ගෝලීය සත්ත්ව සුබසාධනය වෙනුවෙන් ශ්‍රී ලාංකීය විද්‍යාඥවරියට සම්මානයක් | සිළුමිණ

ගෝලීය සත්ත්ව සුබසාධනය වෙනුවෙන් ශ්‍රී ලාංකීය විද්‍යාඥවරියට සම්මානයක්

යිකා නම් බැල්ල සදා අමරණීය නාමයක් වූයේ මුලින්ම පෘථිවියේ කක්ෂයට ගිය සත්ත්වයා වූ නිසාය. 1957 නොවැම්බර් 03 වැනි දින සෝවියට් දේශය විසින් පෘථිවියේ කක්ෂයට යැවූ ස්පුට්නික් - 2 යානයෙන් අභ්‍යවකාශයට ගිය ලයිකා බැල්ල මිනිස් සංහතියේ ප්‍රගතිය වෙනුවෙන් දිවි පිදූ බව සැබෑවකි. එහෙත් අභ්‍යවකාශ යානයක් තුළ උඩු බුරලමින් කටුක මරණයකට මුහුණදුන් ලයිකාගේ වේදනාව අපට කිසිසේත් අමතක කළ නොහැකිය. මොස්කව් වීදි සුනඛ‍යකු වූ ලයිකාව පෘථිවියේ කක්ෂයට යැවීමට තීරණය කිරීමේදී ඊට එරෙහි වීමට ලයිකාට හැකියාවක් තිබුණේ නැත. ලයිකාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. අවසානයේදී සිදුවූයේ අධික උෂ්ණත්වය හේතුවෙන් ඉතා බියකරු මරණයකට තනිවම මුහුණදීමයි. අභ්‍යවකාශ යානය හිරු කිරණින් ආරක්ෂා වන ලෙසින් නිපදවා නොතිබුණු බැවින් තද හිරු රශ්මියට හසු වී පිළිස්සී ගිය ලයිකාගේ ඛේදනීය ඉරණම කාගේත් නෙතට කඳුළක් එක් කරනු නියතය.

මේ ආකාරයට පර්යේෂණ වෙනුවෙන් වසරකට ලොව පුරා මිය යන සතුන් ප්‍රමාණය මිලියන 115 කි‍. එකී පර්යේෂණ වන්නේ අභ්‍යවකාශ පර්යේෂණ පමණක් නොවේ. අද වනවිට ප්‍රධාන තැනක් ගෙන තිබෙන්නේ ඖෂධ වෙනුවෙන් සිදු කෙරෙන පර්යේෂණයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීමේදී අත්‍යවශ්‍යම අවස්ථාවල පමණක් සතුන් යොදා ගන්නා මෙන් ශ්‍රී ලාංකික තරුණ විද්‍යාඥවරියක් පර්යේෂකවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ආසියාවේ වර්තමාන ඖෂධ පර්යේෂණ සඳහා මීයන්, සාවුන් වැනි සතුන් බහුලව යොදා ගැනෙන නිසාය. සත්ත්ව සුබසාධනය උදෙසා කටයුතු කරන මෙම තරුණ විද්‍යාඥවරිය, වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීමේදී හැකි උපරිම අයුරින් එම සතුන් රැක බලා ගනිමින්, සතුන්ට වන හානිය සහ වේදනාව අවම කරමින් පර්යේෂණ සඳහා‍ සතුන් යොදා ගැනීමේ ආචාර ධර්ම පිළිබඳව තරුණ පර්යේෂකයන් පුහුණු කිරීමටත් දැනුම්වත් කිරීමටත් කටයුතු කරන්නීය. 

සත්ත්ව සුබසාධනය උදෙසා ඈ ගෙන යන වැඩපිළිවෙළ අගයනු පිණිස මේ වසරේ ‍ ගෝලීය සත්ත්ව සුබසාධන සම්මානයෙන් ඈ පිදුම් ලබන්නීය. ඈ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය තරංගා තෝරදෙණියයි. ඇයට හිමිවූයේ ලෝක පශු වෛද්‍යවරුන්ගේ සංසදය (World Veterinary Association) සහ සේවා (Ceva Santre Animale) එක්ව පිරිනමන ‍ගෝලීය සත්ව සුබසාධන සම්මානයයි. (Global Animal Welfare Awards 2020).

