‘වරින්වර සංශෝධනය නොවන ව්‍යවස්ථාවක් ඕනෑ’ | සිළුමිණ

‘වරින්වර සංශෝධනය නොවන ව්‍යවස්ථාවක් ඕනෑ’

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි

මෙරට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳ සංවාදය බොහෝ කාලයක පටන් ඇති වී තිබිණි. එම නව ව්‍යවස්ථාව යථාර්ථයක් බවට පත් කර ගැනීමට පසුගිය කිසිදු ආණ්ඩුවකට නොහැකි විය. 1978 ව්‍යවස්ථාව විසි වතාවක් සංශෝධනය විය. කාලීන අවශ්‍යතාව අනුව රටට ගැළපෙන ව්‍යවස්ථාවක අවශ්‍යතාවය දිගින් දිගටම මතුව තිබිණි. වත්මන් ආණ්ඩුව තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගනිමින් බලයට පත්වීමෙන් අනතුරුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනතා අදහස් විමසීමට විද්වත් කමිටුවක් පත් කරන ලදී. එම අදහස් විමසීමේ ක්‍රියාවලියේ දී කමිටුවේ විශේෂ අවධානයට යොමු විය යුතු කරුණු කිහිපයක් වේ.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජනතාවගේ අදහස් ඉතාමත් වැදගත් වේ. පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මහජනතාවට ඒ සඳහා සහභාගි වීමට ඇති ඉඩ කඩද සීමා වී ඇත . ජනතා අදහස් දැක්වීම සඳහා මේ මස 30 වැනිදා දක්වා කාලයක්ද වෙන් කර ඇත. පවතින තත්ත්වය අනුව මේ කාලය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙහිලා ජනතාවගෙන් නාමිකව අදහස් විමසීමක් සිදු කිරීම උචිත නොවන අතර මේ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුයි.

පෙර කමිටු

මීට පෙර පැවැති ආණ්ඩු යටතේ මෙවැනි මහජන අදහස් විමසීමට කමිටු කිහිපයක් පත් කරනු ලැබිණි.

ඒ අතර 2000 වර්ෂයේ දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ කාලයේදීත් 2006 වර්ෂයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ කාලයේදීත් මෙසේ කමිටු ස්ථාපිත කරන ලදී.

ඊට අමතරව 2017 වර්ෂයේ දී ලාල් විජේනායක කමිටුවද ස්ථාපිත කරන ලදී. මේ කිසිදු වාර්තාවකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය සාර්ථක වූයේ නැත. මේ කෙටුම්පත්වල ඇති සාධනීය ලක්ෂණද රටට ගැළපෙන යෝජනාද සැලකිල්ලට ගනිමින් පුළුල් ලෙස ජනතා අභිලාෂයන් නියෝජනය වන ආකාරයෙන් යුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී විශ්වාසනීයත්වය සහ සියලු දෙනාගේ ආශිර්වාදය දිනා ගැනීමට හැකි කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.

නව ව්‍යවස්ථාව සම්පාදනයේදී ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන ලද හේතුවක් නම් තුනෙන් දෙකක බහුතර බලයක අවශ්‍යතාවයයි. එවන් බහුතර බලයක් පෙර කිසිදු ජනාධිපතිවරයෙකුගේ යටතේ නොවිණි. නව ආණ්ඩුව යටතේ තුනෙන් දෙකක බලයක් පවතින අවස්ථාවක් වන බැවින් ඒ අවස්ථාව අපතේ නො හැරිය යුතු ය. මේ අවස්ථාව ව්‍යවස්ථා සම්පාදනය කිරීම සඳහා සුදුසුම අවස්ථාව බවද ප්‍රකාශ කළ යුතුය.

ජන කොටස්වල ගෞරවය

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී රටට අහිතකර අත්දැකීම් සැලකිල්ලට ගනිමින් එවැනි තත්ත්වයක් යළි ඇති නොවන ආකාරයට මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් විය යුතුය. එසේ කිරීමට නම් සෑම ජන කොටසක්ම ජන වර්ගයක්ම පුළුල් අර්ථයෙන් ගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සහ ගැටලු පිළිබඳවද ඒ ජන කොටස්වල ගෞරවය පිළිබඳ ව වඩා සැලකිලිමත් විය යුතුයි.

රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී පක්ෂ දේශපාලනික අභිලාෂයන් සහ තාවකාලික ගැටලු පිළිබඳව නොසලකා රටක් ලෙස දීර්ඝකාලීන දැක්මක් සහිත ජනතා අභිලාෂයන් ප්‍රමුඛ වන ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සියලු දෙනා අවධානය යොමු කළ යුතුයි.

අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු වන්නේ තිස් වසරක් පුරා මෙරට පැවතුණු යුද්ධයක් මෙන්ම සන්නද්ධ අරගල දෙකක් ඇතිවීමයි. එමගින් අතිවිශාල ජීවිත රැසක් අහිමි විය. කුමනාකාරයෙන් හෝ එවැනි අරගල රට තුළ ඇති වීම නවතාලිය යුතුය. උතුරේ යුද්ධය ජනවාර්ගිකත්වය මත ගොඩනැගුණේද දකුණේ අරගල සංවර්ධනය හා දේශපාලනය පිළිබඳව ගැටලු මත පැනනැගුණ ද යන කාරණා කෙසේ වුවත් සාධාරණ හෝ අසාධාරණ හේතු සහ ඉල්ලීම් වුව ද ඒ කාරණාවට වඩා මෙහි දී විය යුත්තේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී රටට අහිතකර අත්දැකීම් සැලකිල්ලට ගනිමින් එවැනි තත්ත්වයක් නැවත ඇති නොවන ආකාරයට නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමයි.

සියලු ජන කණ්ඩායම් මෙන්ම ඉහළ සිට පහළ සමාජ ස්ථරයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අනිවාර්ය කටයුත්තකි. එසේම ව්‍යවස්ථාවේ ස්ථාවර භාවය ඉතා වැදගත්වේ. වරින් වර සංශෝධනයට ඉඩ නොතබන ආකාරයට විකල්ප මතවාදයන්ට ප්‍රමාණවත් ඉඩකඩක් සලසාදීම අනිවාර්ය කරුණකි.

දිස්ත්‍රික් මට්ටමින් යාන්ත්‍රණයක්

එසේම මෙම මූලික කෙටුම්පත සකස් කිරීමේදී සෑම ජන කණ්ඩායමකගේම අදහස් අභිලාෂයන් නියෝජනය විය යුතුය. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පරිපූරණත්වයට පත් වන්නේ එවැනි සියලු ජන කොටස් වල අභිලාෂයන් නියෝජනය වන ආකාරයෙන් ජනතා සහභාගිත්වයෙන් ව්‍යවස්ථා සම්පාදනය කිරීමෙනි.

පවතින කොවිඩ් 19 වසංගතය නිසා ජනතාවගේ අවධානය යොමුවන්නේ ඒ සඳහා වන බැවින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අදහස් ලබා ගැනීමට ජනතාව ඒ සඳහා පෙලඹවීමට පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙළක්ද සකස් කළ යුතුය. අදහස් විමසීම සඳහා ප්‍රමාණවත් කාලසීමාවක් ලබාදිය යුතු සේම පවතින වසංගත තත්ත්වයට සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් යම් යාන්ත්‍රණයක් මහජන අදහස් සඳහා විවෘත කරන්නේ නම් එය ඉතා වැදගත් වේ.

එමෙන්ම නගරාශ්‍රිත ජනතාව පමණක් නොව මේ සඳහා ග්‍රාමීය මට්ටමේ අදහස් විමසීමක් අවශ්‍ය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තොරතුරු ලබා දීමට කැමති පුද්ගල කණ්ඩායම්වලට යතුරුලියනය කිරීමේ අපහසුතාව නිසා පවතින පහසුකම් අනුව අදහස් ලබා දීමට කටයුතු කළ යුතුයි. එසේ නොවන්නේ නම් යම් පුද්ගල කණ්ඩායම්වලට මෙයින් අසාධාරණයක් සිදු විය හැකිය. අදහස් ප්‍රකාශ කිරීමේ පහසුව සැලකිල්ලට ගෙන පහසු මාර්ගයක් සකස් කර දිය යුතුය.

