කුරු­ල්ල­න්ගල මත ලියැ­වුණු අතී­ත­යක අරු­මය... | සිළුමිණ

කුරු­ල්ල­න්ගල මත ලියැ­වුණු අතී­ත­යක අරු­මය...

ඇල්ල පිහිටන්නේ මධ්‍යම කඳුකරයෙහි ගිණිකොන දිග බෑවුමේය. මේ චමත්කාර බිම්පෙත දෙස් විදෙස් රසවතුන් පිනවූ සොබා දහමේ තිළිණයකි. වසර කිහිපයකට පෙර කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි නිල් දිය පොකුණ සහ කුරුල්ලන්ගල සංචාරය ප්‍රිය කරන්නවුන්ට නිරාවරණය වීමත් සමඟම මේ ප්‍රදේශයට ක්‍රියාදාම චාරිකාවලට ළැදි අය බෙහෙවින්ම ප්‍රිය කරති. ඇතැම්හු මේ බිම් පෙතේ අතීතය රාවණා රජ සමය දක්වා ගෙන යති. ඒ බව සනාථ කිරීමට රාවණා ගුහාව, රාවණා ඇල්ල ආදී ස්ථාන කිහිපයක් ද සාක්ෂි ලෙස ගෙනහැර දක්වති. ඒ අනුව නම් ඇල්ල ලංකා ඉතිහාසයේ තවමත් නොවිසිඳුණු විචිත්‍ර අභිරහස් සඟවාගත් පෙදෙසකි.

 

කුරුල්ලන්ගල තරණය කිරීමට ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල කනිෂ්ඨ පාසල අසලින් දිවෙන අඹදණ්ඩේගම පාරේ පිටවල ගමට පැමිණිය යුතුය. එතැන් සිට කි.මී. 5ක් පමණ ගමන් කිරීමෙන් කුරුල්ලන්ගලට පිවිසිය හැකිය. රක්ඛිතාකන්ද ලෙන් විහාරය අසලින් ද කුරුල්ලන්ගලට ප්‍රවේශ මාර්ගයකි.

අපි කුරුල්ලන්ගල තරණය කරනුයේ අඹදණ්ඩේගම පාර ඔස්සේය. පළමු මංපෙත ඇරැඹෙන්නේ ගෙවතු වගා හරහා වැටී තිබෙන අඩි පාරකිනි. ආරම්භයේම ඉදිරියෙන් දිවෙන කුඩා ජල පහරකි. දිය මතින් එතෙර වීමෙන් අනතුරව ලඳු කැළෑවලින් සමන්විත පෙදෙසකට ඇතුළු විය යුතුය. එහි එක පැහැර විසිරුණු කටු පඳුරු රැසකින් සමන්විතය.

ඒ ගමන බෙහෙවින්ම අසීරුය. එහි කෙළවර පැතිරී යන ෆයිනස් වගාවකි. බිම ලිස්සන සුලුය. එහි පා තැබිය යුත්තේ පරෙස්සමෙනි. ඉදිරියේ එක් පසෙකින් දල බෑවුමකි. අනෙක් පස අඩි 100ක පමණ සේ පෙනෙන හෙලකි. මාන පඳුරු බොහෝ විට සංචාරයට ප්‍රිය කරන්නන්ගේ ගමන අඩාළ කළද මේ යන ගමනේ දී නම් මානා පඳුරු මග පෙන්වන මං ලකුණුය.

ගමන කෙළවර හාත්පස සිසාරා දිස්වන ගිරි හිසෙකි. උමා ඔය ව්‍යාපෘතියේ උමං දොරටුව මේ ගිරිකුළ මතට මනා ලෙස පෙනේ. මෙතැන් සිට ගමන දුෂ්කර මෙන්ම අවදානම්ය. දුරු මග ගැඹුරු බෑවුම්වලින් යුතු ප්‍රපාතයක් ඔස්සේ වැටී ඇත. එම ප්‍රපාතය තරණය කළ යුත්තේ කඹයක ආධාරයෙනි. මේ දුර්ගය පසුවත්ම හමුවන්නේ අතීත මානවයාගේ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්ය.

ගමන සඳහා මං ලකුණු සහිත පැහැදිලි මාර්ගයක් නොවේ. මෙම මාර්ග නිවැරදිව හඳුනා ගත හැක්කේ මින් පෙර මෙම ප්‍රපාතය තරණය කළ අයකුට පමණි. තබන පියවරක් පාසා ජීවිත අවදානමක් සහිත මේ ගමනට මග කියන ගමන් සගයකුගෙ මග කීම ගමනේ අවදානම අඩු කරයි. අප සමඟ එවැනි දැනමුත්තන් දෙදෙනකි. ඔවුනගේ අත්දැකීම් පූර්ණ මඟ දැක්ම සහිතව අපි දුර්ගය තරණය කළෙමු.

