දේශපාලන බහිරවයන් ගිලගත් අළුකැටිය මිනිරන් පතල | සිළුමිණ

දේශපාලන බහිරවයන් ගිලගත් අළුකැටිය මිනිරන් පතල

පි තරුණ කාලෙ අළුකැටිය පතලෙ සති ගණන් එක දිගට වැඩ කළා. අද වගේ දොඹකර තිබුණෙ නෑ. දඹරෙන් තමයි වැඩ කළේ. තිරික්කල් ලාම්පු, ඉටි පන්දම් ගහ­‍ෙගන මුර ක්‍රමයට පනහක් - හැටක් එක දිගට වැඩ කළා. පතල් බාස් තමයි ලොක්කා. ලොකුම විනෝදෙට තිබුණෙ පතල් කවිය තමයි. මේ පතලය මේ විදිහට විනාශ වෙලා යනව අපටම දකින්න සිදුවෙලා තියෙන එක හරි දුකයි. ලංකාවේ මිනිරන් කර්මාන්තයට ප්‍රසිද්ධ පතල් අතර මිගහතැන්න, අළුකැටිය පතලේ මුල්කාලයේ සේවයේ යෙදුණු දැනට ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම පුරවැසියා ආතර් මල්ලවාරච්චිය. අසු පස් වැනි වියද පසුකරමින් සිටින ආතර් මල්ලවාරච්චි අළුකැටිය පතලේ අතීත අත්දැකීම් සතුටින් සිහිපත් කළේ ඒ ආකාරයෙනි.

ලංකාවේ මිනිරන් කර්මාන්තයේ රන් සලකුණක් තැබු මීගහතැන්න, අළුකැටිය මිනිරන් පතල මේ වනවිට රුපියල් කෝටි ගණනක් වටිනා ලොව අංක එකේ මිනිරන් ටොන් ගණනක් මහ පොළව යට සඟවා­‍ෙගන වසර ගණනාවක සිට කැලෑවට යමින් තිබේ. භූත බලපෑමකින් අළුකැටිය පතලෛ් වැඩ නතර වෙනවා යැයි කියන අත්භූත කතාවේ සත්‍ය අසත්‍යතාව සොයා එහි ගිය අපට ආතර් මල්ලවාරච්චි පතලේ ඉතිහාස කතාව කීවේය.

මේ පතල ආරම්භ කරල තියෙන්නෙ එකදාස් නමසිය තිස් ගණන්වල. පස්සෙ ඕරියල්ද මැල් මහත්තය යටතේ. 1952 දි තමයි අපි පතලේ වැඩ කළේ. අවුරුදු විස්සක් විතර මම පතලෙ වැඩ කළා. ඒ කාලෙ මේ පතල කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි රටේම ප්‍රසිද්ධ වුණා. බඹ විස්සක් - තිහක් ගිහිල්ල කාමර දෙකේ දෝනා ගහල තියෙනවා. හතර පැත්තට ලී බාල්ක වලට පුවක් පටි ගහල, කැකිල්ලවලින් බිත්ති ගහනවා. ඒවට වෙනම බාස්ල හිටියා. පතලෙ වැඩට වලල්ලාවිට, ගුලවිට, අන්නාසිගලහේන, වගේ පැතිවල බාස්ල හිටියා. බඹ විස්සක් තිහක් බැස්සම ඉල්ලම තියෙනවා. එදා සුදු මහත්වරුන් කිව්වෙ ලෝකෙ හොඳම මිනිරන් කියලයි. රත්නපුරේ මැණික් වලට වගේ පළාතෙම දෝනා ගහන්න වුවමනා නැහැ. ඒ තරමට හොඳ ඉල්ලමක් තියෙනවා. පරම්පරා ගානක ඉදල මිනිරන් කැඩුව පරිසරයට හානියක් වෙලා නැහැ. මේ ප්‍රදේශයටත්, රටටත් විශාල සම්පතක් අතට ගත්ත අළුකැටිය පතලට මේ ඉරණම අත්වෙයි කියල අපි හිතුවෙ නෑ.

මීගහතැන්න, අළුකැටිය පතලට සමගාමීව පටන් ගත් රටේ වෙනත් ප්‍රදේශවල මිනිරන් පතල් තවමත් වැඩය. නමුත් මීගහතැන්න, අළුකැටිය පතලේ වැඩ අතරමඟය. මේ පිළිබඳ සොයා ගිය අපට අසන්නට ලැබුණු ඇතැම් කතා අදට නොගැළපෙන නමුත් ඒ බොහෝමයක් ජනප්‍රවාද ය.

