විශ්වීය මාලිමාවට | සිළුමිණ

විශ්වීය මාලිමාවට

මානව ශිෂ්ටාචාරය තුළ නිර්මාණය වූ විශිෂ්ටතම සංස්කෘතිකාංග අතර ක්‍රීඩාවට ඇත්තේ ඉදිරිපෙළ ස්ථානයකි. ඒ බවට කිසිදු විවාදයක් නැත. ඕනෑම තැනක, ඕනෑම මොහොතක, ඕනෑම වයස් කාණ්ඩයකට එහි නියැලිය හැකි නිසාය. 'ක්‍රීඩාව' වශයෙන් නාමකරණය වී නොතිබුණද මානව සමාජයේ අදහස් හුවමාරු කරගැනීමේ කලාව ඇරඹි තැන් පටන් ක්‍රීඩාව නිර්මාණය වූයේ යැයි සිතිය හැකිය.

කෙසේ හෝ මෙලෙස ඇරැඹි ක්‍රීඩාව වර්තමානය වන විට විවිධ හැඩතල රාශියක් හිමිකරගෙන තිබේ. ඒ අතරට විවිධ කුසලතා ඉස්මතු කෙරෙන ක්‍රීඩා රාශියකි. ඇතැම් ක්‍රීඩාවකින් වේගය, දරාගැනීම, උද්වේගය, ජවය ආදී විවිධ හැඩ මතුවන්නේ එහෙයිනි. කෙසේ නමුත් සමස්ත ක්‍රීඩාව තුළ ඇති මානූෂීයභාවය ඉක්මවා අමානුෂික තැන් ඉස්මතු වන අවස්ථාද නැත්තේ නැත. එහෙත් දියුණු සමාජයීය නීති පද්ධති මගින් එවැනි ක්‍රීඩාවන්ගේ අමානුෂික තැන් යම් පමණකට තිරිංග යොදා මැඩ පවත්වා තිබේ. ආරක්ෂක ඇඟළුම්, ලකුණු ලබාදීමේ ක්‍රමවේද, ක්‍රීඩාව පැවැත්වෙන කාලය සීමාවකට යටත් කිරීම, පිටිය තුළ තරගකරුවන් ක්ෂණයෙන් නිහඬ කළ හැකි අධිකාරි බලය හිමි විනිසුරුවෙක් - තීරකයෙක් යෙදවීම, බර සීමා, වයස් සීමා හඳුන්වා දීම ආදිය ඊට යෙදූ මානුෂීය තිරිංගයෝ වෙත්. එනයින් ක්‍රීඩා සංස්කෘතිය දිනෙන් දින පෝෂණය වෙමින් ගෝලීය මානව සමාජය තුළ අනවරත ගමනක නියැලෙමින් ඇතැයි කිවහැක්කේය.

මේ අනුව ක්‍රීඩාව යනු සර්ව ව්‍යාපී සංස්කෘතිකාංගයකි. ලෝකයේ සිව් දිග පුරා එය මේ වනවිටත් විහිදී ඇත. උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වාත් එසේත් නැතහොත් ඇන්ටාටිකාවේ සිට ආක්ටික් සාගරය දක්වාත්, ෆැසිපික් සාගරයේ සිට අත්ලාන්තික් මෙන්ම ඉන්දියානු සාගර කලාප ඉක්මවාත් මෙලෙස ක්‍රීඩාව විහිදී තිබේ. උස්, මිටි, සුදු, කළු, භාෂාවන්හි ප්‍රභේද කිසිවක් නොතකමින් එකම තානයකට, එකම බසකට අනුකූල වෙමින් ක්‍රීඩාව ලොව සතර දිගන්තය පුරා පහසුවෙන් ව්‍යාප්තවී ඇත. මෙහෙයින් වර්තමාන ලෝකයේ අන්තර්ජාතිකව ක්‍රීඩාව හා එක් නොවන කිසියම් රාජ්‍යයක් ඇත්නම් එය ශිෂ්ට සමාජයට අයත් නොවන රාජ්‍යයක් ලෙස පිළිගන්නා තරමටම ක්‍රීඩාව අද විශ්ව ව්‍යාප්තීය යැයි නිර්ණය කිරීමට පිළිවන. ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි වෙනුවෙන් විවිධ රටවල් ස්වකීය ක්‍රීඩකයන් ඉදිරිපත් කිරීමට දැඩි උද්යෝගයක් දක්වන්නේත් මේ හේතුවෙන්මය. ඒ තුළ ලෝක මට්ටමින් සංවිධානය වන තරගාවලි සඳහා ඉදිරිපත් වන ක්‍රීඩකයනට යම් යම් පාරිසාධන මට්ටම් හඳුන්වා දී ඇති අතර ඒ අබිබැවීමට අපහසු ක්‍රීඩකයන් සඳහා කලාපීය තරගාවලි සංවිධානය කර ඇත. එසේම ගෝලීය වශයෙන් පැවැත්වෙන ඔලිම්පික්, ලෝක ශූරතා වැනි ප්‍රමුඛ තරගාවලි සඳහා 'වයිල්ඩ් කාඩ්' වැනි සැනසිලි සහභාගිත්ව අවස්ථාද හිමි කර දී තිබෙන්නේ ලොව තුළ ක්‍රීඩාව කෙරේ වන දැඩි උනන්දුව නිසාවෙන්ය.

