අසමසම ප්‍රේමයක ඛේදනීය ඉරණම | සිළුමිණ

අසමසම ප්‍රේමයක ඛේදනීය ඉරණම

පෙම් යුවළ කොච්චිකඩේ පොලිස් ස්ථානයේදී

- සිවුමස් ගැබිනි මවක් වූ ජපන් පෙම්වතිය පරිවාසයට; 
- ලාංකීය පෙම්වතා බන්ධනාගාරයට

විදෙස් අධ්‍යාපනයට ජපානයට ගිය කසුන් මෙරටට පැමිණියේ සිය අධ්‍යාපන කටයුතුද අවසන් කිරීමට පෙරය. ඒ පැමිණියේ ද නිකම්ම නොවේ. ජපන් බාල වයස්කාර දැරිවියක්ද පැහැර ගනිමිනි.

එලෙස මීට මාස අටකට පමණ පෙර ජපානයේ සිට දැරිවියක්ද පැහැරගෙන ලංකාවට පැමිණි කසුන් ඇය සමඟ අතුරුදන්ව සිට පසුගිය 25 වැනිදා කොච්චිකඩේ පොලිස් නිලධාරින් විසින් කොටුකරගැනීමට සමත් විණි.

24 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ කසුන් මධුෂංක බණ්ඩාර කොච්චිකඩේ, පළඟතුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඒ හැටි වත්කමක්ද නොවූ පවුලක අයෙක් වූ කසුන්ට නැඟණියක්ද සිටී. ඔහු මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් අපොස උසස් පෙළ කලා විෂය ධාරාවෙන් උගත් අයෙකි. පාසල් අධ්‍යාපනය හමාර කළ සැණින් කසුන් මීගමුව දෙමන් හන්දියේ වූ ජපන් පාසලෙන් ජපන් භාෂාවද හැදැරීම් කළේය. ජපන් භාෂාව මනා ලෙස ප්‍රගුණ කළ ඔහු වැඩිදුර අධ්‍යාපනයට ජපානයට යාමට තීරණය කළේය. ඒ අනුව 2016 ජූලි 07 වැනිදා කසුන්ට ජපානයට පා තැබීමට අවස්ථාව සැලැසිණි. ඒ, ජපානයේ සයිටමා ප්‍රාන්තයේ තෝවාන් පාසලටයි. එලෙස ජපානයේ හැදැරීම් කරමින් ජපන් ජීවිතයට ද හුරුවෙමින් සිටියදී කසුන් විදෙස් අධ්‍යාපනයේ නියැළෙන බහුතර සිසුන් සේම සිය අධ්‍යාපන කටයුතු සහ එදිනෙදා වියදම් සඳහා අමතර ආදායමක් ඉපැයීමේ අරමුණින් රැකියාවකට යොමු විණි.

ඔහු 2017 සැප්තැම්බර් මාසයේ ජපානයේ සිසුවකා ප්‍රාන්තයට ගොස් තිබුණේය. එම ප්‍රාන්තයට ගිය කසුන්ට කම්කරුවන් රැකියාවලට යොමු කරන මෑන් පවර් ආයතනයක් ගැන සැලවිණි. එම මෑන් පවර් ආයතනය පවත්වාගෙන ගොස් තිබුණේ 53 හැවිරිදි කාන්තාවකි. ඇය ඔටිති සියොරි නමැත්තියයි. ජපානය පුරාම ආයතනවලට සේවකයන් සපයන ඇය ධනවත් ව්‍යාපාරික කාන්තාවකි. සිය සැමියාද කලකට පෙර මියගොස් සිටි ඇයගේ වැඩිමහල් දියණිය සහ පුත්‍රයාද විවාහ වී වෙනම විසූහ. 2004 සැප්තැම්බර් 03 වැනිදා උපන් ඇගේ බාල දියණිය ඔටිති සෝරා ජපානයේ ප්‍රසිද්ධ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියාය.