ලෝක පශු වෛද්‍යවරුන්ගේ සංසදයෙන් පිරිනැමෙන සම්මාන අතරින් දකුණු ආසියාවට හා හා පුරා කියා හිමිවූ සම්මානය වශයෙන් ආචාර්ය තරංගා තෝරදෙණියට හිමිවූ සම්මානය ඉතිහාසගත වනු ඇත‍. මෙම සම්මානය උදෙසා ඇයව ශ්‍රී ලංකාවෙන් නිර්දේශ කර තිබුණේ ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයයි.

“වෛද්‍ය පර්යේෂණයකට සතුන් යොදා ගැනීමේදී සතාගේ සුබසාධනය සතාට වගේම පර්යේෂකයන්ටත් ඉතාමත් වැදගත්. මෙවැනි පරීක්ෂණවලට යොදා ගන්නා සතුන්ගේ සාමාන්‍ය හැසිරීම් රටාව වෙනස් වෙලා, හිරවෙලා සිටින විට සතුන් වේදනාවට සහ පීඩාවට පත් වෙනවා. එය ජෛව විද්‍යාත්මකව බලපෑම් කරන්න පුළුවන්. ඒ බලපෑම හේතුවෙන් පර්යේෂණයේ ප්‍රතිඵල අසාර්ථක වෙන්න පුළුවන්. පර්යේෂණයක සාර්ථක අසාර්ථකභාවයට සතුන් ශාරීරිකව වගේම මානසිකවත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම ඉතා වැදගත්.” යනුවෙන් සඳහන් කළේ ආචාර්ය තරංගා තෝරදෙණියයි.

ඈ තවදුරටත් පෙන්වා දෙන්නේ පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනී‍මේදී 3R සංකල්පය භාවිත කිරීම ඉතා සුදුසු බවය. එනම් Reduction, Refinement හා Replacement යන මූලධර්ම යටතේ පර්යේෂකයන් සතුන් පර්යේෂණ සඳහා යොදා ගැනීමයි. Reduction යන්නෙන් ඈ පැහැදිලි කරන්නේ පර්යේෂණ සඳහා සතුන් අවම වශයෙන් යොදා ගැනීමයි. Refinement යන්නෙන් සතුන්ට අවම වේදනාවක් ඇතිවන ආකාරයට සත්ත්ව සුබසාධනය සහ චර්යා රටාව සකස් කිරීම ලෙස ඈ පෙන්වා දෙයි. Replacement යනුවෙන් අදහස් කරන්නේ සතුන් වෙනුවට වෙනත් විකල්ප භාවිත කිරීමයි. ඊට අමතරව ඈ 3R සංකල්පයට R2 ක් එකතු කර තිබේ. ඒ Reporting (නිවැරැදි වාර්තාකරණය) සහ Rehabilitation (පුනරුත්ථාපනය) යන්න පර්යේෂණවලට යොදා ගත යුතු බවයි.

“මිනිසුන්ගේ සෞඛ්‍යයට අදාළ පර්යේෂණ වෙනුවෙන් හැකි සෑම විටම මිනිසුන් යොදා ගැනීම තමයි සුදුසුම දේ. මිනිසුන් කැමති නම් ඉදිරිපත් වේවි. අකමැති නම් විරුද්ධ වේවි. ඊට අදාළ ආචාරධර්ම තියෙනවා. ඒත් සතුන්ට විරුද්ධ වෙන්න බැහැ. සතුන්ට අකමැත්ත ප්‍රකාශ කරන්න බැහැ. මිනිසුන් වෙනුවෙන් සතුන් යොදාගෙන කරන අත්හදා බැලීම් 90% ක්ම අසාර්ථක වන අවස්ථා තමයි වාර්තා වෙන්නේ. විකල්පයක් සොයා ගන්නා තුරු අපිට සමහර පර්යේෂණවලට සතුන් යොදා ගන්න වෙනවා. එතනදි සතුන්ට ඇතිවන වේදනාව සහ හිංසාව අවම කළ යුතු බවයි මම පෙන්වා දෙන්නේ. සතුන්ගේ ස්වභාවික හැසිරීමට අවස්ථාව සලසා දීලා සත්ත්ව සුබසාධනය වැඩි දියුණු කරනවා නම් ගොඩාක් හොඳයි.” යනුවෙන් ආචාර්ය තරංගා තෝරදෙණිය පැහැදිලි කළාය. 