ක්‍රීඩාවේ ව්‍යාප්තිය එසේ වූවද එය මෙතරම් තරගකාරී වීමට පටන්ගෙන ඇත්තේ එ් හා ආර්ථික කාරණා සමපාත වන්නට පටන් ගත් දා සිට යැයි සිතිය හැකිය. අද වන විට ගෝලීය ක්‍රීඩා ආර්ථිකයේ වර්ධනය 2018-19 වසර වන විට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන භාගයක් පමණ වී ඇත. කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ ලොව පුරා ආර්ථික පසුබෑමක් සිදු වුවද තවමත් එම අගය බිලියන 500 ඉක්වන්නේය. ගෝලීය ක්‍රීඩා ආර්ථිකය එතරම් වේගයකින් වර්ධනය වන්නේ මුඛ්‍ය වශයෙන් ජනමාධ්‍යය හේතුකොටගෙනය. ඒ අතරින් රූපවාහිනී විකාශනය සුවිශාල පිටුබලයක් එක්කරයි. ඊට අමතරව ප්‍රවේශපත්‍ර අලෙවිය, ක්‍රීඩාංගණ ආශ්‍රිත දැන්වීම්කරණය ආදියද සෙසු මූල්‍ය උත්පාදන ක්‍රමවේදයන්ය. මෙහෙයින් වෘත්තීය ක්‍රීඩකයන් බිහි වීමත්, ක්‍රීඩා ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වීමත් දකින්නට ලැබේ.

ක්‍රීඩාව මගින් ප්‍රසාරණය කරන ආර්ථිකය, අන්තර් රාජ්‍යයික සුහදත්වය, සෞඛ්‍ය ප්‍රවර්ධනය මෙන්ම ඉහළ නංවන සමාජ අපේක්ෂාව වැනි අනේක විධ කරුණු සලකා බලද්දී එය ලෝකයට තම ගමන කියා දෙන විශ්වීය මාලිමාවකි. මාලිමාව අවැසි වන්නේ මඟ පැටලී, මං මුලාවී සිටිනා විටදීය. ලෝකය වර්තමානයේ බලය කේන්ද්‍රික ගමනක කූට ප්‍රාප්තිය තුළ පැමිණ ඇත්තේ එවන්වූ මඟ මුලා කෙරුණු මංසන්ධියකටය. එවැනි මංසන්ධියකදී ලෝකයක් වශයෙන් අප යායුතු නිවැරදි දිශානතිය තෝරා ගත හැක්කේ අප සමාජය තුළ ඇති හද බසට ආමන්ත්‍රණය කිරීමෙනි. එම හද බස වන්නේ අන්කිසිවක් නොව ක්‍රීඩාවයි. අප පෙරකීවාක් මෙන් මානව සමාජය සම්භවය ලැබූ දා සිට නිර්මාණය වූ ක්‍රීඩාවයි. එහෙයින් රටක් හා සමාජයක් වශයෙන් අප එයට නිරතුරුව හුස්ම පිඹිය යුතුව ඇත. රට තුළ ඊට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කළ යුතුව ඇත. එහෙත් එය ක්‍රීඩා අමාත්‍යාංශයකට හෝ ඇමැතිවරයකුට, නිලධාරී මණ්ඩලයකට පවරා අත සෝදා ගත නොහැකි අනුල්ලංඝණීය සමාජ වගකීමකි. එම සමාජ වගකීමේ පළමු පියවර වශයෙන් රටක් තුළ ඇති කළ යුත්තේ ක්‍රීඩා සංස්කෘතියකි. එම සංස්කෘතිය තුළින් නිපන් ක්‍රීඩා ආර්ථිකයක්, වෘත්තීය ක්‍රීඩකයන් පිරිසක් ඇති කිරීමට හැකියාව නිර්මාණය වෙයි. එය හුදෙකලාව ජයගත නොහැකි ව්‍යායාමයකි. මේ අනුව ක්‍රීඩා සංස්කෘතියක් රටක් තුළ ස්ථාපනයය කිරීම සාර්ථක කරගැනීමට නම් එවැනි රටවල් තුළ ජනතාවට පෙරටුව ගමන් ගන්නා ජනමාධ්‍ය සතුවද සුවිශාල කාර්යභාරයක් ගොනුවී තිබේ. එය අත්හැරිය නොහැකි වගකීමකැයි අපි විශ්වාස කරමු. මෙම පසුබිම තුළ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 'ක්‍රීඩාව' වෙනුවෙන් සතිපතා විශේෂ අතිරේකයක් පළ කිරීමට තීරණය කරන්නේ එහි එක් පියවරක් වශයෙනි. කලකට පෙර නවතා දැමූ 'ක්‍රීඩා' පුවත්පත යළි සිය සුහුඹුල් පියවර මෙසේ ලකුණු කරතැයි කෙනෙකුට සිතිය හැකිය.

අප පළමුව ඔබ හමුවට එන්නේ සිළුමිණ පුවත්පත නමැති රූස්ස වෘක්ෂයාගේ පාර්ශ්වීය මූලයක් වශයෙනි. එය අනාගත අරුණලු සොයා දිරියෙන් පිය නඟන රටක ඉදිරි ගමන වෙනුවෙන් කළා වූ ජාතික මාධ්‍ය ආයෝජනයකි. එම ආයෝජනයෙන් නිසි ඵල නෙළා ගැනීම පාඨක ඔබට භාරය. ක්‍රීඩාවේ මංපෙත් සොයන අංකුර ක්‍රීඩා තරුවලටද බලධාරීන්ටද භාරය. ඉදින් අප ගුවන්තල සිසාරා එකලාව පියඹන දවසක් උදා වන තුරුද ඉන් ඔබ්බටද ක්‍රීඩාශීලීව අප හා අත්වැල් බැඳගන්නා ලෙස ඔබට සාදරයෙන් ඇරයුම් කර සිටිමු.

 

සංස්කාරක

Comments