සම රකින තක්කාලි | සිළුමිණ

සම රකින තක්කාලි

තක්කාලි කියන්නේ සමට හිතකර, සමට හොඳ සිසිලසක් ලැබෙන පලතුරක්. එහි ඇති විටමින් C සහ A අපේ සම නිරෝගී කිරීමට උපකාරී වෙනවා. එහි ඇති ඇසිඩ් සමේ තිබෙන තෙල් ගතිය පාලනය කරන්න උපකාරි වෙනවා. අකලට සම රැලි වැටීම, පාරජම්බුල කිරණින් සම ආරක්‌ෂා කිරීම, චර්ම පිළිකා ඇතිවීම වැළැක්‌වීම තක්‌කාලි මඟින් සිදු කෙරෙනවා.හැබැයි මේ සඳහා වස විස නැති තක්‌කාලි තෝරා ගැනීමට මතක තබා ගන්න.

මුහුණට

කුරුලෑ ඇති මුහුණකට සබන් හෝ කෘත්‍රිම කාරක අඩංගු ෆේස් වොෂ් භාවිත කරනවා වෙනුවට තක්‌කාලි ගෙඩියක්‌ දෙකට කපා සෙමින් මුහුණේ අතුල්ලා විනාඩි 15 – 20 ත් අතර කාලයක් තබා ඇල් වතුරෙන් මුහුණ සෝදා තෙත මාත්තු කරන්න.

තක්‌කාලි යුෂ මේස හැන්දකට ලෙමන් යුෂ බින්දු කීපයක්‌ එකතු කර හොඳින් මිශ්‍ර කර මුහුණේ හොඳින් ආලේප කර විනාඩි 5 – 10 ත් අතර කාලයක් තබා මඳ උණුසුම් ජලයෙන් මුහුණ සෝදන්න.

තක්කාලි යුෂ මේස හැන්දකට දෙහි බින්දු තුන හතරක්, කහ ස්වල්පයක් දමා මුළු සිරුරේම වුවද ගල්වා මිනිත්තු 15ක් පමණ තබා හොඳින් සෝදා හරින්න.

තක්කාලි මාස්ක් එක ඝනකමට සාදා ගැනීමට අවශ්‍ය නම් තක්කාලි බ්ලෙන්ඩ් කර එයට මී පැණි එක් කරන්න. එය මුහුණේ තවරා විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.

තක්කාලි ගෙඩියක් හා අලිගැට ‍පේර ගෙඩියක් හොඳින් පොඩි කර මුහුණ පුරා තවරා මිනිත්තු 20 - 30කට පසු ඇල් ජලයෙන් මුහුණ සෝදන්න. මෙම සත්කාරය සතියකට වතාවක්‌ කිරීමෙන් වැඩි ප්‍රතිඵලයක් ලබා ගත හැකියි. මෙය මිශ්‍ර සමකට වඩාත් සුදුසුයි.

තක්කාලි ගෙඩි බාගයක් පොඩි කර යෝගට් මේස හැඳි 2ක් දමා හොඳින් මිශ්‍ර කර මුහුණේ තවරා මිනිත්තු 20කින් සෝදා මුහුණ හොඳින් පිසදා ගන්න. මෙය අව්වට පිළිස්සුණු සම ඉවත් කරගන්න උපකාරී වෙයි.

 

හිසට

තක්කාලි ගෙඩියක් පොඩි කර එයට යෝගට් මේස හැඳි 3ක් සහ දෙහි ගෙඩි බාගයක යුෂ එක් කර කලවම් කර හිස් කබලේ ගා මිනිත්තු 30 කින් පමණ සෝදා හරින්න.

ෂැම්පෝ භාවිතය වෙනුවට හොඳින් ඉඳුණු තක්කාලි ගෙඩියක් පොඩි කර හිස තවරා පැයකින් සෝදා හරින්න. මෙය හිස්හොරි නැසීමට කදිම සත්කාරයකි.

මී කිරි, යෝගට්, දෙහි බින්දු දෙකක්, තක්කාලි යුෂ සහ වියළි ඉඟුරු කුඩු බිත්තර සුදු මදය සමඟ කලවම් කර හිස් කබලේ ගල්වා හොඳින් පිරිමැද විනාඩි 20 කින් සොදා හරින්න.

Comments