1930 දහකයේ යටත්විජිත සමයේ ආරම්භ කළ බව කියන අළුකැටිය පතලෙන් ලොව ඉස්තරම් මිනිරන් ගොඩගත් බව 50 දශකය දක්වා පතලේ වැඩ කළ පුද්ගලයෝ කියති. ආතර් මල්ලවාරච්චි ඒ අතීතය සිහිපත් කළේ මෙසේය. ඕරියල්ද මැල් අවස්ථා කිපයකදි මේ පතලයේ වැඩ පටන් ගත්තා. කිප අවස්ථාවකදිම නතර වුණා. එයාගෙ කාලයෙදි තමයි මේ පතලෙන් විශාලම මිනිරන් අස්වැන්න ගොඩගෙන තියෙන්නෙ. නමුත් ඒ ගොඩගත්ත වගේ තව දහ ගුණයකටත් වඩා විශාල ඉල්ලමක් තියෙනවා. මේකෙ තට්ටුවෙන් තට්ටුව තියෙන්නෙ ඉල්ලම. එක ඇන්දක් ගලවනකොට ඒකටම තව ඉල්ලම් තට්ටුවක් තිබෙන බව ආතර් මල්ලවාරච්චි සිහිපත් කරයි.

වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ජයසේන මල්ලවාරච්චි මේ පතලට නැවත පණ දෙන්නට අවස්ථා කීපයකදීම උත්සාහ කළ අයෙකි. ජයසේන මල්ලවාරච්චි පතල හරහා ප්‍රදේශය දියුණු කරන්නට ගන්නා උත්සාහය තවමත් අත්හැර නැත. අපේ තාත්ත, සීයල කියන විදිහට අළුකැටිය ගමට පාර කපල තියෙන්නෙ මේ පතල නිසයි. ගමට එන පාර ඩිමෙල් මාවත ලෙස නම් කරල තියෙන්නෙ පතල කරපු මැල් මහත්තය සිහි වෙන්න. 1930 දශකයෙදි පතල ආරම්භ කරල නැවත 1950 දශකයෙදි නතරවෙලා තියෙනවා. 1993 දි යළි ආරම්භ කරල තියෙනවා; 1995 දී නැවත නතරවෙලා තියෙනවා. 1996 දි වැඩ පටන් අරගන 1997 සිට 2001 දක්වා කැණිම් කරල තියෙනවා. 2013 වර්ෂයෙදි විදේශීය ආයෝජන සහිතව එම්. ආර්. එල්. නැමති සමාගමක් නවීන යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් රුපියල් කෝටි 30 කට අධික ආයෝජනයක් කර ඇතැයි පතල් සේවකයෝ කියති. 2018 මැයි මාසෙදි ටොන් 38 ක පමණ ප්‍රථම අස්වැන්න ගොඩගත් දා පටන් අළුකැටිය පතලට හෙනහුරා ලැබූ බව අවසන් වරට පතල් සේවයේ යෙදුණු එම් .ඒ. චන්දිම කීවේය.

අළුකැටිය පතල අසලම පදිංචි මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ සහකාර විදුහල්පති ප්‍රේමදාස සපුආරච්චි අළුකැටිය පතලේ සැඟවුණු අළු යට ගිනි ගැන කියන්නේ අමුතු කතාවකි. මගේ පියා මිය ගිහිල්ලත් දැන් වසර ගණනාවක් වෙනවා. තාත්ත මිය යනවිටත් එයාට අවුරුදු අසුවකට වැඩියි. තාත්තලගේ කාලයේ මේ පතලෙ ස්වර්ණමය යුගය වෙලා තියෙනවා. පොළොවෙ සම්පත් පිළිබඳ ඉස්සර මිනිස්සු අතර යම් යම් මති මතාන්තර තිබිල තියෙනවා. බහිරව පූජාවල් දෙන්න ඕන කියල තියෙනවා. සමහරු ගෙයක් අත්තිවාරම් දාන කොටත් ඒක කරනවා. ඒ අනුව මේ පතලෙ වැඩ කරද්දිත් ඉස්සර ඒ වගේ දේවල් සිදු කර තිබුණා. එසේ කිරීම හෝ නොකිරීම මේ පතලෙ කටයුතු නතර වෙන්න හේතුවක් නෙමෙයි. මේ පතලයේ වැඩ නතරවී මට හේතුව නොපෙනෙන බහිරවයෙක් නෙමෙයි. දේශපාලන බහිරව පුජා නොකිරීමයි.

සියයට අසු පහකටත් වඩා කාබන් ප්‍රතිශතයක් තියෙන ලොව ඉස්තරම් මිනිරන් තියෙන මේ පතල මේ ප්‍රදේශයට වගේම රටටම සම්පතක්. පරිසරය විනාශ වෙනවට අපි කැමති නැහැ. නමුත් දශක ගණනාවක් තිස්සේ මේ පතලේ සාම්ප්‍රදායික ලෙස වැඩ කරලත් විශාල පරිසර හානියක් සිදු වෙලා නැහැ. වර්තමානයේ නවීන තාක්ෂණය භාවිත කර කැණීම් කිරීම මගින් පරිසර හානි සිදු නොවෙන්න මේ සම්පත ගොඩගන්න පුළුවනි. එහෙම කළොත් රටට විශාල ආදායමක් ලැබෙනවා යැයි ප්‍රේමදාස සපුආරච්චි කීවේය.

