පවු­ලක් කියන්නේ ටීම් වර්ක් එකක්... එකට හිටි­යොත් ජය නිය­තයි... | සිළුමිණ

පවු­ලක් කියන්නේ ටීම් වර්ක් එකක්... එකට හිටි­යොත් ජය නිය­තයි...

බිරියගේ සහයෝගය ජීවිතය පුරා නොඅඩුව ලැබුණා...

මම වැඩිපුරම සතුටු වෙන්නේ 'මම' විදිහට ජීවත් වීමෙන්...

අපි අභියෝගවලට මුහුණ දෙන්නේ පවුලක් විදිහටයි. ඒ නිසා පරදිනවා අඩුයි...

 

"තනතුරු කියන්නේ රටට, සමාජයට සේවයක් කිරීමට භාවිත කළ යුත්තක් මිස පෞද්ගලිකව තමන් බබළවා ගන්න පාවිච්චි කළ යුතු දෙයක් නෙවෙයි. මගෙන් රටට, සමාජයට විය යුතු සේවය නොපිරිහෙලා ඉටු කරමින් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ජීවත් වීම මගේ බලාපොරොත්තුවයි. අදටත් මම සරල ගැමියෙක්. මම වැඩිපුරම සතුටු වෙන්නේ 'මම' විදිහට ජීවත් වීමෙන්. ඒ නිසා එදා වගේම අදත් ගැමිකමේ අව්‍යාජ සුන්දරත්වය මට හදවතින්ම විඳින්න පුළුවන්."

 

ජීවිතය පිළිබඳ ඒ සුන්දර දැක්ම මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නිලධාරියකුගේය. ඔහු, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ආර්.පී. බන්දුල තිලකසිරි ය. මෙවර ‘කැදැල්ලේ කතාව‘ හැඩ වන්නේ ඔහුගේ ජීවන චාරිකාවේ සොඳුරු මතකයන්ගෙනි.

"මගේ ගම මාතර බෙලිඅත්තෙ ගලගම. අම්මා, තාත්තා සහ දරුවෝ අට දෙනෙක් සහිත තරමක් ලොකු පවුලක්. සහෝදර සහෝදරියන් සහ අසල්වැසි ළමුන් සමඟ වෙල්යායේ, ඇළේ දොළේ, වතුපිටිවල දුව පනිමින් ඉතාම කෙළිදෙළෙන් ගත කරපු සුන්දර ළමා වියක් තිබුණා. ඒ කාලේ කුඹුර තමයි අපේ ක්‍රීඩා පිට්ටනිය. නමුත් ඒ සියල්ල අතරේ මුල සිටම අධ්‍යාපන කටයුතු හොඳින් කළා. ගමේ පොදු කටයුතු, දහම් පාසලේ සහ යෞවන සමාජවල කටයුතුවලටත් සම්බන්ධ වුණා. පාසලින් ලැබුණු ආභාසයෙන් ජීවිතයේ සාර්ථකත්වයට අවශ්‍ය මූලික පදනම සකස් වුණා."

සිප් සතර හැදැරූ පාසල් සහ එහිදී හමුවූ ගුරු මවුපියන් පිළිබඳ අදටත් ඔහුගේ සිතේ ඇත්තේ දැඩි කෘතවේදී බවකි. ඔහු ඒ මතක අවදි කළේ ගෞරවනීය හැඟීමකිනි. "මුලින්ම මම ගියේ ගලගම කුමර විදුහලට. 1972දී මම ගලගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් වුණා. මට මතකයි ඒ විද්‍යාලය ප්‍රාථමික පාසලක් ලෙස නම් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුණේ ඒ වෙනුවෙන් පුරෝගාමී වූ එවකට බෙලිඅත්තේ ළාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂයන්. ඒ පාසලේදී හමුවූ, අපි කවුරුත් 'ලොකු මිස්' කියා ආදරෙන් ඇමතූ සෝමා සමරවික්‍රම ගුරුතුමිය දරු දැරියන්ගේ ජීවිතවලට විශාල ආලෝකයක් වුණා. එතුමිය අපිව හුරු කළේ විභාගවලට විතරක්ම නොවෙයි. ජීවිතවලට ඉලක්කත් දුන්නා. පාසලේදී නාට්‍ය ආදී කලා කටයුතු, ක්‍රීඩා කටයුතුවලට අමතරව ගෙවතු වගා වැඩවලත් යෙදුණා. 1974 දී අපේ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වුණේ මම සහ සුමිත් විජේසිංහ (ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් සභාපති) පමණයි. නමුත් අපේ කණ්ඩායමේ හත් අට දෙනෙක්ම විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබුවා. අද ඔවුන් විවිධ ක්ෂේත්‍රවල ඉහළ තනතුරු දරනවා "

ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසු ද්විතීය අධ්‍යාපනයට මාතර දික්වැල්ල විජිත මහා විද්‍යාලයට ඇතුළත් වන බන්දුල තිලකසිරි එහි කැපී පෙනෙන සිසුවකු විය. විද්‍යාලයීය ක්‍රිකට් සහ වොලිබෝල් කණ්ඩායමේ මෙන්ම විවාද, කථික සහ විද්‍යා සංගමම්වලද ක්‍රියකාරී සාමාජිකයකු වූ ඔහු ශිෂ්‍ය නායක ධුරයද දැරීය. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයට ඇතුළත් වීමට සුදුසුකම් ලබන ඔහු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඇරඹෙන තුරු අම්පාරේ හාඩි ආයතනයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාවද හැදෑරීය.

" පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ලැබීම මගේ සැබෑ වූ සිහිනයක්. වරක් අපි ගමේ ඉඳලා බස් එකකින් චාරිකාවක් යද්දී මහනුවර ටවුමෙදි බස් එක කැඩුණා. එදා බස් එක හදාගන්න බැරිවුණු නිසා කට්ටිය විශ්‍රාම ශාලාවක නවාතැන් ගත්තා. පහුවදත් බස් එක හදනකම් අපි හිතේ හැටියට නුවර පුරාම ඇවිද්දා. පේරාදෙණිය මල්වත්ත, කැම්පස් එක පැත්තටත් ගියා. ඒ වෙලාවේ තමයි මට හිතුණේ මම පේරාදෙණිය කැම්පස් එකට එනවා කියලා. ඒ සිහිනය සැබෑ කරගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවට ඒ සුන්දරත්වය හරියට විඳින්න නම් ඉඩක් ලැබුණේ නැහැ. මම සරසවියේ හිටපු 87, 88 කාලයේ රටේ තිබුණු භීෂණකාරී තත්ත්වයත් එක්ක සරසවි සිසුන්ට සුබදායී පරිසරයක් තිබුණේ නැහැ. ඉගෙන ගැනීමට වඩා ජීවිතේ රැක ගැනීමයි ඒ කාලේ අපේ මූලික අරමුණ වුණේ. නමුත් ප්‍රායෝගික පුහුණුව සඳහා අනුරාධපුරයේ මහඉලුක්පල්ලම ගත කළ කාලය නම් ඉතා ඵලදායී සහ සුන්දර කාලයක්. සිසු කණ්ඩායම් විදිහට අපි පාපැදිවලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැමතැනම ගියා. උදේට වැඩ කරලා හවසට වැවෙන් නාලා, පොඩි කඩේකින් රොටි කාලා, ප්ලේන්ටි බීලා, බඩඉරිඟු කාලා ගැමියන්ගේ ආදර සැලකිලි ලබමින් ගත කළ ඒ කාලය හරිම සුන්දරයි. අපේ කෘෂි පීඨයේ සිසු සිසුවියන් අතර පුදුමාකාර එකමුතුකමක් තිබුණා. සාමුහිකත්වය සහ එහි වටිනාකම හොඳින්ම අත්විඳින්න ලැබුණේ එහිදියි"

සරසවි අධ්‍යාපනය නිමා කොට උපාධිය ලැබීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ පර්යේෂණ සහකාර තනතුරට පත්වන බන්දුල තිලකසිරි ඒ කටයුතු අතර කෘෂි පශ්චාත් උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණය පශ්චාත් උපාධියද හැදෑරීය. ඒ අතර නීතිය ඉගෙන ගැනීමටද ප්‍රිය කළ ඔහු ඒ සඳහා තෝරා ගන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයි.

