කොරෝනාව රට වටා පිනුම් ගසයි | සිළුමිණ

කොරෝනාව රට වටා පිනුම් ගසයි

ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ග්‍රාමීය ප්‍රදේශයක පසුගියදා සිදු කෙරුණු PCR පරීක්ෂණයක්

කොවිඩ් 19 ගෝලීය වසංගතය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ තත්ත්වය තුළ මෙම සතිය ආරම්භයේදී එනම් 23 වැනි දා වන විට ලෝකය පුරා මිලියන 57.8කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබූ අතර මරණ මිලියන 1.2 ඉක්මවා තිබිණ. පසුගිය 23 වැනිදා වන විට මෙරට තුළ කොවිඩ් 19 ආසාදිතයන් විසිදහසේ සීමාව ඉක්මවා ගියේ ආසාදිතයන් 20,171ක් ලෙස සටහන් කරමිනි. ඒ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 14,497ක් වූ අතර මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගියේ දින දෙකක් තුළ මරණ දහයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා කරමිනි. 26 වැනිදා වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 61,308,116 ක් වූ අතර ඒ වන විට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව විසි දෙදහස ඉක්මවා ගියේය.

වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දින කිහිපයක් පුරාවට හුදෙකලා කර තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, කොටුව, වැල්ලම්පිටිය හා කොම්පඤ්ඤ වීදිය යන ප්‍රදේශ හා ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත හා ජා ඇල ප්‍රදේශ 23 වැනිදා උදෑසන 5න් පසු එම හුදෙකලා තත්ත්වයෙන් නිදහස් කෙරුණු අතර වනාතමුල්ල සහ වෑකන්ද යන ග්‍රාම නිලධාරී තවමත් පවතින්නේ හුදෙකලා තත්ත්වයේය.එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බෝගහවත්ත, බමුණුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටළුගම, ගලගහ මණ්ඩිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාසද 23 වැනිදා හුදෙකලා කෙරිණ.

කොවිඩ් දෙවැනි රැල්ලේ ව්‍යාප්තියත් සමඟ මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා පාසල්වල 3 වැනි වාරය ආරම්භ කරනු ලැබුවේද පසුගිය 23 වැනිදාය. එහෙත් එසේ විවෘත කරනු ලැබුවේ බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු පළාත්වල පාසල් පමණි. එසේ පාසල් විවෘත වුවද කොවිඩ් -19 වසංගත තත්ත්වයේ බලපෑම නිසා පාසැල් කටයුතුවලට බාධා වූ සිදුවීම් කිහිපයක්ම වාර්තා විය.

අකුරණ ගුරුගෝතැන්න සහ තෙලඹුගහවත්ත යන ග්‍රාමසේවා වසම් ග්‍රාම සේවා වසම් දෙකට සහ මහනුවර මහයියාව ප්‍රදේශයේ කොටසකට සංචරණ සීමා පනවනු ලැබුවේද පසුගිය 23 වැනිදාය. බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොවිඩ් 19 ආසාදිතයන් 35 දෙනකු ඉකුත් 24 වැනිදා හඳුනාගත් අතර ඒ වන විට බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 717ක් දක්වා ඉහළ ගියේය.

මෙරට නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියකු සහ ශිල්පිනියක කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමඟ ඒ ආශ්‍රිත නළු නිළියන් කිහිපදෙනකුම නිරෝධායනයට සහ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරුණේද මෙම සතිය ආරම්භයේදීය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ අම්බලන්ගොඩ කුලරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුවකුගේ සහ සිසුවියකගේ මවුපියන් කොවිඩ් ආසාදිතයන් බව 24 වැනිදා තහවුරු විය. ඒ අනුව, එම සිසුන් අධ්‍යාපනය ලැබූ පන්ති කාමරවල සෙසු සිසුන් සහ ගුරුවරුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් අතර පාසලේ සෙසු කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදුකරගෙන යෑමට පාසල් බලධාරීහු කටයුතු කළහ. ආරක්ෂක අංශ සාමාජිකයකු වන මෙම ආසාදිත පියා ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී තම දරුවන් පාසල වෙත යොමුකර ඇති බව වාර්තා විය. එවැනිම සිදුවීමක් තලවකැලේ දෙමළ මහා විද්‍යාලයෙන් වාර්තා වූ අතර අතර එම විදුහලට අයත් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පවුල් කිහිපයක ළමුන් පාසැල් පැමිණ ඇතැයි යන සිදුවීමක් මුල් කරගනිමින් මවුපියන් සිය දරුවන් පාසලෙන් ඉවත් කරගැනීමට පියවර ගත් බව වාර්තා විය. මේ අතර බදුල්ල, කන්දෙගෙදර ජාතික පාසලේ සිසුවකුගේ සීයාද කොවිඩ් -19 ආසාදිතයකු ලෙස හඳුනාගැනීම නිසා එම විදුහලටද සිසුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබී ඇත.

