කොරෝනාව පරදන්න එන්නත් හදන ලාංකේය දියණිය | සිළුමිණ

කොරෝනාව පරදන්න එන්නත් හදන ලාංකේය දියණිය

ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් එන්නත සම්බන්ධයෙන් පළවූ අධ්‍යයනයේ ප්‍රමුඛ පර්යේෂකයා හා කතුවරයා වූයේ ඇයයි...

 

ලෝකයම බිහිසුණු මරණයේ අඳුරු සෙවණැලි අබියසය. බලාපොරොත්තු රහිත මිනිස්සු සිය සමාජ ජීවිත අත්හරිමින් සිටිති. සියවසකට පමණ පසු එකම ඛේදවාචකයක් බිහිසුණු ලෙස නැවත සිදුවෙමින් තිබේ. ලෝකය එක සැණෙකින් විනාශ කිරීම සඳහා මාරක අවි නිර්මාණය කිරීම, විශ්වාන්තර සබඳතා ගොඩ නඟා ගැනීම වෙනුවෙන් ධනය, බුද්ධිය හා බලය ආයෝජනය කළ සමාජයක් ඇසට නොපෙනෙන වයිරසයක් ඉදිරියේ කුඩු පට්ට්ම් වී යනතුරු ඒ සඳහා පිළියම් සොයන්නට සිතා තිබුණේ නැත. ලෝකයට ආදරය කළ අල්පයක් දෙනා මේ අනතුර පුරෝකථනය කළත් ඊට කිසිවකු සවන් දුන්නේ නැත.

 

දැන් මිලියන දාහතරකට අධික ලෝකවාසී අසරණ මිනිසුන් පිරිසක් මිය ගොසිනි. මේ මොහොතෙත් මිය යමින් සිටිති. උද්දච්ච විද්‍යාත්මක සමාජයට තවමත් සිදුව ඇත්තේ ඒ අසරණයන් මියයනු බලා සිටින්නටය. මෙවැනි රෝගයක් සඳහා එකම පිළියම වූ එන්නතක් ගැන මීට සියවසකට පෙර සංවාදයක් ඇති වූයේ ලෝක ජනගහණයෙන් පහෙන් එකක් මිය ගිය පසුය. ඉන් අවුරුදු සියයකට පසු මිලියන ගණනක් යළිත් වරක් මිය යමින් සිටින විට ඒ මරණවල තිගැස්මෙන් සොයා යන එන්නත පිළිබඳ බලාපොරොත්තු සහගත වෑයමේ ප්‍රධානම විද්‍යාඥවරිය ගැන ලාංකේයන් ලෙස අප කතා කරමින් සිටින්නේ ආඩම්බරයෙනි.

ලෝකය කතා කරමින් සිටින ඇය ආචාර්ය මහේෂි රාමසාමිය. ඇය, කොවිඩ් වසංගතය සඳහා ලොව වඩාත්ම පිළිගත හැකි එන්නත පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥවරියකි. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සායනික පර්යේෂිකාවකි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම එක්ව මේ පර්යේෂණ ව්‍යාපෘතිය දියත් කර තිබිණි. මරණය බියෙන් තැතිගත් ලෝකය දැන් ඇය ඇතුළු කණ්ඩායම දෙස බලාගෙන සිටින්නේ බලාපොරොත්තු සහිත දීප්තිමත් දෑසිනි.

 

 

මවුපියන්

ආචාර්ය මහේෂි රාමස්වාමි මේ රටේ වාර්ගික සංකලනයේ අග්‍රඵලය පිළිබඳ ආදර්ශයකි. ඇගේ මවුපියෝ මේ පොළොවේ ඉපදී ලෝකය දිනූ විශිෂ්ට විද්වතුන්ය. ඇගේ මව මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි ය. පියා ලෝක සම්භාවනාවට පත් විද්වතකු වූ රංජන් රාමසාමි ය.

මහේෂි ගේ මව මන්ත්‍රී සමරනායක කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් සත්ත්ව විද්‍යාව පිළිබඳ පළමු පෙළ ගෞරව උපාධියක් ලැබුවාය. පසුව ඇයට ලැබුණු පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වයකින් කෙම්බ්‍රිජ් සරසවියට පිවිසෙන්නට වරම් ලැබුවාය. කෙම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ චර්චිල් විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත් පළමු කාන්තාව වන්නේ මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි ය.

මහේෂිගේ පියා වූ රන්ජන් රාමසාමි ට මහාචාර්ය මන්ත්‍රී සමරනායක මුණ ගැසෙන්නේ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා කේම්බ්‍රිජ් සරසවියට ලංකාවේ සිට පැමිණ සිටි වකවානුවේ දී ය. රන්ජන් රාමසාමි සමඟ කොළඹ දී විවාපත් වූ මන්ත්‍රී සමරනායක එදා සිට මන්ත්‍රී සමරනායක රාමසාමි වූවාය.