"කථිකාචාර්යවරයෙක් හෝ මහාචාර්යවරයෙක් විදිහට දිගටම විශ්වවිද්‍යාලය තුළ රැඳෙන්න අදහසක් මට තිබුණේ නැහැ. ඒ තනතුරු සුළුකොට තකනවා නෙවෙයි, මට අවශ්‍ය වුණේ විශ්වවිද්‍යාලයෙන් පිටතට ගිහින් රටට, සමාජයට සේවයක් කිරීමයි. ඒ වගේම මට අවශ්‍ය වුණා හැම අංශයකින්ම වෘත්තීය සුදුසුකම් සපුරාගන්න. පේරාදෙණිය සරසවියේ අවසන් වසරේදී මම පොල්ගොල්ල විද්‍යා පීඨයට යන්නේ නීති උපාධියේ අවසන් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරගන්නයි."

බන්දුල තිලකසිරි නම් තරුණයාට එහිදී දෛවෝපගත ලෙස නීති උපාධිය පමණක් නොව සිය තනිකඩ ජීවිතයද අවසන් කරගැනීමට අවස්ථාව සැලසේ. ඒ, සොඳුරු යටගියාව ඔහු සිහි කළේ සතුටිනි. "විශ්වවිද්‍යාලයේ අවසන් වසර වන විට මම ඒ කටයුතුවලට සම්බන්ධ වුණේ සීමා සහිතවයි. මට බොහෝ විට දේශන මඟහැරුණා. මට මඟහැරෙන නෝට්ස්, ඉල්ලගත්තේ මිතුරියක් වූ කුමුදුනීගෙන්. නීති උපාධිය හැදෑරීම සඳහා පොල්ගොල්ලට ආ ඇය ඒ වන විට ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියා. මිතුරුකම ප්‍රේමයක් බවට හැරීමෙන් පසු 1993දී අපි විවාහ වුණා. "

විවාහයෙන් පසු සිය පශ්චාත් උපාධි සම්පූර්ණ කරගන්නා බන්දුල තිලකසිරි තවත් තරග විභාග රැසකට මුහුණ දී ඒවා සමත් වන්නේ රාජ්‍ය නිලධාරියකු ලෙස සේවය කිරීමට අවැසි සුදුසුකම් සපුරා ගනිමිනි. එලෙස ඔහු පළමුව පත්වීම් ලබන්නේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ලෙසටය.

"මගේ ජීවිතේ ඇතැම් සිදුවීම් ඉතා දෛවෝපගතයි. ඒ වෙද්දි කම්කරු සහ වෘත්තීය පුහුණු ඇමැතිවරයා ලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා. එතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික වෘත්තීය පුහුණු පනත යටතේ විභාගයක් පවත්වා බඳවා ගත් මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙක් මම. එහිදී තරුණ තරුණියන්ගේ වෘත්තීය හැකියා නඟා සිටුවීමට විශාල වැඩ කොටසක් කරන්න මට හැකියාව ලැබුණා. 2007 වසරේදී එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරය දක්වා පැමිණීමට මට හැකිවුණා. එයත් අපූරු සිදුවීමක්. මුලින්ම එහි සහකාර අධ්‍යක්ෂ ලෙස පත්වූ අවස්ථාවේ මගේ හිතේ අධිෂ්ඨානයක් ඇති වුණා මම මෙහි ඉහළම තනතුර දක්වා යනවා කියලා. ඒ අරමුණ ඉටුකරගන්න වගේම තරුණ පරපුර වෙනුවෙන් විශාල සේවයක් කරන්න අවස්ථාව ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම සහකාර අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබූ අවස්ථාවේ එහි සභාපති වුණේ මේජර් ජෙනරාල් තිලක් පොන්නම්පෙරුම. මම අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වූ අවස්ථාවේදිත් එහි සභාපති ධුරය දරමින් සිටි එතුමාගෙන් මගේ වෘත්තීය ජීවිතයට ලැබුණු ශක්තිය අදත් මම අගය කරනවා"

බන්දුල තිලකසිරි සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වන්නේ 2008 වසරේදීය. දිළිඳුකම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබු එම අවධියේදී ඒ අභියෝගාත්මක වගකීම්වලට මුහුණ දුන් අයුරු ඔහු මෙසේ කීවේය.

