උද­වුවට ගිහින් පින ඵල දුන් විල්සන් කරු | සිළුමිණ

උද­වුවට ගිහින් පින ඵල දුන් විල්සන් කරු

සමහර විද්යුත් නාළිකා ඇවිත් කැමරාව ඉස්සරහා අඬන්න, නැතිකමට ඉල්ලන්න ආවේ කියලා කියන්න කියනවා...

 

ප්‍රවීණ සටන් නළු විල්සන් කරූ ගැන පසුගියදා අහන්නට ලැබුණේ ආන්දෝලනාත්මක පුවතකි. නිරෝධායන නීති කඩ කිරීම නිසාවෙන් ඔහු අත්අඩංගුවට පත්වී ඇතැයි යන පුවත ලැව්ගින්නක් සේ පැතිරී ගිය අතර දැන් පොලිස් ඇප මත නිදහස් වී සිටී.

 

කෙසේ වෙතත් මෙම සිදුවීම විල්සන් කරු නම් රංගන ශිල්පියා කෙරෙහි අවධානය වැඩි කිරීමට සමත් සිදුවීමක් බවට පත්ව තිබේ. මේ වනවිට විවිධ පාර්ශ්ව ඔහු වෙනුවෙන් විවිධ උදවු උපකාර කිරීමට පවා ඉදිරිපත් වෙමින් සිටී. ඒ, විල්සන් කරු නම් රංගනවේදියාට කරන ගෞරවයක් ලෙස මිස ඔහුව අවතක්සේරු කිරීමේ අරමුණින් නම් නොවේ. ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විල්සන් කරු රංගනවේදියා වෙනුවෙන් රුපියල් තිස් දහසක මාසික දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ. ඒ, මෙරට සිනමාව වෙනුවෙන් විල්සන් කරු නම් රංගනවේදියා ඉටු කළ මහඟු සේවයට කෘතගුණ සැලකීමක් ලෙසටය.

1974 ‘හදවත් නැත්තෝ‘ චිත්‍රපටයෙන් සිය රංගන ජීවිතය ආරම්භ කළ දශක ගණනාවක් පුරා සිනමාව තුළ ඔහු මැවූ දුෂ්ඨයා තිරයට පමණක්ම සීමා විය. පෙර කී පුවත ඇසූවන් විල්සන් කරූ නම් වූ ඒ රංගන පෞරුෂය වෙනුවෙන් සමාජ මාධ්‍ය අවකාශය තුළ හඬ නඟන්නට වූයේ තිරයට දුෂ්ටයකු වුවද සැබෑ ජීවිතය තුළ ඔහු දයාර්ද චරිතයක් වූ බැවිනි.

අප ඔහු සොයා යන විට ඔහුට රැකවරණය දෙමින් ඔහුව රක්ෂා කරමින් සිටියේ සැන්ඩෝ හැරිස් කලාකරුවාය. ඔහුගේ නිවෙස ඔහුට සෙවණක්ව තිබුණි. වයස 78ක් වූ විල්සන් කරූ කලාකරුවාට අත්විඳින්නට වූ සිදුවීම සහ ඔහුට කියන්නට අවැසි කතාව අපිට කිව්වේ සිනමාවේ ළෙන්ගතුකම් පාන ඒ කලාකාමී මිනිසාය. ඔහු සැන්ඩෝ හැරිස් ය.

"කරූ අයියා දැන් ඉන්නෙ මගේ ගෙදර. අපි දෙන්නම එකම ගමේ. කරූ අයියා තමයි මාව සිනමාවට හඳුන්වා දුන්නේ. අපේ ගෙදරට ගෙවල් දෙකකට එහා ඔහුගෙ ගෙදර තිබුණේ. මගේ ගෙදර කරූ අයියට අලුත් තැනක් නෙමෙයි. මේ ප්‍රශ්නය ඇති වුණාට පස්සෙ තමයි කරූ අයියා මගේ ගෙදර නවතින්න ආවේ.