පසුගිය 24 වැනිදා මෙරට තවත් කොවිඩ් 4ක් වාර්තා වූයේ සමස්ත මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ නංවමිනි. ගිනිගත්හේන පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි අයකු, සියඹලාපේ දකුණ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයකු, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක් සහ බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදිපිරිමි පුද්ගලයකු එසේ මරණයට පත් විය.

මේ අතර බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඉකුත් 25 වැනිදා වාර්තා වූ අතර ඔහුගේ පළමුපෙළ ආශ්‍රිතයන් වූ එම සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකරනු ලැබිණ. බේරුවල ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව විසි පස්දෙනෙකු පමණ සහභාගී වූ සාදයක් ද එහි පවත්වා ඇතැයි වාර්තා විය.

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු දිවයිනට පැමිණියේද 25 වැනිදාය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 143 දෙනෙකු, මාලදිවයිනේ සිටි 53 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිටි දෙදෙනෙකු එසේ මෙරටට පැමිණි පිරිස අතරට අයත්ය.

පසුගිය 25 වැනිදා වන විට මෙරට බන්ධනාගාර 6කින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබූ අතර ඒ අතරින් යම් අවදානම් තත්ත්වයක් පවතින්නේ වැලිකඩ බන්ධනාගාරය තුළ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය. 24 වැනිදා වන විට මෙරට බන්ධනාගාර තුළින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 708කි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රයෙන් සිදුව ඇති කොවිඩ් මරණවලින් සැලකියයුතු සංඛ්‍යාවක් නිවසේදී සිදුවූ මරණ ලෙස වාර්තාවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය. 

අධි අවදානම් කලාපවල සිටින වැඩිහිටියන් සහ නිදන්ගත රෝග ඇති පිරිස් අලුත් රෝග ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයකින් සිටිය යුතු බව හෙතෙම අවධාරණය කළේ 25 වැනිදා පැවති මාධ්‍ය හමුවකදීය. ඔක්තෝබර් මස 04 වැනදා සිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර හඳුනාගැනීමෙන් පසු මියගිය කොවිඩ් ආසාදිතයන් 81 දෙනාගෙන් සැලකියයුතු පිරිසක් නිවෙස්වලදී මියගොස් තිබෙන බවද එහිදී අනාවරණය විය.

ලබන දෙසැම්බර් 4 වැනිදා තෙක් මහනුවර නගර කලාපයේ පිහිටි පාසල් 45ක් වසාදැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ තීරණය කරනු ලැබුවේ ඉකුත් 24 වැනිදාය.මේ අතර එදින කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම් හුදෙකලා කෙරුණු අතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිලිමන්තුඩාව ග්‍රාමසේවා වසම හුදෙකලා තත්ත්වයෙන් නිදහස් කරනු ලැබිණ.

25 වැනිදා වන විට කොවිඩ් වයිරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 1095 ක් දක්වාත් වයිරසය ආසාදනය වූ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් ගණන 256 ක් දක්වාත් ඉහළ ගොස් තිබිණ. පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පොලිස් නිලධාරීන් සිවුදෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමත් සමඟ එය හුදෙකලා කර එහි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායනයට යොමුකරනු ලැබිණ. එමෙන්ම ආරච්චිකට්ටුව පොලීසිය ද තාවකාලිකව වසාදමනු ලැබුවේ එහි සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීමෙන් අනතුරුවය. ඒ හේතුවෙන් ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය නල්ලදරන්කට්ටුව ප්‍රජා ශාලාව තුළ තාවකාලිකව ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබිණ.

හික්කඩුව, සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයට අම්බලන්ගොඩ සිට පැමිණෙන ගුරුවරියකගේ නැන්දණිය සහ මාමණ්ඩියද කොවිඩ් ආසාදිත බවට තහවුරු වූයේද පසුගිය 25 වැනිදාය. ඒ හේතුවෙන් ඇයගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන ගුරුවරියන් තිදෙනකු හා ළමුන් 9 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකිරීමෙන් පසු පසුදා සිට සාමාන්‍ය පරිදි පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමට පියවර ගෙන තිබිණ. 25 වැනිදා තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ අතර එසේ මරණයට පත්ව තිබුණේ කොළඹ 12 පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක් සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාන 96 දක්වා ඉහළ ගියේය. එයින් 83 දෙනෙකුම මියගොස් ඇත්තේ දෙවැනි කොවිඩ් රැල්ලෙන් වීම විශේෂත්වයකි.