ඔටිති සියෝරිගේ මෑන් පවර් ආයතනය හරහා කසුන්ට කොන්ක්‍රිකට් වැඩබිමක රැකියාවක්ද ලැබිණි. ඔටිති සියොරි සිය සැමියාද ‍නොමැතිව මෑන් පවර් ආයතනයද මනා සේ පවත්වාගෙන ගියාය. කසුන්ට ජපානයේදී මෙරට කටානේ වෙසෙන වයස අවුරුදු හතළිස් ගණනක් පමණ වන පුද්ගලයකු හඳුනා ගැනීමට හැකි විණි. දිනක් මෑන් පවර් ආයතන හිමිකාරියගේ නිවෙසේ වූ සාදයකට කසුන් විසින් කටානේ පුද්ගලයාද කැඳවාගෙන ගොස් තිබිණි. අනතුරුව එම පුද්ගලයා සහ මෑන් පවර් ආයතන හිමිකාරිය අතර සමීප ඇසුරක්ද හට ගැනිණි.

ඒ අතරේ ඔටිති සියෝරිගේ මෑන් පවර් ආයතනයට නිතර යන කසුන්ටද ඔටිතිගේ 15 හැවිරිදි දියණිය ඔටිති සෝරා හඳුනා ගැනීමට ලැබිණි. ඒ, 2019 මැද භාගයේදීයි.

නිතර මෑන් පවර් ආයතනයට යනෙන කසුන් හා ඔටිති සෝරා අතර පෙම් පලහිලව්වක්ද හට ගැනුණේ දෙදෙනාටම හොර රහසේය. පෙම් පලහිලව්වක් හටගත්තද ඔටිති 15 හැවිරිදි බාලවයස්කාර දැරිවියකි. කසුන් 24 හැවිරිදි තරුණයෙකි.

ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සබඳතාව කන වැකුණු සෝරාගේ මව සහ කසුන් හරහාම හඳුනාගත් ඇගේ ශ්‍රී ලාංකික හිතවතා දැඩි විරෝධයක් පෑහ. අනාවරණය වන ආකාරයට එම ප්‍රේම සබඳතාව නිසාවෙන් කසුන්ට සහ සෝරාට පහරදීම් දොස් පරොස්ද බොහෝ සිදුවී ඇති බවකි. එවැනි වටපිටාවක් ‍ගොඩනැඟෙද්දී කසුන් සහ සෝරා තීන්දු කර ඇත්තෙ මෙරටට පැන ඒමටයි. ඒ අනුව දිනක් කසුන් සෝරාට පවසා ඇත්තෙ,

"අපි ලංකාවට යමු... එතකොට මේ ප්‍රශ්න මුකුත් නෑනෙ..." ඇයද ඊට ඉත සිතින්ම කැමැත්ත ප්‍රකාශ කළාය.

අනතුරුව දෙදෙනාගේ ස්වකැමැත්ත මත වැඩිහිටි සියලු දෙනාටම හොර රහසේ 2020 මාර්තු 12 වැනිදා ජපානයේ නරිටා ගුවන් සේවයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණේ එදින සවස 4ට පමණය.

සිය දියණිය ගැන සොයා බැලු ඔටිති සියොරිට ක්ෂණිකවම දැනගන්නට ලැබී ඇත්තෙ දියණිය සහ ඇගේ පෙම්වතා කසුන් අසවල් ගුවන් සේවයෙන්, අසවල් දින, අසවල් වෙලාවට ශ්‍රී ලංකාවට පලා ගොස් ඇති බවයි. වහා ඇය ජපන් ගුවන් සේවය සහ මෙරට ජපන් තානාපති කාර්යාලය අමතා තම දියණිය ශ්‍රී ලාංකිකයකු පැහැරගෙන ගොස් ඇති බවත් ඇයව ගුවන්තොටුපළේම රඳවා තබාගන්නා ලෙසත් තමාද ලංකාවට පැමිණෙන බවත් දන්වා තිබුණාය. එසේම ඒ වන විට ඔටිති සියොරිගේ මෙරට සමීප හිතවතාද ලංකාවට පැමිණ සිටියේය. ඔහුටද කියා තිබුණේ ගුවන් තොටුපළේදී දියණිය ඔහු බාරයට ගන්නා ලෙසත් තමාද ලංකාවට පැමිණෙන බවත්ය.