ළෙන්ගතු මිතුරාට අවැසි රැකවරණය ලබාදෙන්න සැන්ඩෝ තීරණය කරන්නේ ඔවුන් අතර ඇති සබැඳියාව දශක තුනකටත් එහා ගිය බැඳීමක් වූ නිසාවෙනි. ඔහු ඒ සිදුවීම වචන කළේ මෙසේය.

“ කරූ අයියා ප්‍රශ්නයක් වෙලා පොලිසියට අරන් ගිහින් කියලා දැන ගත්තම මම පොලිසියට ගියා. කරූ අයියා සිනමාවේදි දුෂ්ටයා වුණාට සැබෑ ජීවිතේ එහෙම මෙල්ල කරන්න බැරි මනුස්සයෙක් නෙමෙයි. හරිම හිත හොඳ, හැමෝම එක්ක සුහදව ඉන්න කෙනෙක්. ඔය වුණාය කියන ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ මෙහෙමයි. එක අම්මා කෙනෙක් අසරණකම කියලා කරූ අයියට කියලා තියෙනවා සෙනඟ ගොඩේ ඉන්න බැරිය පුළුවන්නම් 5000 දීමනාව අරන් දෙන්න කියලා. කිරුළපන වසමට අලුත් ග්‍රාම සේවක නෝනා කෙනෙක් ඇවිත් නිසා කරූ අයියා ඒ නෝනාව හඳුනන්නෙ නැති නිසාත් එතන සිවිල් පිට හිටපු මහත්තයෙක්ගෙන් අහලා ග්‍රාම සේවක නෝනාව හම්බෙන්න දෙන්න පුළුවන්ද කියලා. ඒ මහත්තයා නිල ඇඳුමෙන් නෙමෙයි ඉඳලා තියෙන්නෙ. ඒ මහත්තයා විනාඩි 30ක් විතර දුරකථනයෙන් කතා කර කර ඉඳලා. දෙවැනි වතාවෙත් කරූ අයියා ළඟට ගිහින් ග්‍රාමසේවක නෝනා හම්බෙන්න පුළුවන්ද අහන්න. ඒ මහත්තයා "යනවා අයිසේ "කියලා කරූ අයියව තල්ලු කරලා. ඔහුව තල්ලු කළාම ඔහුගේ අතින් අර මහත්තයාව තල්ලු වෙලා. අර වයසක අම්මට උදවු කරන්න වගේම තමන්ටත් රුපියල් 5000 ගන්න තියෙන අයිතිය කතා කරගන්න තමයි කරූ අයියා ගිහින් තිබුණේ. කරූ අයියටත් ලාංකේය පුරවැසියෙක් විදිහට අයිතියක් තියෙනවනෙ දීමනාවක් දෙනවා නම් ඒක ගන්න. මේ වෙච්ච දේවල් එක්ක කරූ අයියව පොලීසියට ගෙනිහින් රිමාන්ඩ් කරලා තිබ්බා.

වයස 78ක කෙනෙක්ට නිතර මාස්ක් එකක් දාගෙන ඉන්න අමාරුයිනෙ. කරූ අයියා මාස්ක් එක සාක්කුවේ දාගෙන ඉඳලා තියෙන්නේ. මුඛ ආවරණයක් නැතුව ගියා සහ පොලිසියේ රාජකාරියට බාධා කළා කියලා තමයි පොලිසියට අරන් ගිහින් තිබුණේ. කරූ අයියත් කියනවා නිල ඇඳුමක් නැතුව හිටපුවාම කොහොමද පොලිසියෙ කියලා හඳුන ගන්නෙ කියලා. ඔන්න ඔහොමයි එදා කරු අයියට අපහසුතාවට ලක්වෙන්න වුණේ."

තාක්ෂණික වටපිටාව දියුණු පසුබිමක චරිත රකින්න නොව චරිත විනාශ කරන්නට වෑයම් කරන්නෝද බහුලය. මේ සිදුවීමට අමතරව ඇතැමුන් නිසා විල්සන් කරූ කලාකරුවාද අපහසුතාවට ලක්වූ වාර අනන්තය.