අටළුගම ප්‍රදේශයේ ගැබිනි මවුවරුන් දෙදෙනකු දරු ප්‍රසූතිය සඳහා පානදුර කේතුමතී රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීමත් සමඟ රෝහල තාවකාලිකව වසා දමා කේතුමති රෝහලේ එම වාට්ටුවල ප්‍රතිකාර ලැබු රෝගීන් සහ කාර්ය මණ්ඩලය වාට්ටු තුළම නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබිණ. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කරනු ලැබිණ.

‍ මේ අතර දැනට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ද කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා විය. මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වයිරසය වැලඳී ඇතැයි පැවසේ.

නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණවලින් 21 දෙනකුට කෝවිඩ් වයිසරය වැලඳී ඇති බවට තහවුරු වීමත් සමඟ කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයක් වසා දැමීමට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් තීරණය කරනු ලැබුවේ 26 වැනිදාය. එම පාසල් යළි ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙන බවත් මෙම තත්ත්වය මත සිදු කරන අහඹු PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන ලෙසත් ආණ්ඩුකාරවරිය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට නියෝග කර ඇත. 

වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ පාසලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වූයේද 26 වැනිදාය. ඉකුත් අඟහරුවාදා දිනයේ සිදුකළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර 25 වැනිදා එම සිසුවා පාසලට පැමිණ ඇතත් පාසල් බලධාරීන් ඔහු යළි නිවෙස වෙත පිටත්කර යවා තිබේ. කෙසේ නමුත් 26 වැනිදා එම පාසල් භූමිය සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කිරීමට පාසල් බලධාරීන් කටයුතු කළහ.

හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 4ක්ද හුදෙකලා කෙරුණේ 26 වැනිදා පස්වරුවේ සිටය. ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාමසේවා වසම්වලට එලෙස සංචරණ සීමා පැනවිණ. පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම කොවිඩ් රෝගීන් වාර්තාවීම ඊට හේතුවයි. නොවැම්බර් 12 වැනිදා සිට 25 දක්වා දක්වා හලාවත වැල්ල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 29 දෙනකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරය ධීවර රැකියාවේ නිරත වන පිරිස බව වාර්තා විය. මුව ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 වැනිදා සිට 26 වැනිදා දක්වා කාලය තුළ පුද්ගලයන් 744 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පැවසීය.

මේ අතර රුපියල් 5000 දීමනාව ලැබුණද ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට භාණ්ඩ නොපැමිණෙන බවට පවසමින් වනාතමුල්ල ප්‍රදේශයේ හුදෙකලා කර ඇති හල්ගහවත්ත ප්‍රදේශයේ ජනතාව 26 වැනිදා දැඩි උණුසුම්කාරී ලෙස හැසිරෙමින් විරෝධතාවක නිරත වූ අතර දින 02ක් ඇතුළත විසඳුමක් ලබාදීමේ පොරොන්දුව මත විරෝධතාව අවසන් කෙරුණි.

පසුගියදා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව අටුලුගම ප්‍රදේශයේ තවත් පුද්ගලයන් විසි දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව 26 වැනිදා තහවුරු වී තිබූ අතර එදින එම ප්‍රදේශයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවලින් තවත් 6 දෙනකුද කොවිඩ් ආසාදිතයන් බව තහවුරු විය. ඒ අනුව ඒ වන විට අටුලුගම ප්‍රදේශයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 164 කි. අටුලුගම ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයන් පී.සී.ආර්. පරීක්ෂණ මඟහරිමින් සිටින බවද වාර්තා විය.

රත්නපුර පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරියකුට කොවිඩ් 19 වයිසරසය ආසාදනය වී ඇතැයි 26 වැනිදා තහවුරු වූ අතර ඒ අනුව රත්නපුර පොලීසියේ 8 දෙනකු පී. සී. ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරිණ. මේ අතර එදින මෙරටින් තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 99කි. එසේ මියගොස් ඇත්තේ කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පුද්ගලයකු, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයකු සහ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ වසාතැබීම හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳි සිටි ශ්‍රී ලාංකිකයන් 406 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත 27 වැනිදා කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියහ. එසේ පැමිණ පිරිස පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කළ අතර ඉන්පසුව ඔවුන් පිරිස නිරෝධායන කටයුතු සඳහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ. ශ්‍රී ලාංකිකයන් 382 දෙනකු රැකියා සඳහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේද එදිනය.

Comments