මේ තරු ඇත්තටම නිරෝධායනයේ ද? | Page 2 | සිළුමිණ

මේ තරු ඇත්තටම නිරෝධායනයේ ද?

කොවිඩ් 19 වයිරසය යනු ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන්නේ ඊට ගොදුරු කරගන්නා පුද්ගල තරාතිරම පිළිබඳ කිසිදු නිනව්වකින් නම් නොවේ. පහළ මට්ටමේ සිට සුපිරි පැලැන්තියේ මහා ධනවතුන් සහ බලවතුන්ද මේ වන විට කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ. කලා ලෝකය පිළිබඳ සලකා බැලීමේදී පළමු වැනි කොඩිව් ආසාදිතයා ලෙස වාර්තා වූයේ ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් හැන්ක්ස් සහ ඔහුගේ බිරිය රංගන ශිල්පිනී රීටා විල්සන් ය. ඉන්පසු ගතවූ කාලය පුරාවට ජනප්‍රිය කලා ශිල්පීන් සහ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම කොවිඩ් ආසාදිත වූ බව වාර්තා විය.

ඉකුත් සතියේ මෙරට ජනප්‍රිය කලා පවුලකට අයත් නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියකු කොවිඩ් ආසාදිත බව තහවුරු විය. ඒ සමඟම ඔහු හා රූගත කිරීම්වලට සහභාගි වූ නළු නිළියන් කිහිපදෙනකුටද කොවිඩ් ආසාදනය වී ඇති බව සහ ඔවුන් නිරෝධායනය වෙමින් සිටින බවටද විවිධාකාර පුවත් කටකතා තැන තැන රැව් දෙන්නට විය. එවැනි පුවත්වල සත්‍ය අසත්‍යතාව පිළිබඳ තහවුරු කරගැනීම සඳහා අප එම පුවත්වලට බඳුන් වූ රංගන ශිල්පීන්, ශිල්පිනියන් කිහිප දෙනකු කතාබහට එක්කර ගත්තෙමු. මේ, ඒ පිළිබඳ ඔවුන් දැක්වූ අදහස්ය.

 

මම නිරෝධායනය වෙන ගමන්...

- අංජන ප්‍රේමරත්න

 

“මම පළමුපෙළ ආශ්‍රිතයෙක් නෙමෙයි. මම හොඳින් ඉන්නවා. මම මේ දවස්වල ඉන්නෙ ඇනෙක්ස් එකේ. මම ම හිතලා තමයි මේ දවස්වල ස්වයං නිරෝධායනය වෙලා ඉන්නෙ. මොකද ඒක හැමෝටම හොඳ දෙයක් නිසා. වෙන ප්‍රශ්නයක් නැහැ.”

 

මම ආරක්ෂිතයි

- සූර්යා දයාරුවන්

 

“මම ඇත්තටම පරෙස්සමෙන් ඉන්නේ. මම නිරෝධායනය අවශ්‍යතාවයක් ආවේ නැහැ. පහුගිය දවස් ටිකේම ‘සල්මල් ආරාමය‘ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වල තමයි එක දිගටම හිටියේ. පහුගිය 22 වැනිදා තමයි ඒ නාට්‍යයේ රූගත කිරීම් ඉවර කළේ. 24 වැනිදා ඉඳන් ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂවරයාගේ ‘සකර්ම‘කියන නාට්‍යයේ රූගත කිරීම්වලට එකතු වෙලා ඉන්නවා. කුරුණෑගල මහව ප්‍රදේශයේ රූගත කිරීම් කරන්නේ. හැමවෙලාවෙම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් තමයි අපි රූගත කිරීම් කරන්නේ. කැලෑවක ඉන්න නිසා අපිට බොහෝ අය එක්ක ගැටෙන්න වෙන්නෙත් නෑ. පිළිවෙලට නාට්‍යයේ වැඩ ටික කරගෙන පරෙස්සමෙන් ඉන්නවා.”