මේ විද්‍යාඥ දෙපළ කීට විද්‍යාව සහ ප්‍රතිශක්තිකරණ විද්‍යාව සම්බන්ධව අන්තර්ජාතිකව කීර්තියට පත්වූහ. සෞදි අරාබියේ දම්මාන් සරසවියේ කථිකාචාර්යවරුන් ලෙස මුලින්ම සේවය ආරම්භ කළ මේ විද්‍යාඥ දෙපළ මහේෂි උපදින කාලය වනවිට කොළඹට පැමිණියහ.

මහේෂිගේ ළමා විය ගත කරන 80 දශකයේ මුල භාගයේ ඔවුහු යාපනය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරු ලෙස කටයුතු කළහ. ලෝකයට අයත් ඔවුහු කලක් ඇමරිකාවේ සැන්ඩියගෝ සහ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස් සරසවියේ සේවය කළහ. ලෝක සංචාරයෙන් අනතුරුව මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි ලංකාවට පැමිණියාය. වර්ෂ 1999 වසරේදී ශ්‍රී ලංකාවේ Sri Lanka Association for the Advancement of Science (SLAAS) හි මහලේකම්වරිය ලෙස කටයුතු කළ ලෝකය දිනූ මේ විශිෂ්ට විද්‍යාඥවරිය 2016 මහනුවරදී මෙලොවින් සමු ගන්නේ තෘප්තිමත් ගැහැනියක ලෙසිනි.

ඇය සිය එකම දියණිය වූ මහේෂි පිළිබඳ සිටියේ අසීමිත ආඩම්බරයකිනි. මහේෂි රාමසාමි... ඇය රටට පමණක් නොව ලෝකයට ආඩම්බර විය යුතු දියණියක වග දැන් ඔප්පු කර අවසන්ය.

ළමා කාලය

මහේෂි රාමස්වාමි සිය මූලික අධ්‍යාපනය ලබන්නේ ඇගේ මව අධ්‍යාපනය හදාළ කොළඹ විශාකා විද්‍යාලයෙනි. අනතුරුව ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලෙනි. ඇය සිය උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ එක්සත් රාජධානියේ දීය.

ආචාර්ය මහේෂි රාමසාමි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රියිස්ට් විද්‍යාලයෙන් සිය වෛද්‍ය උපාධිය ලබාගත්තාය. ලන්ඩන් හා ඔක්ස්ෆර්ඩ් හිදී බෝවෙන රෝග සම්බන්ධයෙන් අධ්‍යයනය හා පුහුණුව ලැබුවාය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වඩම් විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කළාය.

 

 

වෘත්තීය ජීවිතය

දැන් ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල රෝහල්හි ජාතික සෞඛ්‍ය සේවා පදනම් භාරයේ බෝවෙන රෝග සහ ප්‍රතිශක්තීකරණය පිළිබඳ වෛද්‍යාචාර්යවරියකි. තවද ඇය මේගන් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්යවරියකි. ඔක්ස්ෆර්ඩ් එන්නත් කණ්ඩායමේ (Oxford Vaccine Group) ජ්‍යෙෂ්ඨ සායනික පර්යේෂිකාවක් (a Principal Investigator) ලෙස සිය බුද්ධිමය සම්පත ප්‍රදානය කරන්නී ඒ වෘත්තීමය පදනම මතය.

පසුගිය දා ඇය පිළිබඳ ලෝක අවධානය යොමු වූ ප්‍රධාන කරුණක් විය. ඒ ලෝ ප්‍රකට වෛද්‍ය ජර්නලයක් වූ ලැන්සැට් ජර්නලය ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් වැක්සිනය හෙවත් ChAdOx1 nCoV-19 vaccine පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් පළ කිරීමත් සමඟය. ‘කොවිඩ්-19’ වයිරසය, එන්නත්, ආරක්ෂාව හා ප්‍රතිශක්තීකරණය සම්බන්ධයෙන් පළවූ අධ්‍යයනයේ ප්‍රමුඛ පර්යේෂකයා හා කතුවරයා වූයේ ආචාර්ය මහේෂි රාමසාමි ය.

මේ විශිෂ්ට විද්‍යාඥවරිය තිදරු මවකි. ජීවිතය සමබර කරගෙන ලෝකය වෙනුවෙන් කැපවූ ගැහැනියකි. බියපත් වූ මිනිසුන්ට ජීවිතය සම්බන්ධව බලාපොරොත්තුවක් රැගෙන ලෝකය ඉදිරියේ පෙනී සිටින ඇය අප තුළ මහා හැඟීමක් උපදවන කරුණක් තිබේ. ඒ, අප මුලින් කී ලෙසම මේ විශිෂ්ට ගැහැනිය සැබෑ ශ්‍රී ලාංකේය වාර්ගික සංකලනයේ මනරම්ම ප්‍රකාශනයක් වන නිසාය.

 

Comments