්න. ඇයි මෙහෙම කරන්නේ. මේ වගේ අසික්කිත මිනිහෙක් කවදාවත් දැකල නැහැ. ඔයාල දැක්කනෙ, මං ආපු ගමන් නම්බර් එකක් ඉල්ලනවා; මං නම්බර් එක තියාගෙන හිටියද? මං රසික මහත්තයගෙන් නම්බර් එක ඉල්ලගෙන ගෙනත් දෙන ටිකට කෑගහනවා. මෙහෙම වැඩ කරන්න පුළුවන් ද, තරංග මහත්තයා.”

“මං සද්දේ ඇහිල ආවේ එනකොටත් ගහනවා. මං අල්ලගෙ අරයව එහාට තල්ලු කළේ”

අනතුරුව මෙම සිද්ධය ඇතුළත් වීඩියෝව ඇය විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

මේ සම්බන්ධයෙන් සොයා බැලූ අපට දැනගන්නට ලැබුණේ ඇය බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය ගම්පහ විධායක ඉංජිනේරු කාර්යාලය කළමනාකරණ සහකාරවරියක වන බවයි. ඇය ගම්පහ අස්ගිරියේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ තිසේරා ලක්මාලි (42) ය.

කොන්ත්‍රාත්කරුවකුගේ ජංගම දුරකථන අංකය ලබා දෙන ලෙස තම සේවා ස්ථානයේ ඉන්ජිනේරුවරයා තමන්ට පැවැසූ බවත්, එය ලබා දීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමාට දෙවතාවක් බැණ වැදී පහර දෙන ලදැයි පැමිණිලිකාරිය විසින් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ වෙත සිද්ධියට අදාළ පැමිණිලි ඉදිරිපත් කර ඇත. පැමිණිල්ලට අනුව විමර්ශනය කළ පොලීසිය 25 වැනිදා පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තිය ප්‍රකාරව කරුණු ඉදිරිපත් කරමින් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු වන බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය ගම්පහ විධායක ඉංජිනේරු උඩුගම්පල පදිංචි දේවසූරියලාගේ ලලිත් සිරිකුමාර යන අය රුපියල් ලක්ෂ දෙකක 2 ක ශරීර ඇප මත මුදාහැරිණි. ඒ ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න ලබා දුන් නියෝග අනුවය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන ජනවාරි මස 2 වැනිදා පැවැත් වීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ප්‍රකාශ කර සිටියේ “රජයක් විදියට අපි ඉතාමත් පැහැදිලිව එම සිදුවීම හෙළා දකින බවයි. කාන්තාවන්ට හිරිහැර කිරීම අපි කවුරුවත් අනුමත කරන්නේ නැහැ. අප ඒවැනි ක්‍රියා තරයේ හෙළා දකිනවා. එසේම මේ පිළිබඳව ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වී බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය ගම්පහ විධායක ඉංජිනේරුවරයාගේ සේවය අත්හිටුවා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බවයි. මේ වනවිට ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු වෙමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති උපාලි කොඩිකාර ප්‍රකාශ කර සිටියේ “ආයතන සංග්‍රහයේ පැහැදිලිව සඳහන් වී ඇති පරිදි උසස් නිලධාරීන්ට පහළ නිලධාරීන්ට පහර දෙන්න බැහැ. ඒ වගේම පහළ නිලධාරීන්ට උසස් නිලධාරීන්ට පහර දෙන්නත් බැහැ. මේ වනවිට ඒ ඉන්ජිනේරුවරයාගේ වැඩතහනමට ලක්කර තිබෙන බවත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පරීක්ෂණ මණ්ඩලයක් ද පත් කර ඇති බවයි. ඒ පරීක්ෂණ මණ්ඩලය විසින් අදාළ විමර්ශන සිදු කර අවසන් වූ වහාම ඒ අනුව ක්‍රියා කරන ලෙස උපදෙස් තමන් උපදෙස් දී ඇති බව හෙතෙම පැවසීය.”

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ “මේ වීඩියෝව සමාජ මාධ්‍යවල පළ වූ ගමන්ම නීතිය ක්‍රියාත්මක වූ බවයි. අප මැදිහත් වී ඒ පිළිබඳව විශේෂයෙන් සොයා බලා නීතිය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන්නා. රජයේ කාර්යාලයක හෝ ඕනම තැනක මේ රටේ සෑම කාන්තාවකටම උදේ දවල් රාත්‍රී ඇතුළු ඕනෑම වෙලාවක ඕනෑම තැනක යන්න එන්න තියෙන අයිතිවාසිකම අපි රජයක් හැටියට සුරකිනවා. ඒ තත්ත්වය අපි රජයක් විදියට ආරක්ෂා කර තිබෙන බවයි.”

මෙම සිද්ධියට අදාළ සැකකරුවන බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය ගම්පහ විධායක ඉංජිනේරු උඩුගම්පල පදිංචි දේවසූරියලාගේ ලලිත් සිරිකුමාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ “මම ඇත්තටම ගැහැව්වේ නැහැ. ඒක පසුව හෙළි වේවි. මං ෆෝන් එක ගන්න විතරයි උත්සාහ කළේ.” කියාය.