මෙම විද්වත් කමිටුව අමතා යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට දුරකථන මාර්ග හෝ වෙනත් නව තාක්ෂණික ක්‍රම වේදයන් විවෘත කිරීම ඉතා වැදගත් වෙයි. නාගරික තාක්ෂණික මෙවලම් පාවිච්චි කරන පුද්ගලයන්ට ඒ සඳහා සජීවී අදහස් දැක්වීමට ද හැකි වේ. එය ඉතා යහපත් පියවරකි.

එමෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනයේදී ලෝකයේ දියුණු රටවල විශාල කාලයක් මහජන අදහස් සඳහා විවෘත කර ඇති බව පෙනේ. මේ ආකාරයට ඉන්දියානු අප්‍රිකානු වැනි රටවල් ව්‍යාවස්ථා සම්පාදනය කිරීමට අනුගමනය කරන ලද ක්‍රමවේදයන් අපට විශේෂ සැලකිල්ලට ගත හැකිය.

පක්ෂ විපක්ෂ සහාය

විශේෂයෙන් රටට වඩා උචිත වූ ව්‍යවස්ථාවක් වෙනුවෙන් මහජන සහභාගිත්වය මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්ගේ ද සහභාගිත්වයෙන් ලබාගත යුතුය.

ඒ ක්‍රියාවලියේදී ඒ සඳහා අත්දැකීම් ඇති අන්තර්ජාතික විද්වතුන්ගේ සහාය ලබාගන්නේ නම් එය ඉතා වැදගත් වේ. ඉහත සියලු කාරණා පිළිබඳ පුළුල් සංවාදයක් ඇති විය යුතු ය.

පුද්ගලයෙකු හෝ කණ්ඩායමකට ව්‍යවස්ථාවක් සම්පාදනය කළ නොහැකි අතර එය ඒ සමාජයේ සියලු ස්ථරවල අදහස් සහ යෝජනා අනුව සිදු විය යුතුය. රටට උචිත ව්‍යවස්ථාවක් කවරාකාර විය යුතුද යන තීන්දුව ගැනීමේදී සියලු ජන කොටස්වල සහභාගීත්වයෙන් එය සිදු විය යුතු වන්නේ එය රටේ මූලික ලියවිල්ල නිසාවෙනි. විශේෂයෙන් ප්‍රමාණවත් ලෙස ඇහුම්කන් දීමක් විපක්ෂ මතයන්ට ගරු කළ යුතු ය.

එසේම සියලු ජන කණ්ඩායම් එකට ජීවත් වීමේ දී ශ්‍රී ලාංකික යන සංකල්පය ගොඩ නැඟිය යුතුයි. විශේෂයෙන් විකල්ප මතවලට ඉඩ දිය යුතුය. ආණ්ඩුවේ මතය ම පමණක් දරන පිරිස් නොව විකල්පය අදහස් වලට ගරු කළ යුතුය. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය එකම ව්‍යවස්ථාව නිතර සංශෝධනය විය. ලෝකේ දියුණු රටවල් මෙන් ස්ථාවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය විය යුතුයි. ඒ ව්‍යවස්ථාව ඊළඟ ආණ්ඩුව බලයට පැමිණි විට යළි සංශෝධනය නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විය යුතුය. එමෙන්ම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් යම් සාධනීය ආකාරයකින් තුනෙන් දෙකක බලය පාවිච්චි කරන්නේ නම් සහ ජනාධිපතිවරයෙකුගේ විධායක බලය නිසි ලෙස පාවිච්චි කරන්නේ නම් ඒ මත ජනතා යහපත රඳා පවතී.

පූර්ව අත්දැකීම් මත විධායක බලතල පිළිබඳව ජනතාව තුළ බොහෝ අප්‍රසාදයන් මතු වී ඇත. එය ජනාධිපතිවරයා මත තීරණය වන සාධකයකි.

එමනිසා ජනාධිපතිවරයෙකුගේ බලතල සම්බන්ධයෙන් ද අන්තර් ගත විය යුතු කරුණු පුළුල් සංවාදයකට ලක් කළ යුතුය. ජනතා අභිලාෂයන් නියෝජනය වන ව්‍යවස්ථාවක් බවට නව ව්‍යවස්ථාව පත් කර ගත යුතුය. රටේ ප්‍රධාන ලියැවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී එය රටට යහපත් ලියවිල්ලක් බවට පත්කර ගැනීම අප සියලු දෙනාගේම වගකීමකි.

Comments