"දිළිඳුකම අඩු කිරීමේ ප්‍රමුඛ අරමුණ සාක්ෂාත් කරගැනීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂයන්ගේ දැක්ම සහ මඟපෙන්වීම මට විශාල ශක්තියක්, ආශිර්වාදයක් වුණා. ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග තුළ ලක්ෂ 19ක් වූ සමෘද්ධිලාභීන් ලක්ෂ 14 දක්වා අඩුකර ගැනීමට හැකි වුණා. 2013දී සමෘද්ධි අධිකාරිය දිවි නැඟුම දෙපාර්තමේන්තුව බවට පත්කිරීමෙන් පසු එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස ජනතාවගේ සහනාධාර මානසිකත්වය ඉවත් කර ජීවනෝපාය ඉහළ නංවා පවුල් සවිබල ගැන්වීමට කටයුතු කළා. නමුත් ඒ සියල්ල පසුගිය කාලයේ දී අඩපණ වුණා. දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් පුද්ගලයන් අපට විවිධ චෝදනා එල්ල කරමින් දරුණු පීඩාවන්ට ලක් කළා". එහෙත් ඒ සියලු අභියෝග සහ දුෂ්කරතා අද ඔහු සලකන්නේ ජීවිතයට ලැබුණු පන්නරයක් ලෙසිනි.

"නමුත් ඒ සියල්ල අද ඔවුන්ටම භූමරංගයක් වී තිබෙනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මම නැවත පත්වුණාට පස්සේ කොවිඩ් සමයේදී ආදායම් අහිමි ග්‍රාමීය ජනතාවට රුපියල් බිලියන 52ට අධික මුදලක් සහනාධාර ලෙස ලබාදීමට හැකි වුණා. ගෙවතු වගාවෙන් ගෘහ ආර්ථිකය නැංවීමට කටයුතු කළා. දෙපාර්තමේන්තුවේ කටයුතුවලට අමතරව දිළිඳුකම පිටුදැකීමේ ජනාධිපති කාර්යසාධන සහ ආර්ථික කටයුතු පිළිබඳ කාර්ය සාධක බළකාය නියෝජනය කරමින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීමටත් මට අවස්ථාව ලැබී තිබෙනවා." ජීවිතයේ සාර්ථකත්වයට ඉවහල් වූ සාධක පිළිබඳ ඔහු සිහි කරන්නේ තෘප්තිමත් සිතිනි.

"අරමුණක් සහ ශක්තිමත් දැක්මක් ඇතිව වැඩ කිරීම ඊට මූලික හේතුවයි. හැම අවස්ථාවකදීම මටත් ශක්තිමත් නායකත්වයක් ලැබුණු නිසා මට පහළින් සිටින අයටත් ශක්තිමත් නායකත්වයක් ලබා දෙන්න මට හැකි වුණා. පොදු අරමුණක් ඇතිව වැඩ කිරීම, සාමුහිකත්වය, එකමුතුකම සහ කණ්ඩායම් හැඟීම වෘත්තීමය ජීවිතයේ සාර්ථකත්වයට ඉවහල් වූ බව මගේ විශ්වාසයයි."

ඒ හැරුණු විට ජීවිතයේ සාර්ථකත්වය සඳහා ඉවහල් වූ මහාර්ඝ සම්පත ලෙස ඔහු සලකන්නේ තම ආදරණීය කැදැල්ලයි. මේ, ඒ ගැන ඔහුගේ වදන්ය. “ ඕනෑම වෘත්තියක නියැළෙන්න හොඳ මානසික ශක්තියක්, නිදහසක් අවශ්‍යයි. මට එය උපරිමයෙන්ම ලබා දීමේ ගෞරවය මුළුමනින්ම මගේ දයාබර බිරිය කුමුදුනීට හිමිවිය යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙස දිවුරුම් දී සිටියත් මේ වන විට මම නීතිඥ වෘත්තියේ යෙදෙන්නේ නැහැ. ඒ වගේම මගේ බිරිය නීතිඥවරියක් වීමේ ආශාවෙන් ඉගෙන ගත්තත් ඇය නීතිඥ වෘත්තිය සඳහා යොමු වුණේ නැත්තේ අවිවේකී බව නිසා මගෙන් මඟහැරෙන පවුලේ වගකීම් හරියට ඉටුකළ යුතු නිසාමයි. සංගීත ගුරුවරියක් විදිහට කටයුතු කරන අතරම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සහ පවුලේ වගකීම් වැඩිපුරම දරන්නේ ඇයයි. ඒ නිසා මගේ සාර්ථකත්වය ඇයටත් අයිතියි.

