වයස් සීමා­වක් නැතිව තරග වදින The Voice Sri Lanka | සිළුමිණ

වයස් සීමා­වක් නැතිව තරග වදින The Voice Sri Lanka

රියැලටි වැඩසටහන් මෙරට ප්‍රේක්ෂකයන්ට ආගන්තුක නොවේ. එහෙත් සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ කිරුළු දරන්නට තරම් නැවුම් සහ සෞන්දර්යාත්මක බවින් පිරිපුන් රියැලිටි වැඩසටහන් ඇත්තේ කිහිපයකි. ඒ අතර මෙරට ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ කිරුළු පැලැඳි නවෝත්පාදකයා ලෙස සැලකෙන සිරස ටී. වී සිය ප්‍රෙක්ෂකයන්ට තිළිණ කරන අලුත් ම දැවැන්ත රියැලිටි අත්දැකීම වන්නේ The Voice Sri Lanka වැඩසටහනයි.

 

ජාත්‍යන්තර වරලත් ' Voice' වැඩසටහන් මාලාවේ දෙවැනි වැඩසටහන ලෙස The Voice Sri Lanka වැඩසටහන පසුගිය නොවැම්බර් 21 වැනිදා රාත්‍රී 8.30ට විකාශනය ආරම්භ විය.

එහි පළමු වැනි වැඩසටහන වූයේ පසුගියදා නිමාවට පත්වූ The Voice Teens වැඩසටහනයි. අඛණ්ඩ ප්‍රේක්ෂක ආකර්ෂණයෙන් උත්කර්ෂයට පත් එම වැඩසටහනේ දෙවැනි අදියර ලෙස The Voice Sri Lanka වැඩසටහන සන්නාම ගතවන්නේ සිය ප්‍රේක්ෂක සමූහයාට නවමු අත්දැකීම් සමුදායක් තිළිණ කරමිනි.

The Voice Sri Lanka වැඩසටහන ඊට පෙර විකාශනය කළ The Voice Teens වැඩසටහනෙන් වෙනස් වූවකි. පසුගිය සතියේ විකාශනය ආරම්භ කළ "The Voice Sri Lanka" වැඩසටහනේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්නේ අලුත් කණ්ඩායමකි. එමෙන්ම මෙවර තරගයට සභාගි වන තරගකරුවන් ද පසුගිය තරගයට වඩා වෙනස් වෙයි. එම්. ටී. වි මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල් ඒ පිළිබඳ මෙසේ පැවසීය.

'The Voice Sri Lanka' කියන්නේ Voice නම් ජාත්‍යන්තර වරලත් වැඩසටහනේ නිල අයිතිය සමඟ වෙනස් හඬ ඇති, අලුත් තාරුණ්‍යය ආමන්ත්‍රණය කරන්නට ලැබෙන කදිම අවස්ථාවක්. Voice ආරම්භ වන්නේ 2010 වසරේ නෙදර්ලන්තයේදී. එහි Voice Kids, Voice Teen සහ The voice ලෙස තරග 3ක් පැවැත්වෙනවා. එම වැඩසටහන මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය ආදී ලොව පුරා රටවල් 145ක පැවැත්වෙනවා. ඒ අතර Voice Kids කියන්නේ කුඩා දරුවන්ගේ වැඩසටහන. Voice Teen නව යොවුන් දරුවන් වෙනුවෙන් පවත්වන වැඩසටහන. අප මීට පෙර පැවැත්වූ Voice Teen වැඩසටහන ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැලඳ ගත්තා. මෙවර අපි පවත්වන්නේ The voice වැඩසටහනයි. එම ජාත්‍යන්තර වරලත් වැඩසටහන එක් එක් රටවල් පවත්වන්නේ එම අන්තර්ජාතික වැඩසටහනේ නම අදාළ රටේ නම සමඟ භාවිත කරමින්. The voice Sri Lanka ලෙස අප එය නම් කර තිබෙන්නේ ඒ නිසයි. මෙම තරගය විශේෂිත වන්නේ එය වයස් සීමාවකින් තොරව පවත්වන තරගයක් වීමයි. ඒ නිසාම Voice Teen වැඩසටහනට ලැබුණු ප්‍රේක්ෂක ආකර්ෂණයටත් වඩා වැඩි ආකර්ෂණයක් The voice වැඩසටහන සඳහා ලැබෙයි කියා අප විශ්වාස කරනවා. ඒ වගේම තරගකරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ තරගයකට සහභාගි වීමේ අවස්ථාවත් අපේ ගීත ජාත්‍යන්තරයට ගෙනයන්නත් ලැබෙන හොඳම අවස්ථාවක් ලෙස මෙම තරගය සැලකිය හැකියි. "

මෙම තරගයේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්නේ දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ තාරුණ්‍යයේ හදවත් වසඟ කළ ගායක ගායිකාවන් පස්දෙනකු වීම විශේෂත්වයකි. ඒ භාතිය - සන්තුෂ්, උමාරියා සිංහවංශ, ශෂිකා නිසංසලා සහ කසුන් කල්හාර යි. The Voice Sri Lanka තරගයේ පුහුණුකරුවන් තෝරා ගැනීම පිළිබඳ සුසාර පවසන්නේ මෙවැන්නකි.

"මේ සඳහා අප තෝරාගත්තේ ලංකාවේ ඉන්න විශිෂ්ටතම සංගීතවේදින් සිවු දෙනෙක්. මෙහිදී භාතිය සහ සන්තුෂ් එකම අසුනක අසුන් ගෙන එක් පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමත් විශේෂත්වයක්. මෙම සංගීතවේදීන් සතු දෙස් විදෙස් අත්දැකීම්, සංගීතය පිළිබඳ ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳ සැලකීමෙන් පසුයි අප පුහුණුකරුවන් ලෙස ඔවුන් තෝරා ගත්තේ. තෝරා ගන්නා තරගකරුවන් ඔවුන් විසින් පුහුණු කර ඉදිරි තරග වටවලට ඉදිරිපත් කරනවා. මෙම වැඩසටහන විකාශනය කිරීම තුළින් පළමු වරට සති අන්තයේ Back to Back(එකක් පිටුපස එකක්) ලෙස වරලත් වැඩසටහන් දෙකක් සිරස ටීවී නාළිකාව තුළ විකාශනය වනවා. සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 7.30-8.30 දක්වා විකාශනය වන සිරස ලක්ෂපති කියන්නෙත් වරලත් වැඩසටහනක්. ඉන්පසු රාත්‍රී 8.30 සිට The Voice Sri Lanka වැඩසටහන විකාශනය වනවා. මෙය ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක්. ඒ තුළින් අපි බලාපොරොත්තු වන්නේ සතිඅන්තය තුළ සම්පූර්ණයෙන්ම වින්දනීය අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදීමටයි"

The Voice Sri Lanka විකාශන කටයුතු සිදු කෙරෙන්නේ දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණය වන රත්මලානේ ස්ටයින් මැදිරි සංකීර්ණයේ සිටයි. මෙම රියැලිටි තරගාවලිය අතිශය තරගකාරී සහ තීරණාත්මක තරග වට ගණනාවකින් යුතුව පැවැත්වීමෙන් අනතුරුව ජයග්‍රහකයා තෝරා ගැනීමට නියමිතය.

Comments