 

“පසුගිය 20 වැනිදා මම ‘ගරුඬ මුහුර්ථය‘ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරලා ගෙදර ආවා. ඒ ආපූ ගමන්ම මම අලුත් නාට්‍යයක රූගත කිරීම්වලට ගියා. උඩවලවේ තමයි ඒ නාට්‍යයේ රූගත කිරීම් තිබුණේ. එහේ සිග්නල් හරියට තිබ්බෙත් නෑ. මට දුරකථන ඇමතුමකින් තමයි දැනගන්න ලැබුණේ ‘ගරුඬ මුහුර්ථය‘ ටෙලි නාට්‍යයේ රංගන ශිල්පියෙක්ට කොවිඩ් වැලඳිලා කියලා. මම දන්නවා නම් උඩවලවේ රූගත කිරීම්වලට වුණත් යන්නේ නෑ. අලුත් නාට්‍යයෙදි වුණත් වේෂ නිරූපණ ශිල්පියා පවා ඩබල් මාස්ක් දාගෙනයි අපිට මේකප් කළේ. මම කොහොමත් මගේ ස්පොන්ච් එක තමයි මේකප් කරද්දි පාවිච්චි කරන්න දෙන්නේ. රූගත කිරීම්වලදී වුණත් මම සෞඛ්‍යාරක්ෂිතවයි හිටියේ. මගේ දර්ශණය රූගත කරද්දි විතරයි මාස්ක් එක වුණත් ගැලෙව්වේ. කොහොම හරි අපේ සහෝදර ශිල්පියෙක් පොසිටිව් වෙලා කියලා දැනගත්ත ගමන් මම කොළඹ ආවා. ඒ ශිල්පියාගේ පළමු ආශ්‍රිතයන් අතරේ මමත් ඉන්නවා. දැන් මම මගේ ගෙදරම වෙනම කාමරයක නිරෝධායනය වෙනවා. පෞද්ගලිකව වගේම රජයෙනුත් මගේ පී. සී. ආර් පරීක්ෂණ සිදු කළා. මේ කමෙන්ට් එක දෙන දවස වෙද්දි PCR පරීක්ෂණයේ වාර්තාව ඇවිත් තිබ්බේ නෑ. මම නිතරම ලුණු කැඳ බොනවා. දුම් අල්ලනවා. සෞඛ්‍යාරක්ෂිතව ආහාරපාන ගන්නවා. මම හිතනවා මට ප්‍රශ්නයක් නැති වෙයි කියලා. මම ප්‍රාර්ථනා කරන්නේ මම පොසිටිව් වුණොත් මගෙන් කාටවත් මේ රෝගය බෝ වෙන්න නම් එපා කියලයි. එහෙම සුබවාදීව මම හැමදේම හිතනවා.”

 

මට ප්‍රශ්නයක් නැහැ...

- ජෙහාන් අප්පුහාමි

 

“ 'ගරුඬ මුහුර්ථයේ' රංගනයේ යෙදෙන සහෝදර රංගනශිල්පිනයක් සමඟ රූගත කිරීමකට මම පසුගිය දා යන්න හිටියේ. නමුත් ඇය නිරෝධායනය වෙන බව දන්වා තිබූ නිසා එම රූගත කිරීම කල්ගියා. ඉතිං මේ දවස් ටිකේ මගේ කලා සඟරාවේ වැඩ කටයුතු එක්ක නිවසේ හිටියේ. ඒ නිසා මම හිතනවා මම ආරක්ෂිතයි කියලා. මගේ රසිකයන්ට කියන්න තියෙන්නේ මේ වෙද්දි මම හොඳින් ඉන්නවා. කොවිඩ් ආසාදිතයෙක් හෝ නිරෝධායනයට ලක් වෙලා නැහැ.

 

මම හිටියේ එප්පාවල...

- දසුන් පතිරණ

 

“පහුගිය දවස් ටිකේම මම හිටියේ ‘ගිරිදේවි නාට්‍යයේ‘රූගත කිරීම්වල. අනුරාධපුරයේ එප්පාවල තමයි රූගත කිරීම් තිබුණේ. අපි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ නාට්‍යය කරන්න ඕනේ නිසා වගේම නිර්මාණයට තියෙන ආදරය නිසා අවදානමක් අරගෙන වුණත් රූගත කිරීම් කළා. ‘ගරුඬ මුහුර්ථය‘ නාට්‍ය කණ්ඩායමේ එක් රංගන ශිල්පිනියක් මේ නාට්‍යෙයේ රූගත කිරීම්වලට එන්න හිටියත් ඇය නිරෝධායනය වෙන නිසා රූගත කිරීම්වලට ආවේ නැහැ. ඒ නිසා ‘ගිරිදේවි‘ කණ්ඩායමට මෙතෙක් ප්‍රශ්නයක් වුණේ නැහැ. මට නිරෝධායනය වෙන්න වුණෙත් නැහැ. මේ මොහොත වෙනකල් අපිට ප්‍රශ්නයක් නැහැ. ඊළඟ මොහොත ගැන අපිට කියන්න බැහැ. රූගත කිරීම් ඉවර වෙලා මම ගෙදර ආවා. දැන් නම් ගෙදරට වෙලා ඉන්නවා.”

 

Comments