පවුලක් කියන්නේ ටීම් වර්ක් එකක්. අපේ ජීවිතවලත් ප්‍රශ්න, මතවාද නැතිවා නෙවෙයි. නමුත් එකිනෙකාට සවන් දීම, අන් මත ඉවසීම සහ දරාගැනීමෙන් ඒ සියල්ලටම පිළිතුරු තිබෙනවා. මවුපියන් විදිහට අපි නිතරම දරුවන්ගේ අදහස් විමසනවා. ඔවුන්ගේ දක්ෂතා සහ හැකියා අනුව අධ්‍යාපන සහ වෘත්තීය ක්ෂේත්‍ර තෝරා ගැනීමට නිදහස ලබාදී ඔවුන්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙනවා. අපි අභියෝගවලට මුහුණ දෙන්නේ පවුලක් විදිහටයි. ඒ නිසා පරදිනවා අඩුයි. කොවිඩ් වසංගතය සමඟ රටම අභියෝග රැසකට මුහුණ දී සිටින මේ අවස්ථාවේදී හැම කෙනෙක්ම තමන්ගේ පවුල සහ රට ගැන හිතලා සාමුහිකව මේ අභියෝගය ජයගන්න කටයුතු කළ යුතුයි"

බන්දුල - කුමුදුනී යුවළගේ වැඩිමහල් පුතු දමිඳු මෘදුකාංග ඉංජිනේරුවරයකු වීමේ අපේක්ෂාවෙන් එහි අවසන් අදියරේ අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අතර දියණිය වරුණි අධ්‍යාපනය ලබන්නේ නීතිඥවරියක වීමේ බලාපොරොත්තුවෙනි. බාල දියණිය දිල්ෂි මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටියේ ජීව විද්‍යා අංශයෙනි.

" විවේකයක් තියෙන හැම මොහොතකම මම කැමැති බිරිය සහ දරුවන් සමඟ නිවෙසේම ගත කරන්නයි. එහෙම වෙලාවට අපි පියානෝව වාදනය කරමින් සින්දු කියනවා. දුවලා දෙන්නා හදන කෑමබීමවල රහ බලනවා. කොවිඩ් වසංගතයට පෙර නම් නිවාඩුවක් ලැබුණාම ගමේ ගිහින් මගෙ අම්මා ඇතුළු ඥාතීන් සහ හිතවතුන් එක්ක කල් ගත කරනවා. විවේකයක් තියෙන වෙලාවට අපේ ගෙවත්තේ කෘෂි කාර්මික කටයුතුවල යෙදෙමින් ගහකොළ එක්ක කාලය ගතකිරීමත් මට සතුටක්. "

මවුපියන්ටත් උපන් බිමටත් බරක් නැති මිනිසකු ලෙස තෘප්තිමත් ජීවිතයක් ගතකරන ඔහු ඉදිරි සැලසුම් සහ අපේක්ෂා ගැන මෙසේ පැවසීය.

" අධ්‍යාපන සහ රාජකාරී කටයුතු වෙනුවෙන් මුල් කාලයේ අමෙරිකාව, චීනය සහ ජර්මනිය වැනි රටවලට ගියාම මට හිතුණේ අපේ රටේ එවැනි දියුණුවක් ඇතිවෙන්න කොයිතරම් කාලයක් ගතවේවි ද කියලයි. නමුත් මේ වෙද්දි ඒ කාලයට සාපේක්ෂව අපේ රට විශාල දියුණුවක් ලබා තිබෙනවා. වත්මන් දේශපාලන නායකත්වය තුළ එවැනි දියුණුවක්, සංවර්ධනයක් අපේ ජීවිත කාලය තුළදීම දකින්න ලැබීම විශාල සතුටක්. පසුගාමී මානසිකත්වයෙන් මිදුණොත් අපේ රටට තවත් ඉහළට යා හැකියි. ඒ සඳහා හැකි උපරිමයෙන් දායක වීම මගේ අපේක්ෂාවයි. "

Comments