නියමිත වෙලාවට කටුනායක ගුවන් තොටට පැමිණි කසුන් සහ සෝරා ජපාන තානාපති කාර්යාලයේ සහ ගුවන් තොටුපොළ පොලිසිය මැදිහත් වීමෙන් දැරිවිය ඇගේ මවගේ සමීප හිතවතාට බාර දීමත් තැත් කළත් දැරිය "මට එයත් එක්ක යන්න බෑ" යැයි කියමින් දැඩි විරෝධයක් පා තිබුණාය.

අනතුරුව තානාපති කාර්යාල අයවලුන්ගේ මැදිහත් වීමෙන් ජපානයේ සිට දැරියගේ මව මෙරටට පැමිණෙන තෙක් ඔටිති සෝරා කොච්චිකඩේ ප්‍රදේශයේ කසුන්ගේ නිවෙස් ආසන්නයේම හෝටලයක නතර කළාය. ඇගේ තනිවට කසුන්ගේ නැඟණියද නතර කළේ බලධාරින්ගේ මැදිහත් වීම මතයි.

එසේ දැරියට හෝටලයේ ගතකිරීමට හැකි වූයේ දින දෙකක් පමණි. එනම් 2020 මාර්තු 14 වැනිදා කසුන්ට දැනගන්නට ලැබී ඇත්තෙ එදින සෝරාගේ මව ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. ඇය සිය පෙම්වතිය ජපානයට රැගෙන යාවි යැයි බිය වූ නිසාවෙන් පෙම්වතිය හෝටලයෙන් රැගෙන පළා ගියේය.

ඔටිති සියෝරි ලංකාවට පා තැබූ සැණින් මෙරට සමීප හිතවතා සමඟ සිය දියණිය බාර ගැනීමට පැමිණියත් ඇය හෝටලයෙන් පැහැරගෙන ගොස් ඇති බව දත් සැණින් කොච්චිකඩේ පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබුණාය. එකී පැමිණිල්ල අනුව කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රිනික ජයකොඩි, මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේද උපදෙස් මත විමර්ශන ආරම්භ කෙරිණි. එහිදී සිය පෙම්වතිය කසුන් පැහැරගෙන ගොස් තිබුණේ ඇගේ තනිවට සිටි නැඟණියද නොමැති අවස්ථාවක බව අනාවරණය විය. ‍‍

කෙසේ හෝ පොලිසිය විසින් මෙකී පැහැර ගැනීම පිළිබඳව මීගමුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු දෙදෙනාට විදෙස්ගතවීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කෙරිණි. ඊට අමතරව දැරිය පැහැර ගැනීමට සහාය දුන් බවට කසුන්ගේ නැඟණිය සහ මවද අත්අඩංගුවට පත්වූවාය. තවද කසුන්ගේ ඥාති සොහොයුරෙක් සමඟ දෙදෙනා පළා ගිය බවට සැලවුණු මෝටර් රථයද පොලිසිය බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. අනතුරුව සියලු දෙනාට 2020 ජූනි 12 සහ 18 වැනිදා අධිකරණයෙන් ඇප නියම වූහ.

දියණිය සොයා ගැනීමට නොහැකි වූ තැන ඇගේ මව සියෝරිද ජපානයට ගියාය. කෙසේ හෝ කොච්චිකඩේ පොලිස් නිලධාරින් දිගින් දිගටම මේ පිළිබඳව විමර්ශන සිදු කළහ. පසුගිය දින කීපයේ එම විමර්ශන කඩිනම් කරමින් මෙකී පැහැර ගැනීම පිළිබඳ මෙරට සියලු පොලිස් ස්ථානද දැනුවත් කරමින් සමාජ මාධ්‍ය ඇතුළු සියලුම පුවත්පත් මාධ්‍ය ඔස්සේද පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කොච්චිකඩේ පොලිසිය කටයුතු කළේ පොලිස්පතිවරයාගේද උපදෙස් මතයි. ඒ අනුව මේ පිළිබඳව පසුගිය 25 වැනිදා කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාට එක්තරා කාන්තාවකගෙන් දුරකථන ඇමැතුමකින් හෝඩුවාවක් ලැබී තිබුණේය.