ඈ මෙම අදහස සමාජගත කිරීමට මූලික අඩිතාලම දැමුවේ 2017 වර්ෂයේ දී ය. ශ්‍රී ලංකා රසායනාගාර සත්ත්ව විද්‍යා සංසදය (Sri Lanka Association of Laboratry Animal Science) වෛද්‍ය පීඨයේ සත්ත්ව සුබසාධන පර්යේෂණ උප කමිටුව (Animal Welfare and Research Sub Committee) සත්ව පර්යේෂණාගාරය (Animal Faculty) යන ස්ථාන ඇගේ සංකල්පය බෙදා හැරීමට හොඳ තෝතැන්නක් විය. ඈ පවත්වන දේශන සහ වැඩමුළුවලදී සත්ත්ව සුබසාධනය සහ ආචාරධර්ම ගැන පැහැදිලි කිරීමට ඈ අමතක කළේ නැත. ඉන් නොනැවතුණු ඈ ඉන්දියාවේ ආචාර්ය විජේපාල් සිං සමඟ එකතු වී සෞඛ්‍ය පර්යේෂණ සඳහා සතුන් අවම මට්ටමෙන් යොදා ගැනීම සහ සත්ත්ව සුබසාධනය යන සංකල්පය ආසියාවේ අනෙකුත් රටවල්වල ව්‍යාප්ත කිරීමට සංසදයක් අරඹා හඬක් නැඟුවාය. 2020 ආරම්භයේදී, එනම් ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය, සත්ව සුබසාධන හා ආචාර ධර්ම පිළිබඳ සංසදය, ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු ආයතන කිහිපයක් එකම වේදිකාවකට ගෙනැවිත් වැඩමුළු පවත්වා ඇගේ අදහස ඉදිරිපත් කිරීමට සමත් වූවාය. මානව හා සත්ත්ව සෞඛ්‍ය නංවාලීම එක් සුබසාධක සංකල්පයක් බව පැහැදිලි කළාය. ආචාර්ය තරංගා තෝරදෙණිය සත්ව සුබසාධන පර්යේෂණ උපකමිටුවේ (Animal welfare Research sub Committee) සභාපතිනිය ලෙස කටයුතු කිරීම ඊට බෙහෙවින් රුකුලක්ම විය.

සත්ත්ව සුබසාධනය යන සංකල්පය කුඩා කාලයේ සිට පුහුණු විය යුතු බව ඇගේ අදහස විය. සතුන් රැකබලා ගැනීමේ සහජ බුද්ධියක් ඕනෑම කුඩා දරුවකු තුළ තිබෙන බැවින් එය ප්‍රවර්ධනය කර සංවේදී පිරිසක් බිහි කිරීම ඉතා වැදගත් බව අවධාරණය කළ ආචාර්ය තරංගා තෝරදෙණිය එයින් සානුකම්පිත, මානව දයාවෙන් පි‍රුණු සමාජයක් බිහි කළ හැකි බව පෙන්වා දුන්නාය.

“මම වෛද්‍ය සිසුන්ට දේශන පවත්වන විට කියන්නේ සතුන්ට ආදරය කරුණාව දක්වන වෛද්‍යවරයෙක් රෝගීන්ට වඩාත් හොඳින් කරුණාවන්තව සලකන බව. රෝගීන්ට කරුණාවෙන් සලකන වෛද්‍යවරුන් රටට බිහි විය යුතුයි කියන අදහසේ මම ඉන්නේ.” යනුවෙන් ආචාර්ය තරංගා තෝරදෙණිය සඳහන් කළාය.

ආචාර්ය තරංගා තෝරදෙණිය පේ‍රාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යා පීඨයෙන් උපාධිය ලැබූ පශු වෛද්‍යවරියකි. ඈ පශු වෛද්‍ය පීඨයේ තාවකාලික කථිකාචාර්යවරියක් ලෙස කෙටි කලක් සේවය කළාය. මානව පෝෂණය සහ ජෛව රසායන විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජෛව රසායන විද්‍යාව හා අණුක ජීව විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස ඈ සේවය කරන්නීය.

Comments