ආර්ථිකය නංවන්න සැලසුම් අටක් | සිළුමිණ

ආර්ථිකය නංවන්න සැලසුම් අටක්

අඩාළ වී ඇති ආර්ථිකය නංවාලීම සඳහා ග්‍රාමීය ආර්ථිකය පදනම් කරගත් ප්‍රධාන සැලසුම් 8ක් ඔස්සේ කටයුතු ආරම්භ කර ඇතැයි මුදල් හා ප්‍රාග්ධන වෙ‍ළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිළුමිණට කීය.

ඒ අනුව මේ වනවිටත් ග්‍රාමීය අඩු ආදායම්ලාභීන්ට රැකියා 100,000ක් ලබාදීමත්, ඔවුන්ට ජලය, විදුලිය ලබාදීම හා ණය පහසුකම් අඩු පොලියට ලබාදීමත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය හා අලිවැට ඉදිකිරීමත් සැලසුමක් හා විධිමත් ක්‍රමවේදයක් යටතේ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇතැයි ඇමැතිවරයා කීය. ඊට අමතරව ග්‍රාමීය රෝහල්, මාතෘ සායන ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අයවැයෙන් වෙන් කළ රුපියල් කෝටි 1,800ක් හරහාද එම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කෙරෙන බවත් සියලු දෙනාට ඉතිරිකිරීමේ ක්‍රමවේදයට අනුගත කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. මෙතෙක් පැවැති සියලු රජයන් වෙන් වශයෙන් මේ කටයුතු සිදු කරන්නට උත්සාහ ගත්තද මූලික අවශ්‍යතා නිසිපරිදි හඳුනා නොගෙන කටයුතු කිරීම නිසා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වී නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ආදායම් බදු නිසි පරිදි එකතු කිරීමේ ක්‍රමවේදයක් නොතිබීමත් බදු ගෙවිය හැකි පරිසරයක් නිර්මාණය නොකිරීමත් නිසා රටේ ආර්ථිකයේ අඩාළවීම් සිදුව ඇතැයිද මේ වන විටත් ඒ සියල්ලම ග්‍රාමීය ආර්ථිකය කේන්ද්‍ර කර ගනිමින් යථාවත් කර ඇතැයිද ඔහු පැවසුවේය.

Comments