"සර්... සැක කටයුතු තරුණ යුවළක් මූදුකටුව ප්‍රදේශයේ නිවෙසක සිටිනවා... සර්ලා හොයන දෙන්නා වෙන්න පුළුවන්..." කියායි.

ඊට ක්ෂණිකවම ක්‍රියාත්මක වූ කොච්චිකඩේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එදින සවස් යාමයේ තොරතුරුකාරිය කී එම නිවෙස වැටලීය. නිවෙස අයත් වූයේ කසුන්ගේ මවගේ නැඟණියටයි. වටලන මොහොතේ නිවෙසේ දොරගුළුලා කිසිවෙක් නොමැති සේ පෙනුණේය. පසුව පොලිස් නිලධාරීන් වහලය මතට නැඟ සෝදිසි කිරීමේදී දෙදෙනා නිවෙසේ සිටින බව දැකගන්නට ලැබිණි. ‍ 

එසැණින් ක්‍රියාත්මක වූ ‍පොලිස් නිලධාරින් දෙදෙනා පොලිස් බාරයට ගත්තේය. පසුගිය මාස අටක පමණ කාලයක් කට්ටි පනිමින් සිටි දෙදෙනා රට වටේම ගොස් සැඟවී සිට ඇති බවකි. මේ වන විට අවුරුදු 16 යි මාස දෙකක් පමණ වයසැති ඔටිති සෝරා පස් මස් ගැබිනියක් බවටද වෛද්‍ය වාර්තා මඟින් නිගමනය වන බව පොලිසිය සඳහන් කළේය.

ඇයව කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍ය සායනයකටද කසුන් විසින් රැගෙන ගොස් තිබුණේ මුස්ලිම් කතක් සේ මුහුණු ආවරණය කරමිනි. මේ වන විට ඔටිති කිසිසේත්ම කසුන් හැර දමා මොහොතක් හෝ වෙන්ව සිටීමටත් මව ළඟට හෝ ජපානයට යාමට අකැමැති බවත් පොලිසියට කියා තිබුණේ ස්වකැමැත්තෙන් තමන් මෙලෙස පැමිණි බවද පවසමිනි.

පොලිසිය විසින් පසුගිය 26 වැනිදා මීගමුව අතිරේක මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ වෙත ඉදිරිපත් කළ කසුන් දැරියක පැහැරගෙන යෑම, ස්ත්‍රී දූෂණයක් කිරීම යන චෝදනා යටතේ ලබන දෙසැම්බර් මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඊට අනුබල දුන් දමින්ද සුපුන් චතුරංග සහ දීපිකා යන දෙදෙනා ඇප මත මුදා හැරිණි. ඔටිති සෝරා දැරිය මොරටුව, ලුනාව මා සෙවණ මධ්‍යස්ථානයේ නේවාසිකව තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි. මාස ගණනක් පුරා කොච්චිකඩේ පොලිසිය විසින් සිදු කළ විමර්ශන සඳහා මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ උපදෙස් මත පොලිස් අධිකාරි නිමල් බණ්ඩාරගේ අධීක්ෂණයෙන් කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රිනික ජයකොඩි ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ශිරාන් පෙරේරා ඇතුළු සැරයන් 40290 රුවන්, කාන්තා සැරයන් 1270 නෙරංජලා, කොස්තාපල් සුමිත්‍රානන්ද, කාන්තා කොස්තාපල් 10964 ධනංජි සහ රියැදුරු 19387 සිසිර යන පිරිස එක් වූහ.

Comments