ලලිත් සිරිකුමාර වෙනුවෙන් පෙනීසිටි තමාරා අබේරත්න නීතීඥවරිය කියා සිටියේ “මෙම විඩියෝව රූගත කළ විදියෙන් මෙය සැලැස්මක් ඇතිව කළ ක්‍රියාවක් බව ඒත්තු ගැන්වෙන බවයි. මෙය විඩියෝ කළ විගසම සමාජ මාධ්‍යවෙත මුදා හැරීමට කටයුතු කර තිබීමෙන් ඒ පිළිබඳව සැක මතුවන බවයි. වීඩියෝ දර්ශනයේ තිබෙන දේහි කිසිම පහර දීමක් නැහැ. ඇය වීඩියෝ එක ඔන් කරගෙන මට ගහනවෝ... මට ගහනවෝ.. ඇයි සර් මට එහෙම කරන්නෙ කියා ඇය තනියම කතා කරනවා. වෙන කිසිම හඬක් ඒ වීඩියෝවේ නැහැයි ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

ඇය එසේ පැවසුව ද තවත් පුද්ගලයන් එම අවස්ථාවේ ඊට මැදිහත් වී ඉන්ජිනේරුවරයා එම ක්‍රියාවෙන් වළක්වා ඔහුට අවවාද කරන අයුරු නිරවුල්ව සටහන්ව තිබේ.

මේ ආකාරයටම කරාපිටිය රෝහලේ වෛද්‍යවරියක් නොවැම්බර් මස 11 වැනි දින මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටියේ ඇයට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකු වරක් නොව කිහිප වරක් පහර දුන් බව ය. ඔහු වාට්ටුවේ හෙදියන්ට ද එළෙසින් පහර දී ඇතැයි ඇය පැවසුවා ය. ඔහු මෙවර ඇයට පහර දුන්නේ ඇය දෙමසක පමණ ගැබිණි මවක් බව දැන සිටියදී යැයි ද ඇය මාධ්‍යයට පැවසුවා ය.

මෙබඳු ක්‍රියා කිසිම විටෙක, කිසිම තැනකදී ඉවසා සිටිය යුතු දේ නොවේ. ප්‍රචණ්ඩත්වය හා හිංසනය ශාරීරිකව හා කට වචනයෙන් සේවා ස්ථානයන්හිත්, පොදු මගී ප්‍රවාහනයේදීත්, පොදු ස්ථානයන්හිත් විවිධාකාරයෙන් හමු වන්නේ ය. එයට වැඩියෙන් ගොදුරු වන්නේත්, ඒවා නිහඬව විඳ ගන්නේත් මේ රටේ කාන්තාවන් ය. මවුවරුන් ය. සේවා ස්ථානයන්හිත්, පොදු මගී ප්‍රවාහනයේදීත්,පොදු ස්ථානයන්හිත් සිදුවන ප්‍රචණ්ඩත්වය හා හිංසනය වාර්තා නොවන හා පැමිණිලි නොවන හෙයින් මඟ හැරී යන්නකි. එහෙත් මේ සියලු දේට තිත තැබිය යුතුය.

ප්‍රචණ්ඩත්වය හා හිංසනයෙන් තොර පරිසරයක් සඳහා සැමට අයිතියක් ඇත. ඒ වෙනුවෙන් පසුගිය 2019 වසරේ ජුනි මාසයේ දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය රැකියාවේ ස්වරූපය හා රැකියා කොන්දේසි නොතකා ප්‍රචණ්ඩත්වය හා හිංසනයට එරෙහි ලොව පළමු ප්‍රමිතීන් ඇතුළත් 190 වන සම්මුතිය සම්මත කළේය.

මෙම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 190 වන සම්මුතිය අපරානුමත කර එහි කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර ප්‍රචණ්ඩත්වය හා හිංසනයට තිත තැබීමට වත්මන් රජය ක්‍රියා කරනු ඇතැයි යන්න අපගේ වැටහීමවේ.

තමන් කවරකු වුවත් අනෙකාට ගෞරව දැක්වීම උතුම් මනුෂ්‍ය ගුණයකි. එසේම ඕනෑම දෙයක් සංවාදයෙන් විවාදයෙන් විසඳා ගැනීමද එකී මනුෂ්‍යයාගේ ස්වභාවය වේ. එසේ නැතිව කවරකු හෝ ප්‍රතිචාර දක්වන්නේ නම් එය නොමිනිස් ගුණයකි. මානවවාදී සමාජයක වගකීම වන්නේ හැකිතාක් ගැටුම් අවම වන අයුරින් කටයුතු කර ගැටලු විසඳා ගැනීමය. මෙවර 25දා සැමරූ “කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ” ජාත්‍යන්තර දිනයට සමගාමීව ලෝක මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් 10 වැනිදා දක්වා අප රට සහ අනෙකුත් රටවල නව ලෝකයක් වෙනුවෙන් පෙළ ගැසෙති. මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශවලත්, වැවිලි ක්ෂේත්‍ර යේත් සේවක සේවිකාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය වර්ධනය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අනුවණ සම්මුතිය අපරානුමත කර එහි කොන්දේසි ක්‍රියාත්මක කරන මෙන් නිදහස් සේවක සංගම් හා සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලා ඇත.

Comments