"සමාජ මාධ්‍යවල පුද්ගලයන් මුදල් හම්බ කරන්න බොරු ප්‍රචාර යවනවා. කරූ අයියට මේ කියන දේ ටික වෙලාවකින් අමතක වෙනවා. සමහර පුද්ගලයෝ ඒක ප්‍රයෝජනයට ගන්න හදනවා. සමහර විද්‍යුත් නාළිකා ඇවිත් කරූ අයියට කියනවා කැමරාව ඉස්සරහා අඬන්න කියලා. 5000 නැතිකමට ඉල්ලන්න ආවෙ කියලා කියන්න කියනවා.

මේ ළඟදි සෝෂල් මීඩියා එකක මල්ලි කෙනෙක් ඇවිත් එක එක ප්‍රශ්න අහලා වීඩීයො ක්ලිප් එකකුත් අරන්. කරූ අයියාට ඉන්න හිටින්න තැනක් නෑ කියලා මීට කලිනුත් ප්‍රචාරයක් යවලා තිබ්බා. කරූ අයියට කිරුළපන මහගෙදර තියෙනවා. ඔහු අවිවාහක නිසා ඒ ගෙදර සහෝදරයන්ට දීලා තියෙන්නෙ.

ඒ වගේම කරූ අයියට තට්ටු තුනේ බිල්ඩින් එකක් තියෙනවා. එහි ආදායමත් සහෝදරයන්ට ලබාගන්න ඉඩ දීලා තියෙන්නෙ. කරූ අයියගෙ අම්මා ඉන්න කාලෙ අම්මා තමයි කෑම උයලා දුන්නෙ. දැන් වුණත් පවුලෙ අය තමයි උදේට දවල්ට රාත්‍රියට කෑම ගෙනත් දෙන්නෙ. කරූ අයියා කෑම කන්න කලින් ඔහු ඇති කරන පූසන්ට සහ බල්ලන්ට කෑම දීලා තමයි කෑම කන්නෙ. රූගත කිරීම්වලට යන්නෙ නැති දවස්වලට ඒ සත්තුන්ට ඔහුම කෑම හදනවා. කොළඹින් පිට රූගත කිරීම් වලට ගියොත් කිරුළපන කඩේකට සල්ලි දීලා යනවා ඒ සත්තුන්ට ඉඳුල් නොදී උයපු හොඳ කෑම දෙන්න කියලා.

කිසිම කලාකරුවෙක් කරූ අයියට කතා නොකරපු එක ගැන ඔහු ටිකක් සිත් වේදනාවෙන් ඉන්නෙ.කලාවට වැඩක් කරන මේ වගේ කලාකරුවන්ට විශේෂ සැලකිල්ලක් තිබිය යුතුයි. මම ජීවත් වෙලා ඉන්නකල් කරූ අයියට මාත් එක්ක ඉන්න පුළුවන්. මම ඔහුව බලාගන්නවා. ඕනම තැනක කවුරුවත් බලාකියාගන්න නැතුව කලාකරුවෙක් ඉන්නවා නම් මම ජීවත් වෙලා ඉන්නකල් ඒ කලාකරුවාව බලාගන්න අභියෝගය මම බාරගන්නවා. මම කෝටිපතියෙක් නෙවෙයි. මමත් කලාවෙන් ජීවත් වෙන්නෙ. ඒත් මට මේ කලාකරුවෝ වටිනවා."

සැන්ඩෝ හැරිස් කලාකරුවා අවසන පැවැසූ ඒ වදන් පෙළ මුළු මහත් සමාජය තුළම රැව් පිළිරැව් දියයුතු යැයි හැඟේ..කලාකරුවාට ලැබිය යුතු නිසි අගය නිසි තැන නිසි වේලාවේදී ලැබිය යුතුය. ප්‍රමාද වී ගුණ ගයා වයා ඵලක් වන්නෙ නැත.

Comments