අළුකැටිය පතලයේ අවසන්වරට සේවය කළ එම්. ඒ. චන්දිම ඇතුළු පිරිසකට රැකියා ද අහිමිව ගොසිනි. අවසන් වරට පතලෙ රැකියා අත්දැකීම් හෙළි කරන චන්දිම කියන්නේ මෙහි කටයුතු සම්පුර්ණයෙන්ම පරිසර හිතකාමී බවය. පතලෙන් ඉවත් කරන ජලය පවා ෆිල්ටර් කරල පිරිසිදු කරලයි පිට කළේ. ඉහළම තාක්ෂණයෙන් කැණිම් සිදු කළා. කිසිම පරිසර හානියක් සිදු වුණා කියල වෝදනාවක් තිබුණෙ නෑ. ප්‍රාදේශීය සභාව සතු මාර්ගය සංවර්ධනයට ඇප තැන්පතු පවා කරල තිබුණා. අළුකැටිය පතල් භූමියේ උරුමකරු අයි. එම්. හයිඩර්ය. මේ භූමිය ඔහු පිය උරුමයෙන් ලද්දකි.

“මම ජීවත් වෙන්නෙත් මේ පතල් භූමියෙමයි. කවදාවත් නෙපෙනෙන බලවේගයක් සැරිසැරුව කියල අහලවත් නෑ. නමුත් නොපෙනෙන බලවේගයකින් පතලෙ වැඩ නතරවෙලා තියෙනවා“

අළුකැටිය පතලයේ කැණිම් භූමිය වසර දෙකකට අධික කාලයක් තිස්සේ වසා දමා පුද්ගලික ආරක්ෂක සේවයක් යොදවා තිබේ. එහි ගිය අපට කැණිම් භූමියට ඇතුළු වීමට හෝ ඡායාරූප ගැනීමද කළ නොහැකි විය. අදාළ සමාගමේ දේශිය නියෝජිතයකු කිවේ මවු සමාගමේ අවසර නැතිව එය කළ නොහැකි බව ය. අවස්ථා කිපයකදී අදාළ ආයතන සියල්ලේම අනුමැතිය සහිත වාර්තා ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළත් සභාවෙන් දෙන වෙළෙඳ බලපත්‍රය අහිමි වූ බව පතලයේ ලිපි කටයුතු සිදු කළ සේවකයකු කීවේය.

අළුකැටිය පතලයේ කැණිම් අතරමග නතර වීම පිළිබඳ ව වළල්ලාවිට ප්‍රාදේශීය සභාවට එල්ල වන සියලු චෝදනා සභාපති උදේනි අතුකෝරල මුළුමණින්ම ප්‍රතික්ෂේප කරයි. ප්‍රදේශයේ සංවර්ධනයක් වෙනවා නම් මුලින්ම සතුටු වෙන්නෙ ඒ සඳහා අත දෙන්නෙ අපි. ඒ වගේම හානියක් වෙනව නම් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඊට එරෙහිව නිත්‍යානුකූලව කටයුතු කරන්න සභාව බැඳී සිටිනවා. ඕනෑම ව්‍යාපාරයක් සඳහා ආයතන දහයක වාර්තා ලැබුණු පසුව ඒවා සලකා බලා අවසානයට වගකීම තියෙන ප්‍රාදේශීය සභාව වෙළෙඳ බලපත්‍රය ලබා දෙනවා.

නමුත් අළුකැටිය පතල සඳහා අදාළ ආයතනවලින් අනුමැතිය ලබා දීල නැහැ. මේ කර්මාන්තය නිසා පරිසර හානියක් සහ ගිලා බැසීම් පිළිබඳ වාර්තා වෙලා තිබුණා. නීත්‍යානුකූලව අදාළ ආයතන වාර්තා ලබා නොදී ප්‍රාදේශීය සභාවට ඒ වගකීම ගන්න බැහැ. අනෙකුත් ආයතනවලින් අදාළ වාර්තා නීත්‍යානුකූලව ඉදිරිපත් කළොත් අනිවාර්යෙන්ම සභාව මේ සඳහා අවසරය ලබා දෙනවා. අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රදේශයේ කර්මාන්ත දියුණු කිරීමට ප්‍රාදේශීය සභාව උපරිම සහාය ලබා දෙනවා.

පි. සෝමරත්න - මිගහතැන්න සමූහ

Comments