ලේඛක සංවිධානයේ සභාපති ටෙනිසන් හිටිහැටියේ අස්වෙයි! | සිළුමිණ

ලේඛක සංවිධානයේ සභාපති ටෙනිසන් හිටිහැටියේ අස්වෙයි!

සම්මානිත ජ්‍යෙෂ්ඨ ලේඛක ටෙනිසන් පෙරේරා මහතා පසුගියදා තමන් සභාපතිත්වය දැරූ ලංකා ලේඛක සංවිධානයේ එම ධුරයෙන් ඉල්ලා අස්විය. මේ පිළිබඳව විමසු විට එය සත්‍යයක් යැයි පැවසු ඔහු, ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් මත ඒ තීරණය ගැනීමට සිදු වුණේ යැයි පැවසීය.

ලංකා ලේඛක සංවිධානය බිහි වන්නේ 1977 වර්ෂයේ දී කුලසේන ෆොන්සේකා සහ තවත් කිහිප දෙනෙකුගේ එකමුතුවෙනි.

ටෙනිසන් පෙරේරා එහි භාණ්ඩාගාරික තනතුරට පත් වන අතර පසුව එක්වනම සභාපති තනතුරට පත්වීම වෙසෙස් සිදුවීමක් විය. එසේ පත් වී දිගු කලක් තිස්සේ තමන් දැරූ ඒ තනතුරෙන් ඉල්ලා අස්වීමට හේතු දක්වමින් ඔහු කීවේ මෙවැන්නකි.

“මේ සංවිධානයේ අරමුණ වුණේ ලේඛකයින්ට සහ සාහිත්‍යයට සේවයක් සිදු කිරීම. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයත් ඒ සඳහා අනුග්‍රහයත් ලැබුණා. මුදලින් ද ආධාර කෙරුණා. ඒ ආකාරයට අපේ සංවිධානය කටයුතු කළේ ප්‍රකාශකයන්ගේ ද සහයෝගය ඇතිවයි. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පොත් ප්‍රදර්ශනය ආරම්භ වුණ පසු ඊට සමගාමීව සංවාද මණ්ඩප ඇති කරමින් අපි කටයුතු කළා. එතන අරමුණ වුණේ සාහිත්‍යයට සේවාවක් කිරීම”

“නමුත් මෑතක ඉඳලා අධිපති බවකින් යුතුව ලේඛකයන් සම්බන්ධයෙන් වගේම ප්‍රකාශකයින් සම්බන්ධයෙනුත් කටයුතු කරන තත්වයක් ලේඛක සංවිධානය තුළ දකින්න ලැබුණා. මම සභාපති වුණාට සමහර දේවල් මම දැනගෙන හිටියෙත් නෑ. දිගින් දිගටම සිත් වේදනා මැදයි මම හිටියෙ. ලේඛකයෙක්, සංවේදි මිනිහෙක් හැටියට අවසානයේ දී මම තීරණයක් ගත්තා අවුරුදු විසි පහක පමණ කාලයක් කටයුතු කළ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න. මට පුළුවන්කමක් නැහැ මගේ ලේඛක මිතුරන් වගේම ප්‍රකාශන මිතුරන් තරහ කරගන්න.” ඒ අනුව යමින් ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ කිසිම කලා සංවිධානයක් අධිපතිවාදීව ලේඛකයන් මෙන්ම ප්‍රකාශකයන් විෂයයිකව බලය පෙන්වමින් කටයුතු කිරීම නොවිය යුත්තක් බවයි.

Comments