ඒ වනවිට පැමිණ ඇති මුළු දුර 10කට වැඩිය. ඉදිරියෙන් ඇත්තේ අඩි 06ක් හෝ 07ක් පමණ පැතලි ශිලා පවුවකි. මේ පව්ව ප්‍රාග් ඓතිහාසික මානව සිතුවමින් යුතුය. ඒ සිතුවම් බොහොමයක් ආරක්ෂිතව පැවතිණි. වැඩිමනත් සිතුවම් ආරක්ෂිතව පවතින පෘෂ්ඨය ත්‍රිකෝණාකාර ස්වරූපයක් ගනී. පක්ෂි රූප සම්භාරයක් අඩි 40 ක පමණ වපසරියක විහිදුන ආකාරය දක්වන ශේෂ පෙනේ.

එම ප්‍රාග් ඓතිහාසික සිතුවම්කරණය සිදුව ඇත්තේ කහ සහ සුදු පැහැති වර්ණ පරාසයකිනි. රේඛාවට මුල් තැන දෙමින් රූප මතු කරන්නේ රතු වර්ණය අඩු වැඩි ලෙස භාවිතයෙනි. ඉතිරිවී ඇති සිතුවම් ගොන්නෙහි පක්ෂි රූප බහුලව පෙනේ. අත් සලකුණු කිහිපයක් ද ශේෂව ඇත. හඳුනාගත නොහැකි සත්වයන්ගේ රූප ද ඒ අතරය. පක්ෂියකුගේ පිට මත තවත් සත්වයකු සිටින බවට හැඟෙන නිර්මාණය, සිතුවම් ගොන්නට වෙනසක් එක් කර තිබිණි.

වර්ෂාවට මෙන්ම දැඩි හිරු එළියට නිරාවරණය වීමත් නිරන්තරයෙන් හමන දැඩි සුළං ප්‍රවාහයත් නිසා මෙම චිත්‍ර විනාශ වෙමින් ඇත. අධික උෂ්ණත්වයට හා සීතලට ලක් වෙමින් ඇති පෘෂ්ඨයේ ගල් පතුරු ගැලවී යාමෙන්ද සිතුවම් විනාශ වූ අයුරු පෙනේ.

සිතුවම් පැතිර ඇත්තේ සාමාන්‍ය මිනිස් උසකට ඉහලිනි. අඩි පහ හමාරකට වඩා උස් නොවූ ප්‍රාග් ඓතිහාසික මිනිසුන් මේ සිතුවම්කරණයට කිසියම් ආධාරයක් භාවිත කළ බව පැහැදිලිය. මේ චිත්‍රාවලිය සටහන් කාලය පිළිබඳ ඉදිරිපත්වී ඇති විද්වත් මත විවිධය. ඇතැමකුට අනුව වසර පන්දහසක් පැරැණිය. තවත් අය අනුමාන කරනුයේ වසර තිස් දහසකට ඉහත සිටි මානවයා මෙම සිතුවම් ඇඳ ඇති බවය. තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙම සිතුවම් කාල නිර්ණනය කිරීමට නිසි විද්‍යාත­්මක ක්‍රමවේද නැති හෙයින් නිශ්චිතවම සිතුවම් කළ කාල සීමාවක් ගැන අදහසක් නැත.

මිනිස් ක්‍රියාකාරකම්වලට බැහැරින් වූ ප්‍රදේශයක පැවැතීම නිසා මෙතෙක් කලක් මේ බිම ආරක්ෂා වී ඇත. එම භූමිය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම මේ භූමියට එන අය සතු ජාතික යුතුකමකි. මේ සිතුවම් භූමිය රක්ෂා කිරීමට නිසි ජාතික වැඩපිළිවෙළක් ඇවැසි බව පෙනේ.

හාත්පස බැලුවෙමි. ගිමන් නිවමින් අවට පරිසරය විඳින මිතුරු සමාගම මැද අපේ ගමනට මග කී සොඳුරු මිනිස්සු දෙපළ වෙති. ඔවුන්ගේ උපදෙස් නොවන්නට කුරුල්ලන්ගල තරණය හුදු සිහිනයක්ම පමණක් නොවේ දැයි සිතේ. හාත්පස වන දහනේ අසිරිය දකිමින් මමත් ඔවුන් වෙත සමීපව අසල වූ ගල් පොත්ත මත හිඳ ගතිමි.

Comments